මේ රටේ ඉස්කෝලෙ යන ළමයි ගැහැණු පිරිමි භේදයකින් තොරව වැඩියෙන්ම ආසා කරන්නෙ නිවාඩු කාලෙට කියන එක රහසක් නෙමේ. මොකද , ඒ අයට මෙලෝ රහක් නැති විෂය ගොන්නක් ඉගෙන ගන්න එකෙනුයි කාලසටහන්ගත දිනචරියාවෙනුයි මිදෙන්න පුළුවන් නිවාඩු කාලෙදි විතරයි හින්දා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ කියලා නොදන්නා කෙනෙක් නෑ. ඒත් ඒ රටාව අබමල් රේණුවකින් වෙනස් කරගන්න තවමත් අපට හැකි වෙලා නෑ. එහෙම තත්ත්වයක් යටතේ වැඩිහිටි සමාජය ළමයින්ව කොච්චර දුරට තේරුම් අරන් තියෙනවද කියන ප්‍රශ්නෙ තවමත් අපි ඉදිරියෙ පවතිනවා. දෙමව්පියන් වගේම ගුරුවරුත් හුගක් වෙලාවට කරන්නෙ තමන්ගෙ ලෝකයෙ තියෙන අච්චුවකට ළමයව ගාල් කරන එක. එහෙම ගාල් කරන්න බැරි ළමයි අමුතු ළමයි වෙනවා. සුරත් ද මෙල්ගෙ ‘ළමුතු අමයා’ නවකතාව ඒවගේ අමුතු ළමයෙක් හරහා වැඩිහිටි සමාජයේ ඛේදවාචකය දිහා බලන්න උත්සාහ කරන කෘතියක්.
මේ නවකතාවෙ ප්‍රධාන චරිතය අහස්. එයා තමයි අමුතු ළමයා නැත්නම් ළමුතු අමයා. අහස් ඉගෙන ගන්නෙ ජාත්‍යන්තර පාසලක. ළමයගෙ ක්‍රියාකලාපය ගෙදරදි වගේම ඉස්කෝලෙදිත් වෙනස්. ඒහින්දම දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් ඉස්කෝලෙ අනිත් ළමයින්ටත් මෙයා අමුතු ළමයෙක්. පාසලේදියි ගෙදරදියි මොහුට මුහුණ දෙන්න වෙන සිදුවීමුයි ඔහු ඒවට දක්වන ප්‍රතිචාරයි එක්ක කතාපුවත ගලාගෙන යනවා.
සුරත් මේ ප්‍රබන්ධය ගොඩනංවන විදිහට ඇත්තටම ගුරුවරුයි දෙමව්පියොයි ගැන ඇති වෙන්නෙ තරහක් නෙමේ අනුකම්පාවක්. ඒ අයට සිද්ධ වෙන්නෙ තමන්ගෙ ආශාමය අවකාශය බලහත්කාරයෙන් අහුරගෙන අනෙකාගේ බැල්මට යටත්ව ජීවත් වෙන්න. අපි ජීවත් වෙන්නෙ ප්‍රකෘතිය විකෘතිය බවටත් විකෘතිය ප්‍රකෘතිය බවටත් සාමාන්‍යකරණය වුණ සමාජයක නේද කියන හැඟීම මේ නවකතාව කියවන පාඨකයෙකුට නිරායාසයෙන්ම ඇති වෙනවා. මේ විපරීත තත්ත්වය හොඳින්ම දකින්න පුළුවන් තැන තමයි පාසල. පාසලේදි සිසුන්ට කෙසේවෙතත් පරිපාලකයන්ටයි ගුරුවරුන්ටයි සිද්ධ වෙනවා ස්වයං සිරකාරිත්වයක් නඩත්තු කරන්න. ගුරුවරුන්ට මේ තත්ත්වය පාසලෙන් පිටතදිත් පවත්වගෙන යන්න වෙනවා. හැබැයි ඔවුන්ගෙ අවිඥානික ආශාවන් ඊට වෙනස්. මේ අවිඥානික ආශාවයි ආරෝපිත වැදගත්කමයි අතර ආතතිය පුපුරලා යන්නෙ ළමයින්ගෙ පිටින්.
මට හිතෙන විදිහට සුරත් මේ නවකතාවෙ අහස් කියන ප්‍රධාන චරිතය හරහා අපට විවර කරන්නෙ වැඩිහිටි පරපුර මුහුණ දෙන මේ සමාජමය ඛේදවාචකය. අහස් කියන්නෙ ව්‍යතිරේකයක්. අනෙක් අතට ඔහුට සැබෑ ලෝකයෙ මිතුරන් නැහැ. ඉස්කෝලෙ පංතියෙ ඉන්නෙත් අර පොදු කුලකයෙම අය. ඒහින්දා එයාට සිද්ධ වෙනවා ෆැන්ටසි මිතුරන් නිර්මාණය කර ගන්න. සැබෑ ලෝකය විකෘතියක් වෙනකොට ළමයින්ට ප්‍රකෘතිය හොයා ගන්න වෙන්නෙ ෆැන්ටසි ලෝකයක් ඇතුලෙ. හැබැයි ඒ ෆැන්ටසි මිතුරන් එක්ක කරන ඇසුර අනිත් අයට පේන්නෙ විකෘතියක් හැටියට.
සුරත් තමන්ට සුපුරුදු පාඨකයා මත් කරන මද්‍යසාර භාෂාව ළමුතු අමයා නවකතාවෙදිත් යොදා ගන්නවා. පොතේ නම වගේම කතාපුවත ගලාගෙන යන අතරතුරේදිත් ඒවගේ පද පෙරලි දකින්න තියෙනවා. ඒක මේ ප්‍රකෘතියයි විකෘතියයි අතර තියෙන පටලැවිල්ල තීව්‍ර කරන භාෂා ප්‍රයෝගයක්. ඒත් සමහර වෙලාවට සුරත්ගෙ භාෂාමය සත්කාරය ප්‍රබන්ධ ශෛලියකින් තීරුලිපි ශෛලියකට පොලා පනින ගතියකුත් තියෙනවා. කොහොම වුණත් සුරත්ගෙ ළමුතු අමයා අපට උත්ප්‍රාසාත්මකව පෙන්වා දෙන්නේ ව්‍යාජ සංකේතීය වටිනාකම් නඩත්තු කිරීම වෙනුවෙන් අපි දැන දැනම ගොදුරු වෙලා ඉන්න සමාජ ඛේදවාචකයෙ පැතිකඩක්.