‘දේශ සීමා රහිත කවියා’ – සුනිල් රණසිංහ

ඔහු උන් හිටි ගමන් මතුව එපරිද්දෙන්ම අතුරුදන්ව යයි. විටෙක නගරයේ අපට හමුවන ඔහු එක් මොහොතක ඒ නගරයේ ව්‍යාජයන් හමුවේ සිය අපුල පල කර යළි ඈතට පලා යයි. නැවත ඔහු අපට හමුවනුයේ කාලයකට පසුවය. එහෙත් ඒ එන විටද ඔහු තුළ ලෙංගතු, තරමක ගුප්ත සමීපභාවය එලෙසින්ම පවතියි. ඔහු බොහො කලක් තිස්සේ මට තමන්ගේ දේශ සීමා රහිත කවියා ගැන කී බව මතකය. අවසන දිනෙක ඔහු මට එහි පිටපතක් තෑගි කළේය. කියවා අදහස් කියන්නැයිද ඉල්ලා සිටියේය. එහෙත් ඔහු මියෙන තුරුම මට එය කළ නොහැකි විණි. සමහර දේවල් එපරිදිය. අපට එවන් සමහර දේවල් ඉටු කරන්නට නොහැකි වන්නේ ඉන්පසුව ජීවිත කාලයම ඒ බර දරාගෙන සිටින්නට සිදු වෙයි. ඒ ඉතා අසීරු කාර්යයකි. මනුෂ්‍යත්වය උදෙසා උපරිමයෙන් කැපවිය යුතුයයි ඇදහූ, ඒ වෙනුවෙන් සාමූහිකව මෙන්ම පුද්ගලිකවද කැපවූ සුනල් සම්බන්ධයෙන් ඒ බර අති විශාලය.

සුනිල් ගේ කවිය ඇරඹෙනුයේ නික්ම යාමට පෙර නම් මාතෘකාව සමගිනි. ඔහු සිය කාව්‍ය චාරිකාව අරඹනුයේ මෙරට තරුණයන්ට ජීවිතය යනු නරකාදියක් බවට පත්කළ සමයක මතක සමගිනි. ඒ දුර බක් මාසයේ මරණයේ දූතයා පැමිණෙන පියවර හඩින් ඔහු තම කවිය අරඹයි.

සඳ පළුව දියවී
නුබ කුහර ඉකිබිඳින
රෑ අඳුර තුළ සැඟව
පැමිණියා උන් දිනෙක

ඒ පළමු භීෂණයෙන් අනතුරුව එළඹෙනුයේ දෙවැන්නයි. සුනිල් එහිද සාක්ෂිකරුවෙකි. වින්දිතයෙකි.

තරු දෙනෙත් නිදිවරන
ඉල් මහේ අලුයමක
මද අඳුර තුළ සැඟව
පැමිණියා උන් නැවත…..

ඉදින් සුනිල් තමන් හට මේ භීම දේශයෙහි හිමි තැන නිසැකවම සටහන් කරන්නේ මෙලෙසිනි.

අතරුදන් වූවන්ගේ
රහසිගත ලේඛණයේ
හිස් ඉරක් ඇත තවම
මගේ වග වාසගමට

සුනිල් තමන් ජීවත්වන ලෝකයේ ස්වභාවය පසක් කරගන්නේ දේශපාලන දැක්මකිනි. බලය සහ අවිය එකිනෙක අත්වැල් බැ‍ඳගත්, ධනවාදයේ කුරිරු මරු වැලින් පොදු ජනයාගේ ජීවිත නිරතුරුවම විනාශය කරා කැන්දාගෙන යන තුච්ඡ ක්‍රමයකට එරෙහිව නැගීම මනුෂ්‍යයාගේ පරම වගකීම බව ඔහු විශ්වාස කරන අතරම පරිසරය ඇතුළු මනුෂ්‍ය මෙන්ම සත්ව සංහතියටද හිමි සියළු උරුමයන් වනසාලන විනාශකාරී පද්ධති බිඳ හෙලිය යුතු බවත් නව ලොවක් ගොඩනැගිය යුතු බවත් එය දේශපාලනය බවත් ඔහු දැඩිව විශ්වාස කරන්නේය.

මේ ඔහු වත්මන දකින ආකාරයයි.

මල් රක්තවර්ණය
ගංගා මලානිකය
භූමිය දුඹුරු පැහැතිය
වලාකුළු ගැබ්බරය

දොඩම් පැහැ පරමාණු
පල දරයි ක්ෂිතිජයේ
ව්‍යසනයෙ මුල් අල වැල්
බිම් පතුල පුපුරා මතුවේ

විනාශයම ඉරණම කොට පවරා ඇති ලෝකයක පලා යාම පලක් නැති ව්‍යාජයකැයි කවියා පසක් කරගනියි. ඔහු ඒ අනුව තම ජීවන අරමුණ කවරක්දැයි ප්‍රශ්ණ කරයි. එය නිශ්චිතව තීරණය කරන්නට වෙර දරයි. අවසන තීරණයට එළඹෙයි. මේ ඔහු තමන් නිර්වචනය කරගන්නා ආකාරයයි.

නොනිවා දැල්වෙන
පහනක් රැගෙන
කරමි පිය මං
ගම් නියම් ගම්
සොයමි මනරම්
මානවකයෙක් පිරූ මනුදම්
ඩයෝජෙනිස් මෙන්
එදා පුරවර ඇතැන්ස්

රැගෙන ගිනි පන්දම්
ගොතා නෙක මල්දම්
කරමි සක්මං
කඳු ශිඛර ඉංගම්
සරතුස්ත්‍රා මෙන්
සොයමි සුපසන්
උත්තරීතර මානවකයෙක්

නින්දා පරිභාෂ පිරි පුරවර
කරමි අභිනිෂ්ක්‍රමණය
සොයමින් සම භූමිය
සැරිසරමි පෘථවි ගෝලය……

එතැන් පටන් අපට හමුවනුයේ කවියාගේ ජීවිත අත්දැකීම් සමග වන චාරිකාවකි. ඔහු ඒ චාරිකාවෙහි සැම විටම මතුකර ලන්නේ මනුෂ්‍යත්වයට හිතකර සමාජයක් ගොඩනැංවීම පිණිස වන වයායාමයන්ය. විවිධ බෙදුම් ඉරි වලින් නොඅඩු, වඩ වඩා බෙදුම් රේඛා දිරි ගන්වනු ලබන ලෝකයක ඔහු සිය හඬ මෙසේ මතු කරයි.

නොබෙදනු මැනව
මානව මානවිකාවන්
මරණයට පෙර හෝ පසු
ආගමික උන්මාදයෙන්

ජීරණය කරගැන්මට ඉඩ දෙනු
සොබා දහමේ බඩවැලට
බෙදා මූලික ද්‍රව්‍ය වෙන වෙනම
මහ පොළවේ නැවත උත්පාදනයට….

ඔහු සිය කවියෙහි යළි යළි ආරාධනා කරනුයේ පුද්ගලික සැලසුම්, ඉලක්ක, අරමුණු ඉවත ලන සාමූහික පැවැත්මෙක අසිරිය විඳින්නටමය. සාමූහිකත්වය හැර අන් ගැලවීමක් ලොක්යට නැතැයි විශ්වාස කරනා කවියා ඒ වෙනුවෙන් සිය කවියෙන් හඩ නගයි. සුනිල්ගේ කවියෙහි ඇති විශේෂත්වයක් වන්නේද මේ
මුරගෑමමය.

කොඳුරයි දෙසවනට
තුරු ඉපල් යාය මැද
හිම මුක්ත ශිඛර මත
දෝංකාරය දෙයි ඒ හඬ

‘නැගිටින්න යෙහෙළිය
පිබිදෙන්න සොහොයුර
සිඳ බිඳ දමා පවුරු පදනම්
බිඳ දමා නපුරු සිර බිම්

මේඝයක් වී බිඳිමු ශිඛරය
මාරුතය වී හැපෙමු ඉවුරත
ගිනි මලක් වී පිපෙමු සිවු දිග
පන්හිඳක් වී ලියමු කව් පද

ඉවත ලමු මායාවෙ තිරපට
බිඳ දමමු මිත්‍යාවේ කැටපත
සිඳ දමමු දෙපා බැඳි යදම
ඉගිල යමු තටු සලා සිවු දිග‘

සුනිල් මානව නිදහස කෙරේ දැඩිව විශ්වාසය තැබූ ක්‍රියාධරයෙකි. එහෙත් ඒ මානව නිදහස යනු පුද්ගලික විමුක්තිය සොයා යාම නොව එක්ව නැගෙන එක්ව සටන් කරන එක්ව ගොඩනගන ලොවක් බව ඔහුගේ තිර විශ්වාසයවීය. ඔහු සිය ජීවිතය පුරා විවිධ කණ්ඩායම් සමග එක්ව වෙහෙසුනේ ඒ වෙනුවෙනි. පසුගිය අරගල සමයේ ගාලු මුවදොර කඳවුරු බැඳි මිනිසුන් හමුවෙහි සිටිමින් රාත්‍රී කාලයන්හී දිගු සංවාදයන් හී ගැලෙමින් ඔහු යත්න දුරුවේ මේ සාමූහික ප්‍රඥාව අවදි කරන්නටමය. ඉදින් මේ දේශ සීමා රහිත කවියා යනු සුනිල්ගේ ජීවන චාරිකාවේම පදාසයන් බව අප කෙසේ අමතක කරන්නද?
ඔහුගේ කවි චාරිකාව මේ දූපත ඉක්මවා යන ලෝක සැරියකි. එහිදී අපට මේ එකම ඛේදයෙන් විවිධාකාරයෙන් බැට කන සමස්ත ලෝකයේම විවිධ කලාපයන් හමුවෙයි. ඔහු ඒ කලාපයන්හී තතු ගෙන හැර පාමින් අපට අපේ ඉරණම පොදු ඛේදයක්ම බව පසක් කරන්නට තැත් දරයි. එක් අතකින් ඔහුගේ කවි සැරිය දැනුම් බෙදාහැරීමක් ලෙසද සැලකිය හැකිය. සේයා, අනුත්තරා, ඈන් ෆ්‍රෑන්ක්, සොරායා, රචල් කොරී, ඉෆිජෙනියා, පොලක්ෂිණා, හයිපතියා, කන්නගී, කැසන්ඩ්‍රා මේ ඔහු අපට මුණ ගස්වන චරිතයන්ය. යළි ඔහු අප නර්මදාවෙහි දිය රළ වෙත ගෙනයයි. පරිසරයෙහි මිහිරියාවෙහි අප සනහන ඔහු යළි සැණෙකින් අපට ඒ මිහිරියාව අහිමි කරවනා අධම පද්ධතිය සිහිපත් කරවයි.

ඉදින් මේ දීර්ඝ චාරිකාවෙහිදී සුනිල් අප අමතනුයේ සාමූහික මගෙක මනුෂ්‍යත්වය උදෙසා වන ප්‍රයාණයක යෙදෙන්නටය. ඔහු කවියෙහි අලංකාරයට වඩා විශ්වාසය තබනුයේ එමගින් සන්නිවේදනය කරනු ලබන අදහස කෙරෙහිය. එහෙත් ඒ සමගම ඔහු කවියෙහි අලංකාරයද නසානොගන්නට සමත් වෙයි. ඔහු දේශ සීමා රහිත කවියා තුළින් අපට ගෙන එන්නේ ආගම, ජාතිය, සම්පත්, අවිආයුධ, දේශපාලන බලය යන මේ සියළු දේ හරහා වැනසී යන ලෝකයකට ජීවිතය කැඳවන අරගලයක අවශ්‍යතාවයමය.

ඉදින් සුනිල් සමග කළ යුතුව තිබූ සංවාදය අපට දැන් අහිමිය. එහෙත් ඔහු දේශ සීමා රහිත කවියා මගින් අපට ගෙන ආ අදහස් එසේ අපට අහිමි නොවනු බව නම් නිසැකය.

චූලානන්ද සමරනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy