ඒ 1991 අවුරුද්ද. කෑගල්ල නගරයේ පදික වේදිකාවක විකුණන්න තිබුනු ගිනිගත් ඇස් ඇති දැරියගේ පෝසටරයේ කතාව මතකද.?
එදා රුපියල් විස්සක් හොයාගන්න පරක්කු වුනු නිසා ඒ පිංතූරය මිළදී ගන්න තවත් කාලයක් බලා ඉන්න වෙනව.
ඒ අතරෙ මේ පිංතූරය ගත්ත ස්ටීව් ලෝක ප්‍රසිද්ධ වෙනව… ධනවතෙක් වෙනව.
පෙශාවා අනාථ කඳවුරක හිටපු ෂභාත් කඳුකරයේ තමන්ගෙ ගමට යනව.
කාලය ගතවෙනව.
දෙවැනි වරටත් බුර්කාව නැතිව විදේශික පිරිමියෙක් ඉස්සරහ කැමරාවට මූනදීපු ෂභාත්ගෙ නම ඉස්සරහ මරණ දඬුවම ලියවෙනව.
“ගිනි ගත් ඇස් … පශ්තුන් කුලයේ ගිනිගත් ඇස් එදා මලානිකයි. අවුරුදු විසි පහක පෙනුම වෙනුවට මැදිවිය ඉක්මවූ දිරාපත් ගැහැනියකගේ මුහුණ දැකපු මගේ හදවත හඬා වැටෙනව” ස්ටීව් මැක්කරි එහෙම ලියනව.
ඒ ධනවාදයේ ව්‍යාපාරයක්ද… කොමියුනිස්ට් වාදයේ තෑග්ගක්ද… අන්ධ ආගම්වාදයේ නිර්මාණයක්ද යන්න විනිශ්චය කිරීම මගේ වැඩක් නෙවෙයි.
” මගේ අක්කා හිනාවෙනව මම දැකල තියෙන්නෙ එකපාරක් හෝ දෙපාරක් විතරයි… ඒ ඇර ශබාත් දන්නෙ නෑ සතුට කියන්නෙ මොකද්ද කියල..” ෂබාත්ගෙ සහෝදරය එහෙම කියල තිබුනු බව අපිට මතකයි.
කාලය ගතවෙනව නෙවේ ඉගිලෙනව.
ඒ අතරෙ බාමියන් මිටියාවතෙත්… කාබුල් නටබුත් අතරෙත් සංචාරය කරන්න ලැබීම සුරංගනා කතාවක කොටස් වගේ.
2021 අගෝස්තු 30 වෙනිදා ඇමරිකානු හමුදා කාබුල් නුවරින් අයින් වෙද්දි තලෙයිබාන් මිනිස්සු කාබුල් නගරයට කඩා වදිනව.
ෂබාත්ගෙ ඉරණම පැහැදිලියි.
අපේ මිත්‍රයන් කීපදෙනෙක්ම මගෙන් අහනව… ෂබාත් ගැන ලිව්ව නේද…? දැන් මොකද කියන්නෙ ෂබාත් ගැන.?
ෂබාත්ගෙ ගිනිගත් ඇස් වෙලඳ බාන්ඩයක් කරේ ස්ටීව් විතරක් නෙවෙයි නේද… ? මගේ මිත්‍රයන් නොකියා කියනව.
කෙවිටෙන් තලලා.. නිරුවත් කරාද…? දෙනෝදාහක් මැද්දේ හිසට වෙඩි තිබ්බද..?
ඇෆ්ඝන් හින්දුකුශ් කඳු තරම්ම නැතත් ඇල්ප්ස් කඳු ලස්සනයි.
මශූඩ් ජීවත් වුනු පන්ජ්ශීර් මිටියාවත කාටද මතක නැත්තෙ..?
හින්දුකුශ් කඳුවලින් ගලන සීතල වතුරත් එක්ක ඇෆ්ඝන් මිටියාවත සරු වෙද්දි අසල්වැසි ඉස්ලාමාබාද් පාලනයටත් … දිල්ලියේ මහ මිනිස්සුන්ටත්… ක්‍රෙම්ලිනයටත්…. ඉන්පස්සෙ වොෂින්ටනයේ පාලකයාටත් දරාගන්න අමාරුවුනු බව අපි ඉගෙන ගත්තා.
ඒ ඔක්කොම පරණ කතා.
කවුලුවෙන් එලිය බලද්දි ඈතින් ඇල්ප්ස් කඳුත්… එතනින් එහා පැත්තෙ ඩාවින්චිගේ ඉතාලි බිමත් පේනව මීදුමෙන් වැහිලා වුනත්.
ලස්සන හිත් ඇති මිනිස්සු කීප දෙනෙක්ගේ උදව්වෙන් ෂබාත් ඇල්ප්ස් කඳු පේන සීමාවට ඉගිළුනේ ඔළුව විකුර්ති වුනු තලෙයිබාන් මිනිස්සු කඩාවදින්න මොහොතක් තියෙද්දියි.
අද ෂබාත් හිනාවෙනව. හිනාවෙනව විතරක් නෙවේ ලියන්න කියන්න ඉගෙන ගන්නව…. පියානෝව වාදනය කරන්න ඉගෙන ගන්නව.
ෂබාත්ගෙ ආගමට අනුව වේලය පලඳින්නවත්.. යාඥ්ඥා කරන්නවත්.. කැමති විදිහට ජීවත් වෙන්නවත් කාගෙන්වත් තහණමක් නෑ.. ඒක තමයි ජීවිතයේ නිදහස කියන්නෙ.
එතැන ආගමික යුද්ධයක්වත්… අධිරාජ්‍යවාදී බිල්ලෙක්වත් නෑ. ජීවිතය මගෑරුනු ගෑණියකට ජීවත් වෙන්න ඉඩදෙන කතංදරයක් විතරයි එතන තියෙන්නෙ.
ෂබාත්ලා දාස් ගාණක් ඉන්නව… මේ එක ෂබාත් කෙනෙක් විතරයි.
ෂබාත්ට හිනාවෙන්න බැරිද… ඇත්තටම පුළුවන්.
ෂබාත්ලට හිනාවෙන්න පුළුවන්.
මේ ගැන අපි පොඩි ඩොකියුමන්ටරි එකක් කරමුද… ලංකාවට ගිය වෙලාවෙ අපේ මිත්‍රයෙක් අහනව.
ඒක ලස්සන අදහසක්.