කණගාටුවෙන් වුවත් මට ගං ඉවුර හැරයන්නට සිදුවිය

මේ සේයාරුවේ පෙනෙන එල්බ ගඟ අසබඩ නැගීසිටින ගල්කුළු යෝධයන් දැකබලාගනු පිණිසත්, ඉන් ඔබ්බේ සිට බොහීමියාව දක්වා දිගෑදෙන වනාන්තරයේ රස්තියාදුවක අතරමංවනු පිණිසත් මම වරක් හුදෙකලා සැරිසරක නිරත වීමි.
ඒ පසුගිය වසරේ ගිම්හානය යි.

ගිම්හානය විහිදී පැතිරෙන තෙමස පුරාවට මුළු ජර්මනිය සිසාරා කෝච්චි බස් ට්‍රෑම් ඇතුළු පොදු මගී ප්‍රවාහන සේවාවන්හි නැගී හිතූ අත යා හැකි, මාසයටම යුරෝ 9ක් පමණක් වන මාසික ටිකට්ටුව මා අත විය.

ඉතින් ලංකාව මෙන් පස් ගුණයකටත් වඩා විසාල ජර්මනියේ ඉම්පෙදෙස් පොදු ප්‍රවාහන සේවාවන්ගේ උපකාරයෙන් හා දෙපයේ හයියෙන් හැකිපමණින් විනිවිදීම මගේ අභිලාශය විය.

අර පෙනෙන හුණුගල් නැඩයන් සොයා යාමට මා වෙසෙන පෙදෙසේ සිට වාහනයකින් නම් කිලෝමීටර 550කට වැඩි දුරක් ගමන්කළ යුතු ය. එහෙත් මගේ ගමන කෝච්චියෙන් සහ බස්වලිනි. මා අත ඇති යුරෝ 9 ටිකට් පතට අධිවේගී නගරාන්තර (IC) හා යුරෝපා නගරාන්තර (EC) දුම්රිය දොරවල් ඇරෙන්නේ නැත. ඒ හැර අනෙකුත් සියලු ප්‍රවාහන පහසුකම් රිසි සේ භාවිත කළ හැකි ය.

ඒ අනුව අධිවේගී දුම්රිය සරණින් පැය හතකින් හත හමාරකින් යා හැකි මේ ගමනට මට දොරවල් ඇරෙන ප්‍රවාහන සේවාවල පිහිටෙන් ළඟාවීමට පැය 10කට වඩා ගතවේ.

එහෙත් මාසයක් පුරා කැමති තරම් රෝන්දේ ගැසීමට අවසර ලැබෙන ටිකට් පතක් යුරෝ 9කට ඔබ අතට පත්වී ඇත්නම් සහ රටේ බටහිර පැත්තේ සිට නැගෙනහිර අන්තිම කෙලවරට, චෙක් ජනරජ දේශසීමා අද්දරට පමණක් නොව ඉන් ඔබ්බට ද යාමට ඔබට අවස්ථාව ඇත්නම්, වෙන වෙනස් බිම්දසුන් දකින්නට, වෙන වෙනස් මනුස්සයන් නිරීක්ෂණය කරන්නට, උන් හා අසංවිධිත පයුරු පාසානමක, අරමුණු විරහිත කතාලතාවක පැටලෙන්නට ඔබට ඉඩලැබෙන්නේ නම්, පැය 10ක ගමනක් ගැන මැසිවිලි කීමට කරුණු කිම? මට එවැනි කරුණු නැත.
මම එක්තරා ගිම්හාන උදෑසනක මගේ ගමන පිටත්වීමි.

තැන් හතර-පහකින් දුම්රියෙන් දුම්රියට මාරුවෙමින්, සවස හය පසුවනවාත් එක්කම වාගේ මගේ ගමනාන්තය වූ, ජර්මන්-චෙක් ජනරජ දේශසීමාව ආසන්නයේ පිහිටි බාඩ් ෂන්ඩාව් නම් කුඩා සුළුනුවර වෙත ළඟාවන්නට මට හැකිවිය.

