ලියනගේ අමරකීර්තිගේ ‘විශ්ව විද්‍යාලය යනු කුමක්ද?’

“විශ්ව විද්‍යාල අධ්‍යාපනය“ යන්න, අප සමාජයේ වරින්වර කතාබහට ලක්වන මාතෘකාවකි. එක් අතකින් විශ්ව විද්‍යාල ගණන වැඩි කිරීම, පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම, රැකියා සදහා ගැලපෙන පරිදි අධ්‍යාපනය සකස් කිරීම වැනි විවිධ මාතෘකා ඉදිරිපත් කෙරෙත්දී, අනෙක් අතින් ආර්ථික දුෂ්කරතා පවතින අයට එම අවස්ථා ලබාදීමේ වැදගත්කම, රජයේ ප්‍රතිපාදන කප්පාදු කිරීම ආශ්‍රිත ගැටළු වැනිදේ සාකච්ඡාවට ගැණෙනුද දැකිය හැකිය. මේ සියල්ල මධ්‍යයේ ඇත්තෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය කුමන ආකාරද? එය වෘත්තීය පුහුණුවක් ඉලක්ක කරගත් අධ්‍යාපනයකින් වෙනස් වන්නේ කෙසේද? ඊට අදාල වර්තමාන අභියෝග මොනවාද? යන ප්‍රශ්න සාකච්ඡා කෙරෙන්නේ බෙහෙවින් අඩු මට්ටමකිනි. ලියනගේ අමරකීර්තිගේ “විශ්ව විද්‍යාලය යනු කුමක්ද?“ කෘතිය ආමන්ත්‍රණය කරන්නේ මෙවන් ප්‍රශ්න කිහිපයකටය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලෙස වර්තමානයේදී හදුනාගැනෙන අධ්‍යාපන ක්‍රමවේදය ඉපැරණි ග්‍රීසිය දක්වා විහිදෙයි. එම යුගය තුලද වෘත්තීය කුසලතා වෙනුවෙන් වූ පුහුණු කිරීම් මෙන්ම, පාරම්පරිකව පැවත එන දැනුම් පද්ධති එලෙසින්ම ඉදිරියට ගෙන යාම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේදයන් පැවතිනි. ඊට වෙනස් ලෙස සොක්‍රටීස් ප්‍රමුඛ සිතන්නන් ඉදිරිපත් කලේ පවතින සියළු දැනුම පරීක්ෂාවට ලක්කර වටහා ගැනීමේ නව ක්‍රමවේදයකි. අධ්‍යාපන ක්‍රියාවලිය තුල ගුරුවරයා වෙනුවට ශිෂ්‍යයා කේන්ද්‍ර කර ගැනීම, තම මූලික විශ්වාසයන් ගැන නැවත සිතා බලන අභියෝගයන් ශිෂ්‍යයාට මුණගැස්වීම, තමා ජීවත්වන සමාජයේ බහුවිධතාවයන් අවබෝධ කරගැනීමට ශිෂ්‍යයා යොමු කිරීම එහි තවත් අංග විය. එම අධ්‍යාපන ක්‍රමවේදයේ අරමුණ වූයේ සම්ප්‍රදායයේ සීමාවන්ගෙන් නිදහස්ව ලෝකය දෙස බැලීමට සහ ඒ තුලින් පරිපූර්ණ මනුෂ්‍යයෙකු බවට පත්වීමට ශිෂ්‍යයාට උපකාර කිරීමයි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධ මෙවැනිම අදහසක් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට මුල්වී කටයුතු කල පිරිස තුලද පැවති බව ඔවුන්ගේ අදහස් සම්බන්ධයෙන් කතුවරයා කරන ඉදිරිපත් කිරීම තුල පැහැදිලි වෙයි. ලංකා විශ්ව විද්‍යාලයේ සමාරම්භකයා ලෙස සැලකිය හැකි අරුණාචලම් මෙසේ කියයි. “විශ්ව විද්‍යාලය මගින් කෙරනු ඇත්තේ ඉතා විශිෂ්ට වූද සංස්කෘතිකවත් වූද මහාචාර්යවරුන්ගේ බලපෑම යටතට, රටේ හොදම තරුණ පිරිස එකම ආයතනයක් තුලදී එකට එක් කිරීමය… මහාචාර්යවරුන්ගේ චරිතය සහ ආදර්ශයද, ආචාර්යවරුන් සහ සහෝදර ශිෂ්‍යශිෂ්‍යාවන් සමග සංගමය සහ සාකච්ඡා නිසා ඇති වන මත ගැටීම්ද, බුද්ධිමය ජීවිතය උත්තේජනයට ලක්වීමද, ඉහල පරමාදර්ශ වෙනුවෙන් පක්ෂපාතීත්වය වර්ධනය කරගැනීමද සදහා තුඩු දෙන පරිසරයක් ඒ විශ්ව විද්‍යාලවල පවතින බව ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, බර්ලින්, පැරිස්, බොන් වැනි යුරෝපීය විශ්ව විද්‍යාලවල උගත් අයගෙන් නොදන්නේ කවුද?“(පිටුුව 50) විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධ මෙවන් අදහස් ආනන්ද කුමාරස්වාමි, අයිවර් ජෙනිංග්ස් වැනි අයගේ අදහස් සමගින් තවදුරටත් පෝෂණය වූ ආකාරය පිලිබද විස්තරයක්ද අපට දකින්නට ලැබෙයි.

වර්තමානය වනවිට ලෝකය පුරාම නව ලිබරල්වාදයේ බලපෑමට අධ්‍යාපනය ලක්ව තිබේ. වෙලදපොලෙහි නිදහස් චලනය මුල්කරගත් නව ලිබරල්වාදය, සමාජයේ සෙසු අංග සියල්ල සලකන්නේ ආර්ථික වර්ධනය වෙනුවෙන්වූ කාර්යයන් වශයෙනි. අධ්‍යාපනය එහි නිරතුරු බලපෑමට ලක්වෙයි. රැකියා වෙලදපොල ඉලක්ක කරගනිමින් විෂය මාලා ගොඩ නැංවීම සහ ගුණාත්මකභාවය වෙනුවට ප්‍රමාණාත්මකව වැඩි පිරිසක් ශ්‍රම බලකාය සදහා සූදානම් කරවීම එහිලා ප්‍රමුඛ කටයුතු බවට පත්වෙයි. මෙවන් අභියෝග හමුවේ ලොව වෙනත් රටවල බුද්ධිමතුන් කටයුතු කර ඇති ආකාරය පිලිබද සාකච්ඡාවක්ද කෘතියට ඇතුලත්වෙයි. එසේම අධ්‍යාපනය විසින් කුළුගන්වනු ලබන විචාරාත්මක චින්තනය සමාජයකට වැදගත්වන ආකාරය පිලිබද විස්තරයක්ද, පුළුල් විෂය කලාපයක විහිදුන නිදහස් කලා අධ්‍යාපන ධාරාව පිලිබද වැදගත් විස්තරයක්ද කෘතිය තුල හමුවේ. අවසාන වශයෙන් එවන් අධ්‍යාපනයක් සදහා ගුරුවරයෙකු සතු කරගත යුතු ශක්‍යතා පිලිබද සාකච්ඡාවක්ද කෘතියට ඇතුලත් කිරීමට කතුවරයා කටයුතු කර තිබේ.

අපගේ අධ්‍යාපන ක්‍රමවේද වෙනස් විය යුත්තේ කවර ආකාරයකටද යන්න ගැන උනන්දු වන සෑමදෙනෙකුගේම අවධානයට ලක්විය යුතු කෘතියකි. විදර්ශන ප්‍රකාශනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy