OPPENHEIMER සම්මාන හතක්, 96 වැනි ඇකඩමි සම්මාන උළෙල ට පසුවදනක්

96 වැනි ඇකඩමි සම්මාන උළෙල නොහොත් ඔස්කාර් සම්මාන උළෙල අභිමානවත් ආකාරයෙන් නිමාවට පත් වූවේ ය. මෙවර ඇකඩමි සම්මාන උළෙල බොහෝ කලකට පසුව ඉතා ඉහළ හා අතිශයින්ම සාධාරණ විනිශ්චයකට උරුමකම් කී බව පෙනේ. එය ලෝකයේ දසත විසිරී සිටින සිනමා ක්ෂේත්‍රයට සහසම්බන්ධ වූවන්ගේ හා මිලියන සංඛ්‍යාත ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරයේ අමන්දානන්දයට හේතු කාරණා වූ බවද පෙනේ.
මෙවර ඇකඩමි සම්මාන උළෙලේ මා දකින සුවිශේෂීත්වය නම් එහි තීන්දු තීරණ අතිශයින්ම විනිවිදභාවයකින් හා සිනමා විෂයය හා බැදී සිටින ලොව ඕනෑම අයකුට කිසිදු විවාදයකින් තොරව පිළිගැනීමට හැකිවීමයි. එසේම බොහෝ කාලයකින් එහි වචනයෙන් විස්තර කළ නොහැකි මහා අභිමානයක් හෝ ගාම්භීරත්වයක් මම දුටුවෙමි.

ඒ ඇයි දැයි යන්න මම මේ සටහන තබන විටදී වූවද කල්පනා කරමි. එය අන් කවරදාටත් වඩා මට ඉතා සමීප අත්දැකීමක් වූ බව කිවයුතුය. එය මට විතරක් නොව ලෝකයේ මිලියන සංඛ්‍යාත ලෝක ප්‍රේක්ෂකාගාරයේ පොදු අත්දැකීම වූවාට කිසිදු සැකයක් නොමැත .

ඇකඩමි සම්මාන උළෙලේ දී හෝ ලොව වෙනත් කිසිදු උත්සවයක දී හෝ ලොව සිදුනොවිය යුතු දෙයක් ද මෙවර ඇකඩමිය සම්මාන උළෙලේ දී සිදුවීම ලොව වැඩි අවධානයකට ලක්වූ සිදුවීමක් විය . එනම් ඒ WWF රෙස්ලිං ක්‍රීඩකයකු හා ක්‍රියාදාම නළුවකු වන ජෝන් සීනා වසරේ හොදම ඇදුම් නිර්මාණය සදහා වූ සම්මානය සදහා වූ නිර්දේශ නාම හා එහි ජයග්‍රාහකයා කව්ද යන්න කියනු පිණිස නිරුවතින් වේදිකාවට පැමිණීම ලොව කොයි කාගේත් දැඩි අවධානයට යොමු වූ කාරණාවක් විය . මෙය අපවන් සංස්කෘති බැදීම් හා සාරධර්ම පිළිබඳව වැඩිපුර හිතන සමාජයකට බරපතල කාරණාවක් වූවාට ඇමෙරිකාව වන් විවිධ ජාතීන් හා සංස්කෘතීන්ගෙන් සම්මිශ්‍රණය වූ රටකට එතරම්ම වැදගත් කාරණාවක් නොවේ. එය ඔවුනට එක්තරා අහඹු සිදුවීමක් පමණි. එනමුත් වසරේ විශිෂ්ට සිනමා ශිල්පීන් අගයන හා ඔවුන්ගේ දක්ෂතා වෙනුවෙන් උපහාර දක්වන ලොව ප්‍රබලතම උත්සවයකදී එවැන්නක් සිදුවීම සැබවින්ම නුසුදුසුය බව මගේ පෞද්ගලික පිළිගැනීමයි . තමාගේ කඳබඩ මහත වු පමණින් තමාගේ මොලේ වැඩී නැති බව ඔහු විසින් ලොවට පෙන්වන ලද අවස්ථාවක් ලෙස ද එය මම දකිමි. අපේ රටේද කඳබඩ මහත වූ පමණින් ඕනෑම දෙයක් තමුන්ට කරන්න හැකි යැයී සිතන උදවිය කොතරම් වෙත්ද ?

සම්මාන පිළිබඳව විවරණය ——-

මෙවර ඇකඩමි සම්මාන උළෙලේ වැඩිම අවධානය යොමුවූ චිත්‍රපටය වනුයේ OPPENHEIMER ය . ඊට වඩාත්ම හේතුව වූයේ 2023 වර්ෂයේ ලොව වඩාත්ම ප්‍රේක්ෂක හා විචාරක අවධානයක් දිනාගත් චිත්‍රපටය හා එම වසරේ ලොව වැඩිම බොක්ස් ඔෆීස් ආදායම් වාර්තාවකට හිමිකම් කී චිත්‍රපටය වූයේ ද OPPENHEIMER චිත්‍රපටය වන බැවිනි.

මෙවර එම චිත්‍රපටය මුල්පෙලේ සම්මාන හතක්ම දිනාගැනීම වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ ය. එනම් ඒ හොදම චිත්‍රපටය, වසරේ හොදම අධ්‍යක්ෂණය, වසරේ හොදම නළුවා , වසරේ හොදම සහය නළුවා , වසරේ හොදම ( සිනමා ) සංගීතය , වසරේ හොදම කැමරාකරණය , වසරේ හොදම සංස්කරණය යනාදී වශයෙන් සම්මානයි.

මෙවර වසරේ හොදම සහය නිළියට හිමි සම්මානය THE HOLDOVERS චිත්‍රපටයේ ප්‍රබල රංගනයක නිරත වූ ඩා-වින් ජෝ රැන්ඩොල්ප් ( Da’Vine Joy Randolph ) වෙන හිමිවීය .

මෙවර ප්‍රබුද්ධ ප්‍රේක්ෂකාගාරයේ හා විචාරකයන්ගේ වඩාත් අවධානය යොමුවූ තවත් චිත්‍රපටයකි , POOR THINGS – 2023 . සැබවින්ම මෙය අතිශයින්ම ගැඹුරු දාර්ශනික තේමාවකින් යුතු විශිෂ්ට චිත්‍රපටයකි. එසේම මෙය නැරඹිය හැක්කේ ද අවබෝධ කරගත හැක්කේ ද උසස් ( ගැඹුරු ) සිනමා රසාස්වාදයකට හීමිකම් කියන ලෝක ප්‍රේක්ෂකාගාරයට පමණි. මෙම චිත්‍රපටය මුල්පෙලේ සම්මාන හතරක් දිනාගැනීම සමත්විය. එනම් ඒ වසරේ හොදම නිළිය , වසරේ හොදම ඇදුම් නිර්මාණය , වසරේ හොදම වේශ නිරූපණ හා කොණ්ඩා මෝස්තර, වසරේ හොදම නිෂ්පාදනය සැලසුම්කරණය යනාදී වශයෙනි. 2023 වර්ෂයේ දී ප්‍රංශයේ කාන් සම්මාන උළෙලේ දී වසරේ හොදම චිත්‍රපටය ලෙස PALMER DO’R සම්මාන දිනාගත් ANATOMY OF THE FALL – 2023
චිත්‍රපටය වසරේ හොදම තිර රචනය සදහා වූ සම්මානය දිනාගැනීම සමත්වීය. එසේම 2023 වසරේ කාන් සම්මාන උළෙලේ GRAND FIX සම්මානය දිනාගත් තවත් විශිෂ්ටතම චිත්‍රපටයකි, THE ZONE OF INTEREST – 2023 . මෙම චිත්‍රපටය මෙවර වසරේ හොදම විදේශීය චිත්‍රපටයට හා වසරේ හොදම ශබ්ද පරිපාලනයට හිමි සම්මාන දිනාගැනීමට සමත්වීය . නවකතාකරණය තේමාව කොටගත් චිත්‍රපටයකි, AMERICAN FICTION – 2023 . එම චිත්‍රපටය නිර්මාණශීලී තිර-රචනය වෙනුවෙන් වූ සම්මානය දිනාගැනීම සමත්වීය.

වසරේ හොදම Visual Effects සදහා වූ සම්මානය GODZILLA MINUS ONE – 2023 චිත්‍රපටය විසින් දිනාගැනීමට සමත්විය. 2033 වසරේ තවත් බොක්ස් ඔෆීස් වාර්තා තැබූ හා ලොව තරුණ- තරුණියන් අතර අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපටයකි, BARBIE. මෙම චිත්‍රපටය වසරේ හොදම ගීතයට ( What Was I Made For ) හිමි සම්මානය දිනාගැනීම සමත්විය. වසරේ හොදම කෙටි චිත්‍රපටය හිමි සම්මානය The Wonderful Story of Henry Sugar – 2023 චිත්‍රපටය විසින් දිනාගත් අතර වසරේ හොදම සජීවීකරණ චිත්‍රපටය හිමි සම්මානය විසින් දිනාගන්නා ලදි.

වසරේ හොදම වාර්තා චිත්‍රපටය හිමි සම්මානය හිමිවූයේ The Last Repair Shop ය.
මට පෞද්ගලිකව එක්තරා කණගාටුවක් තිබෙන බව කිවයුතුය. එනම් ඒ NAPOLEON – 2023 හා THe KILLERS OF THE FLOWER MOON – 2023 යන චිත්‍රපට දෙක සදහා කිසිදු සම්මානයක් හිමි නොවීමයි . මෙම අති දැවැන්ත චිත්‍රපටය දෙක එසේ ඉවතට විසිවීමට සුදුසු චිත්‍රපට දෙකක් නොවන බව මගේ පෞද්ගලික කියවීමයි.

මෙවර වසරේ හොදම අධ්‍යක්ෂණයට හීමි සම්මානය පිරිනමන ලද්දේ අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග විසිනි . එහිලා එම සම්මානර හිමිකර ගත් ක්‍රිස්ටෝපර් නොලෑන් වේදිකාවට පැමිණ සම්මානය හිමිකර සතුට දෙදෙනා හදවතින්ම බදාගෙන සැමරූ අයුරු සැබවින්ම අපගේ වුවද නෙතද සතුටු කදුලෙන් තෙමීමට කාරණාවක් වූ බව කිවයුතුය.

නොලියාම බැරි මගේ සටහන —-

OPPENHEIMER / POOR THINGS / ANATOMY OF THE FALL / THE ZONE OF INTEREST යනාදී පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට ලෝක ප්‍රේක්ෂකාගාරයේ හා සිනමා ක්ෂේත්‍රයේ සිටින උදවියගේ දැඩි අවධානයක හා කතාබහට ලක්වූ විශිෂ්ට චිත්‍රපට හතර බව පෙනේ. එසේම මගේ පෞද්ගලික කියවීමට අනුව මෙම චිත්‍රපට ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනය ඉතා ගැඹුරින්ම නිරූපිත චිත්‍රපට හතරක් ද වන්නේ ය.

එනමුත් මෙම විශිෂ්ට චිත්‍රපට හතර මෙරට කොතරම්ම දුරට කතාබහට ලක්වූවාද යන්න මට නම් සැබවින්ම ප්‍රෙහෙළිකාවකි . එහිලා මෙම චිත්‍රපට මෙරට සිනමා ක්ෂේත්‍රයේ නිරතව ඉන්න උදවියට වැඩක් නැතිද , ඉන් ඔවුනට ගතයුතු කිසිවක් නොමැතිද යන්න අසනු වටී. ඒ කෙසේ වුවද සිනමාව මෙන්ම විශ්ව කලාව නිරන්තරයෙන්ම නව්‍යමය වන්නේ ය . එහෙයින් අපට අපගේ කියවීම වැඩිදියුණු කරගැනීමට නම් ඒ පිළිබඳව අධ්‍යනය කිරීම ඉතා වැදගත් වන්නේ ය . ඒ න්‍යායට අනුව අපේ රටේ සිනමාකරුවන්ට හෝ ඒ ක්‍ෂේත්‍රයේ නිරතව සිටින උදවිය කොතැනද යන්න අපට සිතෙනු ඇත. සාමාන්‍යයෙන් අපට වඩා මෙරට සිනමා ක්ෂේත්‍රයේ නිරතව සිටින අයකුට ( විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරුන්ට ) ඉහත සදහන් චිත්‍රපට හතර අපට වඩා හොදින් දැනෙනු හා හැගෙනු ඇත. එහෙයින් ඔවුන් විසින් මෙවන් චිත්‍රපටය පිළිබඳව සමාජය දැනුවත් කළ යුතු වන්නේ ය. අඩුම තරමිනු මෙරට ඔය කියන මහා සිනමාකරුවන් කියන කිසිවකුවත් අඩුම තරමින් මෙම චිත්‍රපට පිළිබඳව කිසිදු සටහනක් තබා නැත්තේ ය. මෙරට ප්‍රේක්ෂකාගාරය ජාත්‍යන්තර සිනමා දැනුමෙන් සන්නද්ධ කිරීම ද රටක චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ හෝ විචාරකයන්ගේ කර්තව්‍යයක් නොවන්නේ ද ? එසේ වී නම්, ඔවුන් තමන් නියැලී සිටින ක්ෂේත්‍රය පිළිබඳව යාවත්කාලීන ( Update ) වීමේ තරම කොතරම්ම ද යන්න අපට සිතාගත හැකිය. ඉන් හැරුණු විට මෙරට නළු – නිළියන්ට හා වෙනත් ක්ෂේත්‍රයේ උදවිය පිළිබඳව කවර කතාද ? මෙහිලා පුදුම හා කණගාටුදායක කාරණාව වනුයේ අපේ ඇතැම් විචාරක ඇත්තන්ද මෙම චිත්‍රපටය පිළිබඳව මුනිවත රැකීමයි. අපේ ඇතැම් විචාරකයන් හැටේ හැත්තැවේ දශකයේ ශ්‍රීලාංකේය සිනමාවේ හිරවී හෝ අතරමංව ඇත්තේ ය. ඔවුන් ඉන් මෙපිටට ගැනීමට සක්කරයාට වුවද නොහැකි ය .

සැබවින්ම ශ්‍රීලාංකේය සිනමාව හා එහි ජාත්‍යන්තර සිනමා සාක්ෂරතාවය මෙතැනින් කොතැනද ?
(මෙවර ඇකඩමි සම්මාන උළෙලේ වසරේ හොදම චිත්‍රපටය නිර්දේශිත චිත්‍රපට සියල්ලම මවිසින් නරඹන ලදි. එය මට මෙම පසුවදන රචනා කරනු පිණිස මහත් සේ ප්‍රයෝජනවත් වූ බව කියනු කැමැත්තෙමි .)

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

the zone of interest

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...