ඉහල ඇල්ප්ස් කඳුකරේ ඇවිදිනකොට නිතරම දකින්න පුළුවන් මේ පාට පාට කොඩි.
කඳුවල ඇවිදින්න පටන්ගත්ත මුල් කාලෙ හිතුවෙ මේ ඉහල කඳුකරයට ආවේනික කොඩි වර්ගයක් කියල.
නේපාලයත් ඉන්දියාවත් අතර තියෙන කන්චෙන්ජුන්ගා කඳු පන්තියේ ඇවිදින කාලෙයි දැනගත්තෙ මේ කොඩි අයිති ටිබෙටයට කියල.
“ටිබෙට් බෞද්ධ පණිවිඩ රැගත් මේ කොඩි සාමය .. විමුක්තිය උදෙසා කරන ප්‍රාර්ථනා දාස් ගණනකින් යුක්තයි.. කඳුකරේ හුලඟත් එක්ක ඒ පණිවිඩ අවට ලෝකයට බෙදාහරිනව.”
එදා අපේ මගපෙන්වන්නා හෙවත් ගයිඩ් විස්තර කරපු හැටි තවම මතකයි.
පහුගිය දවසක ස්විස් ඇල්ප්ස් කඳුකරයේ ඇවිදිනකොට මේ කොඩිවැල් ආයෙත් දකින්න ලැබුනු නිසාම පරණ මතකයක්.. පරන දෙබසක් ආයෙත් හිතට එනව.
” මේ ටිබෙට් කොඩි ඇල්ප්ස් කඳුකරයේ එල්ලන්නෙ සාමයේ පණිවිඩයක් විදිහටද..? හැම කඳු කලාපයකටම මේ කොඩි වලින් ආශිර්වාදයක් ලැබෙන නිසාද.? “
කඳු අතරෙ ගමන් කරමින් හිටපු ස්විස් වැසියෙක්ගෙන් මම අහනව.
“ඒ දෙකම හරි.. ඒත් ඒ එක්කම තව වැදගත් පණිවිඩයක් තියනව ඔතන”
ඒ කීවෙ..?
ටිබෙටය කියන්නෙ සාමකාමීව තිබුන බොහොම සුන්දර රටක්.. ඒ රටේ වැඩිපුර හිටියෙ බෞද්ධ භික්ශූන්.. විමුක්තිය සොයා යන මිනිස්සු .
කිසි වරදක් නැති ටිබෙටය… බලවත් චීනය විසින් ආක්‍රමණය කරපු හැටි අපිට අමතක නෑ.
මේ කොඩිවලින් අපි නිහඬවම කියන්නෙ ටිබෙටය අපිට අමතක නෑ කියල”. … ” අපිත් කඳුකර වැසියො.”
ඒ නිහඬ පණිවිඩය හරි බලවත්.. ශක්තිමත්…
එයින් ලැබෙන ප්‍රථිඵලය නෙවෙයි වැදගත්… නමුත් ඒ හැඟීම. ඒ පණිවිඩය.!!
මැදපෙරදිග එකම දෙවියක් වෙනුවෙන් බිම් අඟලක් සඳහා මරාගන්නා මිනිස්සු ඉදිරියේ ටිබෙටය කියන්නෙ යල්පැනගිය .. අමතක කරවපු මාතෘකාවක්.
කාටවත් එයින් ආර්ථික.. දේශපාලන වාසියක් නෑ.
ඇල්ප්ස් කඳුකරේදි වගේම අන්දීස් කඳුවලදිත් දැකපු .. දැනුණු මේ නිහඬ පණිවිඩය හරි බලවත්.. නිහඬ කම වගේම.
චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කරන්න පටන් ගන්නෙ 1950 ඔක්තෝබර් 7…
87,000 ට වඩා සිවිල් ටිබෙට් වැසියන් හා භික්ශූන් චීන රෙජිමය විසින් ඝාතනය කෙරෙන්නෙ යුධ ආක්‍රමණය තුලදි. ආක්‍රමණය හේතුවෙන් ජීවිත අහිමිවූ ටිබෙට් ජාතිකයන්ගේ සංඛ්‍යාව මිලියනයකට අධිකයි.
ටිබෙටය අදත් හඬක් අහිමි රටක්.
අමතක කරවපු නමුත් හැමෝටම අමතක නෑ…
කඳු අතරෙ ඇවිදිනකොට මේ පාට පාට කොඩි ඒ කඳුකර වැසියන්ව මතක් කරනව.