පසුගිය කාලයේ මට කියවන්නට ලැබුන කවි පොත් අතර වෙනස් ආරක කවි පොතක් ලෙස ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න කවියාගේ “බුදු වෙන්නවත් අතඅරින්නේ නෑ”කාව්‍ය සංග්‍රහය දැක්වීමට පුළුවන. අත් හැරීම හෙවත් ආශාවන් නිහීන කිරීම ප්‍රගුණ කිරීම බුදුන් දර්ශනයේ මූලික අඩිතාලමකි. බුදු වීම එම දර්ශනය අනු යන කෙනෙකුට ලඟාවිය හැකි ඉහළම තලයයි. බුදු වෙන්නවත් අත් අරින්නේ නෑ යනුවෙන් කවියා කියන විට ඇසෙන්නේ V8 රථයක් පණගන්වන්නාවු වැනි හඬකි. අත් හැරීම ගැන දේශනා කරන අයම හොරෙන් තදින් අල්ලා ගන්නා සමාජයක, කවියා ගේ ඉහත ප්‍රකාශය අවංක සහ නිර්ව්‍යාජය.
මෙම කවි සංග්‍රහයේ හමුවන බොහෝ කවි, අප ජන සමාජය තලන, පෙලන, දවන ගැටළු අතරින් උපන් කවි ලෙස මට සිතේ. බොහෝ කවියක සාමාන්‍ය ජන සමාජයේ දාඩිය සුවඳ තැවරී ඇතැයි කියා මා සටහන් කරන්නේ, පොළවෙන් උපන් කවියකුට කරන ගෞරවයක් ඇතිවය. ඒයි…. දඹුල්ල (පි 23), තහනම් අඩවිය (පි.28), වැරදි ( පි. 37) ඒ සඳහා උදාහරණ කිහිපයක් පමණි.
කවියේ ඇති ජනහිත කාමි දේශපාලන දෘෂ්ටිය පැහැදිලිවම දැක ගත හැකි උදාහරණයක් ලෙස, ඔබ නැතිව පවත්වන තරගය (පි.13) යන කවිය විමසමු.
ප්‍රේක්ෂකයාණෙනි,
දුටුවාද
ඔබ සමඟ
ඔබ එක්ක
පැවැත් වූ
තරගය
දැන්
ඔබ නැතුව
ඔබ නැතුව
ගුම් දිදී
තියෙන හැටි?
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක මූලික අඩිතාලම වන්නේ made for the people, made by the people, හෙවත් මිනිසුන් විසින් මිනිසුන් සඳහා යන කාරණයයි. ජනතා පරමාධිපත්‍යය යනුවෙන් හඳුන්වන්නේද මෙයයි. මහජන මතය මත දේශපාලන තීරණ ගැනීමෙන් ඈත් වී පවත්වාගෙන යන අප රටේ වත්මන් විකෘති ප්‍රජාතන්ත්‍රවාදය සංවාදයට ගනී. එතුළ අපට හමුවන්නේ ජනතාවට වඩා පළදායි දේශපාලන හෙටක් සොයන කවියෙකි.
පරම්පරා ගණනාවක් පුරා පවතින, පිළියම් යෙදීම වෙනුවට මැඩපැවැත්වීම අවිය කර ගත් දේශපාලනයේ පීඩාව දක්වන තවත් කවියකි, දශක හතරක ලප කැළැල් නම් ( පි. 19) කවිය.
සුළු යන හිසින් ඇති කවිය (පි.38) වඩාත් මා සිත් ගත් කවියකි.
ඒ සුළැඟිල්ල
අල්ලා ගත් පසුව
මා අත…
මා අතහැරියා
සුළු සුළු සිහින
දිගු කලක් තිස්සේ
මා දුටු
එම කවිය, කුටුම්භයක් තුළ නැගෙන පුරුෂ හඬක් සහිත කවියක් ලෙස එය දකින්නට මා කැමතිය. ඒ පුරුෂයා සමහර විටක, සැමියා හෝ තාත්තා වීමට පුළුවන. කවියා කියන “ඒ සුළැඟිල්ල” බිරිඳගේ හෝ සිය කිරි කැටියාගේ වීමටද පුළුවන. කෙසේ වෙතත්, එම පුරුෂයා අනෙක් අයගේ සිහින වෙනුවෙන් සිය සිහින අත හැරීමට පැකිලීමක් නැති පුරුෂයෙ කි. මහත්මයෙකි. Sacrifice යන වදනට උදාහරණ සපයන්නෙකි.
ලියනගේ අමරකීර්ති මහතාගේ ‘දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා’ කෙටි කතා සංග්‍රහයේ, කළු සුදු දවස්වල නම් කෙටි කතාවේ හමුවන උපනන්දගේ චරිතය සිහි කැඳවන කවියකි “ඇවිදින මිතුරා නමින් හමුවන කවිය. ( පි. 43) අදටත් අප සමාජයේ උපනන්දලා හිඟ නැත.
තැන තැන
නැඟ බැස
හැම තැන
ඇවිදින
මිතුරෙක් සිටී මට
බැංකු පසුකර
හැරීවත් නො බලා ඇවිදින
ඔව් .. ඒ නිසා ම
ඇවිදින
මිතුරෙක් සිටී
මට
දුර පැමිණි සගයන්
මඟ හැරුණු පසුවත්
පසු නො බලා ඇවිදින
මිතුරෙක් සිටී මට
නතර වුණු තැන්වල
ඉතිරි වුණු මිනිසුන්
සොය සොයා ඇවිදින
වැසී ගිය දොර පියන්
ඇරේ දැ යි ස්තමින්
ඉඳුනිල්ව විමසන
වාරිකය දැමීමට
ගෙට වෙච්ච මිතුරන්ට
සරදමක්වත් නො කර
ඌ මගේ හදවතට
ඇණ ඇණ කියන්නේ
“යං … එන්න ඇවිදින්න”
තම තෝරාගත් දේශපාලන ක්‍රම වේදය හරහා ජනතාවාදී හෙට දවසක් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන ඇප කැප වෙන මිනිසුන් එතරම සුලබ නැත. ඒ දුලබ මිනිසුන් පවා ශ්‍රි ලංකාවේ සුලබ වන්නේ වාම වාදී දේශපාලන ව්‍යාපාර වල දී ය. ඉහත කවිය එවන් මිනිස් මිතුරකු පිළිබඳව බව සිතමි.
උක්ත කවියේ
“බැංකු පසුකර
හැරීවත් නො බලා ඇවිදින
ඔව් .. ඒ නිසා ම
ඇවිදින
මිතුරෙක් සිටී
මට “යන කොටස එම ආත්මාර්ථයෙන් තොර එම මිතුරාගේ චිත්ත අභ්‍යන්තරය විනිවිද රසිකයාට දක්වයි. ඔහුට විසල් පොදු අරමුණක් මිසක පටු පුද්ගලික අරමුණක් නැත. එසේම “වාරිකය දැමීමට ගෙට වෙච්ච මිතුරන් එසේ නොවේ. නමුත් ඔවුනට සරදමක්වත් නොකරන්නට තරම් එම මිතුරා මානව වාදී ය. ඉවසන සුළුය, තේරුම්ගන්නා සුළුය.
බැංකු පසුකර හැරීවත් නොබලා යාම සහ වාරිකය දැමීමට ගෙට වෙච්ච මිතුරන් යන යෙදුම් ඉතා ප්‍රබල කාව්‍යාත්මික යෙදුම් සහ කවිය වෙනුවෙන් නියම මොහොතේදී “වැඩ කරන කාව්‍යෝක්ති ” ලෙස හැඳින්වීමට පුළුවන.
ගුත්තිල කාව්‍යයේ හමුවන “නො දනිත් දරුවන් ඇකයෙන් වැටුණා” නම් පද පේලිය පමණක් ගෙන එම කවියේ අර්ථය ප්‍රති නිර්මාණය කරමින් වර්තමානයට කැඳවන “ඇකයෙන් වැටුණ දරුවන්” ( පි57) නම් කවියද සාර්ථක නීර්මාණයක් බව සටහන් කරණු කැමැත්තෙමි.
“බුදු වෙන්නවත් අතඅරින්නේ නෑ” මධුරංගගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. සිංහල කවිය සමග නිරන්තර ගනු දෙනුවක යෙදී සිටින ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න කවියාට සුබ සහ ජය පතමි.
නිරෝෂ ප්‍රනාන්දු