ගෙවා ආ ම‌ඟේ අවසන් භාගය තුළ දඟර වැටුණු එල්බ ගඟ සමීපයෙන් දිවගිය දුම්රිය මට ගඟෙන් එපිට වූ අර හුණුගල් නැඩයන්ගේ දසුන දුර සිට සිත් සේ රසවිදින්නට ඉඩසලසා දුන්නත්, මගේ ගමනාන්තයේ සිට ඒ වෙත යාමට කිසියම් කාලයක් ගතවේ. මගේ සැලසුම මේ ගොම්මන් වේලාවේ ඒ ගල්කුළු සොයායාම හෝ ‘සැක්සන් ස්විට්සර්ලන්ඩ්’ නමින් හැඳින්වෙන ඒ රක්ෂිත වනයේ අභ්‍යන්තරයට වැදී මංමුලාවීම නොවේ.

මට ඇවැසි වූයේ වනයේ මෙපිට සීමා මායිම වන් එල්බ ගඟේ ඉවුර දිග ඉබාගාතේ ඇවිද ගොස්, රෑ නවය හමාර දහය වනවිට එළැඹෙන සූර්යාස්ථාංගය සමග කිසියම් එළිමහනක රැය පහන්කිරීම ය.
වනපෙත විනිවිදීම පසු දවසට ය.

රත් පැහැයෙන් මළහිරු බැසයන යාමයේ මම ගඟබඩින් වැටුණු පටු පියමඟක් ඔස්සේ ඉබාගාතේ ඇවිද ගියෙමි. ගං ඉවුරේ කදිමට වැල්ල පෑදී තිබුණු ඇතැම් තැනක වාඩිගෙන බැසයන හිරුගේ රත් ආලෝකය නෑ මම, ගමන් මල්ලේ වූ බ්‍රැන්ඩි බෝතලයෙන් ස්වල්පය බැගින් පානය කළෙමි. නැවතත් සිටිතැනින් නැගිට කිසිදු එල්ලයක් අරමුණක් නැතිව ගං ඉවුරුබඩින් ඉදිරියට පියමැන්නෙමි. නැවතත් තැනක දිගෑදී ගං නිම්නයත් ගං දියත් පිස එන සැඳෑ සුළං දහර විඳගතිමි.

කළුවර වැටෙන යාමය වනවිට මා සිටියේ එල්බ ගඟේ තවත් එළිමහන් ඉවුරක වූ තණබිස්සක දිගෑදීගෙන ය. මට ඉදිරියෙන්, බෙහෙවින් පුළුල් වූ ගඟේ අනෙක්පස කුඩා ගම්මානයක් අන්ධකාරයට යටවෙමින් යද්දී, එතැන මිනිසුන් හුස්ම ගන්නා තැනක් බව කියන්නට මෙන් කුඩා එළිතිත් දැල්වෙන්නට විය. අහසින් කඩාහැලෙනා අන්ධකාරයත්, ගංදිය මත තවමත් රැඳුණු සහන් එළියත්, මීදුමක් වැනි හුමාලයක බොඳවෙමින් යන අනෙක් ඉවුරේ කුඩා ගම්මානයත්, සිහිල් සුළඟේ සරසරයත් මා මහා හුදෙකලා නිරාමිස සංවේදනා දහරක් වෙත ඇදදමා තිබිණි.
ඇසට – කණට හසුවන මානයක මිනිස් පුළුටක් කියා කිසිවක සංවේදනාවක් නොවිණි.

අද රැය මේ ගං ඉවුරේ-මෙතැන පහන්කළ යුතුය යි ඒ වනවිට මම මටම කියාගනිමින් සිටියෙමි.
මා සිටි තණගොල්ලේ මට අතක් දුරින්, ඉනක් උස කිසියම් ජලාශ්‍රිත පැලෑටි යායක් ඇරැඹෙයි. අනෙක් පසින් තවත් දුරකට තණගොල්ලත්, ඉදිරියෙන් කුඩා ළවැලි ගංඉවුරත් පෙනේ. ගං දිය සෙමෙන් ඒ වැලි ඉවුරේ ගැටෙමින්, සාංකා ගීතයක් ගයමින් දිගින් දිගටම වැලපෙයි.
ගත රුහිරු හා මුසුවූ බ්‍රැන්ඩි ස්වල්පය ගං ඉවුරේ සිසිලට කරදරයක් නොකර ම, ඇතුළතින් මා සුවදායක උණුසුමක තැබුවේය.

මොහොතකින් මට දිය කැළඹිල්ලක අමුතු හඬක් ඇසිණි. එය ඒ අනන්ත පාළුවට අයිති හඬක් නොවේ. මම මඳක් විමසිලිමත් වීමි.
මට තරමක් දුරින්, නමුත් මේ ගොම්මනෙහි ද මඳ පැහැදිළි කමකින් දැකගත හැකි දුරකින් සිවලෙක් දිය අද්දරට බැස සිටී.

ඌ පිපාසය සංසිඳවාගන්නවා නොව කිසියම් වෙනත් ජරමරයක නියැලී සිටින බව මට කෙමෙන් පැහැදිළි විය. එහෙත් ගංඉවුරට පාව ආ මියගිය මසකු භුක්ති විඳිනවාද, කිසියම් දඩයමක නියැලෙනවාදැයි යන්න මට හරියට පැහැදිළි නොවිණි.

සුළු මොහොතකින් තවත් සිගාලයෙක් ළඳු පඳුරු අතරින් මතුවී ජරමරය සිදුවන තැනට සේන්දු විය. දෙදෙනා අතර මොහොතක රවා-ගොරවාගැනීමක්, කැත ගෝරනාඩු පවත්වාගැනීමක් සිදුවුණත්, එය ඉක්මනින් ම සංසිඳිණි. දෙ දෙනා සාමාදානයෙන් මා නොදන්නා ඒ ගොදුරු රාජකාරියේ නියැලෙන්නට වූහ.
මෙතැන රැය ගතකරන්නට ඇතිකරගත් අදහස අත්හරින්නට සිදුවන බව මට කෙමෙන් වැටහිණි. මෙය ඇතැම්විට සිවලුන් වැනි වනසතුන්ගේ මංකඩක් වීමට පිළිවන.

ජර්මනිය මේ වනවිට කිසියම් වෘක බියකින් ඇළැලෙමින් තිබූ අතර, මේ නැගෙනහිර ජර්මානු කලාප හා ඒවායේ වනගත පෙදෙස් වෘක ආක්‍රමණයේ දොරටු බව කියනු මා අසා ඇත. උන් යළි ජර්මානු බිම්පෙදෙස්වලට එන්නේ මා මේ සිටින තැනට ඉතාම ආසන්නයෙන් පටන්ගන්නා චෙක් ජනරජයේ හා මෙතැනින් තරමක් ඉහළට වන්නට පිහිටි පෝලන්තයේ වනාන්තරවල සිට බව කියැවේ. ඒ තොරතුරුවලට අනුව මෙතැනින් ඇරැඹී චෙක් ජනරජය දක්වා පැතිරෙන මේ වනාන්තරය උන්ගේ පහසු ම පිවිසුම් දොරටුවකි.
කණගාටුවෙන් වුවත් මට ගං ඉවුර හැරයන්නට සිදුවිය.

මෙතැන ගිමන්හරින්නට එන්නට පළමු, ගං ඉවුරට මඳක් ඉහලින් වූ වනගත පෙත්මඟ අයිනේ දුටු ලී බංකුවක් මගේ මතකයට නැඟිණි. මා කලින් හිතාගත්තේ ඒ බංකුව ද රෑ පහන් කිරීමට ගැලපෙන සයනයක් බව ය. ඒ සියල්ල හැරදා ගඟබඩ තණබිස්සකට ලොබ බැඳි මට දැන් ඒ පරිසරයේ සැබෑ උරුමක්කාරයන්ට ඉඩදී පසුබසින්නට සිදුව තිබේ.

එදා රැයෙහි මගේ සයනය සැදුණේ ඒ පටු බංකුවේ ය. අනන්ත තරු වියනක් යට, පාන්දර වෙනකොට පායා ආ සිහින් සඳ රේඛාවක් යට, දෙපසින්ම වැසීගිය කැලෑවක් මැද නිම්නයක ගලනා ගං දසුනක් ද, ගඟේ එහා ඉවුරේ වනමැද දිගෑදුණු කුඩා ගම්මානයක වරින්වර නිවී යන, යළි දැල්වෙන බොඳ එළි කිහිපයක් ද දකිමින් මම නින්දත් නොනින්දත් අතර රැය පහන්කළෙමි‍‍.

ගිම්හාන හිරු වේලාසනින් වැඩට එන බැවින් ද, කඳුකරය සහ වනය දෙසින් කඩාහැලෙනා සීතල ගංදිය හා නිම්න බිම මත එක පොදියට ලැගුම්ගන්නා බැවින් ද, ඒ ලැගුම්ගත් සීතල වරින්වර නිම්නය කලම්බාගෙන සුළං දරහක් සේ ගලායන බැවින් ද මගේ නින්ද උදාසන හය වන්නට පෙර අවසන් විය.
මේ කැලෑබද ඉසව්වේ කොහේ මුත් දුරක පිහිටි මනුස්ස වාස තවමත් හරිහැටි අවදී වී නොතිබෙනවා වන්නට පිළිවන. එහෙත් රැය එළැඹි විට හිතුන තැනක වැටී නිදාගෙන, දහවලේ හිස හැරුණු අත යමින්, වැඩි සැලසුම් ඉලක්ක නැතිව, ඓතිහාසික බොහීමියානු භූමිය ආසන්නයේ බොහීමියානු විලාසයෙන් ඉබාගාතේ සරන්නකුට ඒ පිළිවෙත් පිළිවෙලවල්වලින් කවර පලක්ද?
වනහිසට ඉහළ නැගෙනහිර අහසේ ලතු අතුල මුත් ඉරක මුහුණුවරක් තවමත් දකින්නට නැති හිමිදරිය මැද්දෙන්, පින්නේ පෙඟීගිය තණපලස් මතින්, පටු අඩිපාරවල් දිග මා ඔහ‌ේ ඉදිරිය බලා ඇදෙද්දී, වනහිසින් කඩාහැලුණු මීදුම් ගුලි කම්මැලිකමින් නිම්නය කරා පාත්වී ගඟ මතත්, නිම්නයේ පාදම හරියේත් අඩුක්වෙමින් තිබිණි‍.

කිසිවකින් මහලොකුවට උදම් නොවන, කිසිවකින් මහලොකුවට කම්පාවට පත් නොවන අයාලේ සරන්නකුට දවස පටන්ගන්නට කදිම ගුප්ත, ගුඪ මනෝගතියක් ලබාදෙන අපූරු හිමිදිරියකි‍‍.

  • මතු සබැඳිය යුතුව තිබේ

මෙහි ඇති එකම සේයාරුව මා ලබාගත්තේ අන්තර්ජාලයෙනි. මා විසින් ම ගන්නා ලද, හුණුගල් නැඩයන්ගේ මේ දසුන හසුවන සේයාරුවක් මා අත නැත. ඒ මන්දැයි යන්න දැනගැනීමට නම් ඔබට මාතින් මෙහි ඉතිරි කොටසත් ලියැවෙනතුරු බලාසිටින්නට සිදුවේ.
එය කවදා සිදුවනු ඇතිදැ යි පිළිණ දීමට මට පුළුවන්කමකුත් නැත.

සේයාරුව – Windows Spotlight Images

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...