“ප්‍රේමය වෙනුවෙන් ලියන කවි වෙනුවෙන් හදවතේ ඉඩ වෙන් කරනවා”

‘ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට…?’ – සෞම්‍ය සඳරුවන් ලියනගේ

කවි කියන්නේ ජිවිතෙ ගැන ලියන්න පුළුවන් ලස්සනම විදියක් කියලා මම හැමදාම විශ්වාස කරනවා. ලස්සනට ලියන දේවල් ඇතුලෙ හැමවෙලේම තියෙන්නේ සතුට විතරක් නෙවෙයි. ආදරේ විතරක් නෙවෙයි.

ඒත් ලස්සනම කවි ලියැවෙන්නෙ ප්‍රේමය වෙනුවෙන් කියලත් මම විශ්වාස කරනවා. එහෙම කවි වලට ප්‍රේම කරන කෙනෙක් විදියට සෞම්‍ය සඳරුවන් ලියනගේ ගෙ “ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට” කාව්‍ය සංග්‍රහයේ වැඩියෙන්ම දැනුණු, ඇස වගේම හදවතත් නතර වුණු කවි ගැනයි මේ.
මිනිස්සු ප්‍රේමය වර නඟන විදි විවිධාකාරයි. ඒත් ප්‍රේම කරන මිනිස්සු, ප්‍රේමය විඳින මිනිස්සු ප්‍රේමය දැනෙන තැන්වල හිත් නතර වෙද්දී ප්‍රේමය වෙනුවෙන් ලියන කවි වෙනුවෙන් හදවතේ ඉඩ වෙන් කරනවා. හරියට සෞම්‍යගෙ කවි පොතේ මෙහෙම ලියැවෙන තැන් වල අපි නතර වෙනවා වගේ.

“සංසාරයම නිවන
ඇසිල්ලක සිහිලසේ කිඳෙමි
සකලවිධ සන්තාප අතැ’ර
මොහොතක් පෙමින් වෙළෙමි”

අපි කල්ප ගාණක් බලාගෙන ඉඳල එහෙම ලැබෙන මොහොතකට ආදරේ නොකරනව නම් අපි ප්‍රේමණීය මිනිස්සු වෙන්නෙ කොහොමද?
ප්‍රේමයක් කියන්නේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ඒක සෞම්‍යට තරම් ලස්සනට කියන්න බැරි වුනත් මේ කියවෙන්නේ අපිට කියාගන්න ඕන දේමයි කියලා හිතෙන කවියක් තමා මේ….

“ප්‍රේමයක් කියන්නේ;
කටු ඇනෙන තැන්වලම
නතර වෙන්නැ’යි කියා
හදවතට බල කරන හැඟීමය

පටු අඳුරු තනි මඟක
හුදෙකලාවක පවා
උරහිසක මුදු පහස දැනීමය

ළඟ නැත ද අත නෑර
හද සෙමෙන් පිරිමදින
සියුම් උණුසුම් සුසුම් විඳීමය

නිති දවන තනිකමක
ගිනියමට ළං ළං ව
දැවී, හළු වී, ඉන් ම නිවීමය”
____________________________
“ඉනික්බිති,
තවත් එක් නොවැම්බර අගිස්සකි;
උයන්, තුරුගොමු පවා ගල්ගැහෙන
හැන්දෑව, අළු ගැඹුරු අහසකි

නික්මණක ඉක්මන ද,
පමාවක මුදු සිනිඳු කෙඳිරුම ද
ප්‍රේමයේ කටු ඇනෙන මතකෙකි”

ප්‍රේමයටත් අතීත කාල, වර්තමාන කාල තියෙනවා. අතීතෙ විඳපු ප්‍රේමයක මතක බර දැනෙන්නට නොවැම්බර අගිස්සක්ම එන්න ඕන නෑ. මේ කවි කියවන සැප්තැම්බරයේදීත් මේ ගතවෙන මොහොතේදීත් ප්‍රේමයේ මතක කුණාටු අවුලවන්නෙ නෑ කියන්න කාටහරි පුළුවන් ද? සුසුම් වලිනුත් කුණාටු මවන්නට

පුළුවන් ප්‍රේමයන් අස්සේ දුක විඳින, උහුලන මිනිස්සු වෙනුවෙන් ලියැවෙන මේ වචන පවා සැනසීමක් නොවේද?

ඉතින්, අද පවා ඔබෙන් අසන්නට නොහැකිද මට? ඔබට?

“දැනෙනවද ඔබට,
මේ නොවැම්බර හීතල?
හුදෙකලා අහසක සැරිසරන
අළුකොබෙයි හදවතක වැලපුම?”

මතක වල පමණක් ඇවිත් යන ඉපැරණි සිහින පිළිබඳ නිරතුරු මුමුණන අතීතයට අයත් ප්‍රේමයක හිමිකරුවන් වෙනුවෙන් හදවත් තුළ රාජධානි පවා ගොඩනඟන මිනිසුන් වන අපිට මතක නගරයන් වෙනුවෙන් ලියූ කවියක් මොනතරම් වටිනවාද? හදවත පෑරුවත්, වල්මත් වුනත් ඒ මතක ඇවිලෙන බව මතක් කරගැනීමට නොවේද එවන් කවි ලියවෙනුයේ?

“ඔබ වෙසෙන
මතකයේ නගරය
ළංව බැලුවද නොපෙනෙන
හදේ ගැඹුරක සැඟවුණ

විසකුරු මතක ඉදිකටු
නිරතුරු ඇනී පෑරෙන
ඉපැරණි සිහින පිළිබඳ
නෑසෙන සරින් මුමුනන

සිතියම් නොමැති මංපෙත්
එකිනෙක නැවත හමුවන;
මාලිමා නැති කතරක
මා නිතර වල්මත් වන
ඔබ වෙසෙන
මතකයේ නගරය;
අප වෙසෙන දෙනුවර
සෘතු අතර වැලපෙන
මඳනලක පහසින්
අහඹු ලෙස ඇවිළෙන”

ජිවිතෙ කියන්නේ පොතක් වගෙ. එක එක පරිච්ඡේද වල එක එක මිනිස්සු අපිට හමුවෙන. අපිව තව මිනිස්සුන්ට හමුවෙන. එහෙම හමුවෙන සමහර මිනිස්සු අපිව එක පරිච්ඡේදයක නතර කරල තියනවා. තව සමහරු ඒ පරිච්ඡේදය අවසන් වුනත් ඒ පොතේ ඊලඟ පිටු වලත් සෙවණැලි රටා අඳිමින් අපි එක්ක එනවා.

“ඇතැම් විට ප්‍රිය හිතවත,
පරිච්ඡේදය අවසන
ඇඳෙන දිගු සෙවණැලි ඇත
එතැන් සිට එන පිටු මත
බොහෝ ඈතට පැතිරෙන

ආගිය තැනක් නොකියන.
නවතින බවක් නෑඟෙන
ඉමක් නැති අහසක
අතරමං කර හිනැහෙන”

ප්‍රේමය කියන්නේ ආසාදනයක් කීවොත් ඔබ එයට එකඟ වන්නේද? දැන දැන වැළඳගන්නා, සියුම් කැපුමන් ළයේ ඇති කරන අනතුරක් යයි එය කිසිවිටෙකත් සිතුවාද? මේ කවි කියවූවාට පසුව එය එසේ යයි සිතෙන සිතුවිලි නවතන්නේ කෙසේද?

“ඇසින් ඇස ආසාදනය වන
හදිසි මිහිරකි ප්‍රේමය

සකලවිධ වසංගත
අතරමැද,
අහඹු ඉඟියක හොවා
සුවහසක් රහස් පණිවිඩ එවන

සුසුම් කැටි සිරකරන
සියුම් කැපුමන් ළයේ ඇති කරන;
ස්නේහයේ වෛරසය
වැලඳගන්නැ’යි කියා බල කරන”

ජීවිතේ කවදා කොතැනක හමුවුණත්, වෙන්වුණත් ඇතැම් රූ හදවත නම් කැටපත් පවුරේ සදාකාලිකව නොමැකෙන සේ ඇඳගත්, ඇඳගන්නට සිදුවූ මිනිසුනි, මේ ඔබ ගැනද?

“නුඹේ ඒ සේයාරුව;
සිය වරක් පසු කළ ද
යළි යළිත් හැරි හැරී නතර වන

කතා නැති කතාවෙන්
සංසාරයක දුරක් ඇවිද යන
දෑස් කැල්මක පහස
සන්තාන සුසුමකට පර්යාය
නුඹේ ඒ සේයාරුව;
සියවසක් කල් ගියද
හදින් පිටමං නොවන
මන්දහාසය නිබඳ නින්නාද,
වේදනා පිරිමදින
වේදනාවම පිරුණු හඳපාන”

ප්‍රේමය වෙනුවෙන්, ඒ ප්‍රේමයේ හිමිකම වෙනුවෙන්, ඔබ වෙනුවෙන් ලියාගන්නට නොහැකිව හදවතේ ඇති දහසක් තරම් දේ, දුරින් හිඳිනා ඔබද, ඔබ ගැන මතකද මීට වඩා සුන්දරව ලියන්නට හැකිද?

“හඳුනා නොගත් මොහොතක
පෙනී නොපෙනී නික්මෙන
හුරුපුරුදු
උල්කාපාතයකි නුඹ

සුවහසක් සුබපැතුම් අවුළුවා
ඒ ඉපැරැණි ආවාට පාරවා
යළි යළිත්
හිත අතරමං කරන
ඇහිපියක පමාවෙන් මගහැරෙන

මතකයේ සියුම් තැන් සොය සොයා
එ’ සැණෙකින් එහි කඩාගෙන වැටෙන;
සන්තාන චාරිකා අතරමැද
අහම්බෙන් මුණගැසෙන”

එසේ අහම්බෙන් හෝ පැමිණ ගිය පසුව,

“අතහැරී ගිය පැරැණි උයන් තුරුගොමුවලද
මල් පිපෙයි, එය ඉතින් නතර කරනුයෙ කෙලෙස”

ආදරය දැනෙන තැන් තිබිය හැක්කේ කොහේද? හදවතේ ගැඹුරුම තැනක යයි සුවිශේෂි වූ තැන් හඳුන්වමින්, ඒ කොතනදැයි කිසිවෙකුට කියන්නට අසමත් ආදරය දැනෙන තැන් බොහොමයක් තිබෙන්නට පුළුවන් බව, එතැන් වල සුවහසක් ප්‍රේමයන් තියෙන්නට හැකි බව දන්නේද?

“ගැඹුරු දෙඇසක රැඳුණු
විසල් අහසක කොනක
මුදු සිනිඳු මඳහසක සිරගතව,
කිසි දිනෙක හෙළි නොකළ
“ආදරය දැනෙන තැන්” තිබිය හැක

ගැහැනුන් ද, පිරිමින් ද
කිසි දිනෙක, කිසිවෙකුට නොපවසන;
සියුම් බැල්මක පවා
නොහිම් හැඟුමන් එවා නිති දවන;
හදේ නොපෙනෙන තැනක
නවාතැන් ගෙන හිඳින
සුවහසක් ප්‍රේමයන් තිබිය හැක…”

මේ සියළු කවි ප්‍රේමය නමින් ය. තවත් කවි අතර අතරමං වන්නටද ඉඩ ඇත. ඒ සෞම්‍ය සඳරුවන් ලියනගේ ගෙ “ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට” කාව්‍ය සංග්‍රහය තුළිනි. කියන්නට ලියන්නට තවත් බොහෝ දේ ඇති ඒ කවි තුළ අතරමං වන්නට, අවදි වන්නට ඔබටද කියමි. එසේම සෞම්‍ය කියනා පරිදි

“වචන ඇහිරුණු කවක
අතරමැද වුව සබඳ
ඇතැම් හිස් තැන් තිබේ
කිසිවෙකුට හෙළි නොවුණ”

බවද මතකයේ තියාගන්නට සිහිපත් කරමි.

ඉරේඛා සෙනෙවිරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy