සිටියි ඔහු ගඟ වක්වී ගලන තැන, නැගෙයි ඔහු උස් හඬ ‘මා මිනිසෙක් ඔබ ගඟක් නිසා’ යයි පවසන. නතර වෙමි, විඳිමි ඔහු කවි අස්වැන්න. යළි නැගෙයි ඔහුගෙ හඬ ‘මෙ කව මෙතනින් නවතමි’. තිගැස්සෙමි. එහෙත් ඔහු නොනවතින බව දනිමි. නැවතුම යනුම ඔහුට නව ඇරඹුමක් බව දන්නා හෙයින් අපේක්ෂා සහගතව හිඳිමි. මෙන්න ඔහු ආයෙම දෙවරක්ම ‘සුළු’ යයි නම් දුන් කාව්යෙ සංග්‍රහ දෙකක්ම තිළින කල පසුව. ‘පහයි විස්සා’ රැගෙන. පහයි විස්සා! ඒ නම් වහා සොයාගෙන කියවන්නටම පොළඹවන නමකි.
ලාල් හෑගොඩ, පෙරලමි ඔහුගේ නව කෘතියෙහි පිටු එකින් එක. දේදුන්න ගැන කියන ඔහු මවයි දේදුන්න ඉක්මවා යන තවත් නෙක වර්ණ. ජීවිතේ අත යටින් ලිස්සා යන සිහින් සර. නිම් නකැවි පැතිර යන විඳුම් කලාප. සිහින් රිදවුම් රළ. හද සසල කරවන කුණාටුවල ගිගිරුම.
ලාල් හෑගොඩ, අපරාජිත මිනිසෙකි ඔහු සිටින් දැන් ඉතින් නොදඟලා එකම තැන, විධානය කරන විට ජීවිතය ඔහු හට. ගසයි ඔහු නව කැරැල්ලක් සීරුවට. වඩාගෙන කවි පෙලක් කරයි ඔහු අභියෝග දිවියට. බලාපන් නවත්වනු හැකිද මා මේ ලෙස?
කියයි ඔහු අප හට ජීවිතය නම් පරාජය කළ නොහැකි ජයම හිමි බිමක් බව. කියවන්න හෙමිහිට මල් සුවඳයි ගලන්නේ කව.
පාළු දෙණි
උස් කඳුබිමේ
එකලාව සැරිසරන කවියා
හිඳ ගත්තේය
කඳු කැටියක
වඩන්නට ආනාපාන සති
යෙහෙකි. ජීවිතය නොතිරය. සිතේ සාමය ඇවැසිය. භාවනාව නම් සිත එකලස් කරන මගකිය. කවියා හිඳ ගනියි එකලාව, පළඟ බැඳ, භාවනාවට.
මල් සුවඳක් එනවා
ඊ සර සේ
විසුනු කරමින් සති
මලක් නැති බිමේ
කොහෙද විලවුන් මංජුසාවක්
අගෙයි එකල කිවියර, නව භාවනාවකි ඔහු මෙවර අරඹන. පසෙක ලා ආනාපාන සතිය ඔහු සොයා ජීවිතයේ නව නිම්න, කඳු පෙල.
හරිත පොරෝණයකින් වසා ගත්
ඈත කන්දේ සිට මිස
දුනුදිය අදින්නට
කොහෙද බිමක් මෙහි
ආශ්වාස දිවෙනවා
නාස්පුඩු අතරේ
අතුරුදහන් වෙයි මගදි
මල් සුවඳයි ගලන්නේ
ඉන්පසු
සොයන්නේ නම් ජීවිතය නිස්කාන්සුවේ විඳ බලනුමැන මෙ කව. එයම වෙයි නව ඇරඹුම. ජීවිතය යනු නැවතුමක් නොව ආදරෙන් සොයා යන මගක් බව සිහින් රිදුමක් සමග පසක් කරවනු ඇත ඔබ හට.
විලංගු ලා ගත සිර කළද නොහැකි බව නවතන්න මිනිස් හදවත උස් හඬින් පවසයි ඔහුගෙ කව් එකිනෙක. පවසනා දේට වැඩියෙන්ය ඔහු නොපවසනා දෙය. ඉදින් ඔබ සමත් නම් කිණින්ට ඒ කව්, මතු කරගත හැකිය ඔබ හට කවියාද ඉක්මවා යන නෙක හැඟුම් කලාපයන් නැවත නැවතද. කියවන්න මව සහ දියණිය. වෙලාගෙන අතිනත, දියණියක සහ මවක වෙතැති තද බැඳුම. උස් බිමක, ගොරතර මගකට වන් සැණින් තව තවත් තදින් බැඳෙන ඒ බැඳුම, කියයි
ඔහු මෙලෛස.
ඉතා තදය ඒ බැඳුම්
නහරවැල් එකිනෙක
බද්ධ වූවා වාගේ
එදා කිරට හරවා
පෙව්වත්
අද ලෙයට ලෙයමයි
මුසු වන්නේ
ඉදින් මේ ඔහු කවිය නවතන තැන, සිතන්නට ඔබට ඇරයුම් කරන තැන.
තිත්ත රස තිබිය හැක
ඇතැයි රහස් කඳුළු දිය
ඇතැයි රැවටිලි බස්
වග වලසුන් දුන්
සිහි වූ අම්මා
අත ඇද ගත්තාය
සැනින්
මතකද ඔබට ඒ මැතිඳු? රෝහල් අසල අපමණ මල් ශාලා ඇතැයි සෝපහාසයෙන් පැවසූ ගරු මැතිඳු, අමතකය බොහෝ දෙනා හට, කිවිඳට නමුදු සොඳින් මතකය. එහෙත් ඔහු ඒ මතක ගෙනෙනුයේ නැවුම් මානයකින්ය.
ඇතුලත සොරුන්ට
නොහැකිය පලා යනු
ඇත වීදුරු කවුළු දැල් ගසා
පිටත සොරුන්ටද ඇතුලට යා නොහැකිය
ඉදින් දැක තිබේද ඔබ එ දැල් ගසා වාසා ලූ කවුලු ඇති රිය? මෙන්න එනවා ඒ මැතිඳු අප හමුවට.
‘අභිරූ තෙද බලැති කෙසරා’ වන්
අප මැතිඳු
දැල් ගැසූ කවුළුවෙන් නොව
දොරින්ය වඩින්නේ ඇතුලට?
වැටුහේද ඔබ ඒ කවර ඇතුලක්දැයි? කියවා බලනු මැන හෙමිහිට. මෙන්න ඔහුගේ වගතුග.
පුද ලැබිය යුතු නැණින්
මහත් රජ මඩුල්ලට
සියුම්ව අංග රචනා කර
හැඩ කර ඇන්දවූ
වෘෂභ සළු පිළි රුවින
අප මැතිඳු
රෝහල් අසල අපමණ
මල්ශාලා ඇතැයි
ජනතාවට පහදා දී
සොඳින්
පෙර කල නරපතියා සීතාම්බර පට හැඳ සරද්දී විදී හෙළුවෙන් බව නිබයව කීවේ කුඩා දරුවෙක් බව අසා ඇත්තෙමු අපද. ඉදින් අද මේ මැතිඳ නිරුවත් කරනුයේ දරුවෙකු නොව අප කිවියරටද සොඳින් හුරු කුමරා ඇසක්මය.
පිටුපසින් නොව
නිසි තැනින්
කැමරාව මූනුවාට
ස්තුතියි ශිල්පියාණනි
මෙහෙණින්වහන්සේ නොසැලිනි… ඒ තවත් අපූරුම කවක් වෙත.
හැර දමා අරණ
හැර දමා බණ භාවනා
මෙහෙණිය වඩින්නේ
බාල දියණිය නිවසට
කියවන්න ඒ කව. කිසිත් නොපවසන, බොහෝ දෑ සිතන්නට ඔබට දොර කවුළු හැරදෙන. ඔබද කවියෙක් කරමින් ජීවිතය සොයන්නට බල කරන. මහත් දෑ දුහු බැඳ මහා කවි ගවේෂණ අරඹන, බොහෝ අය පසු කර අප කිවිඳ කණියි ලුහු අංශුවක් විසල් කැන්වසයක් මත. කියවන්න මිහිදන් විය දිය බිඳ.
වරෙක් කී බව කීමි ඔහු- මා මිනිසෙක් ඔබ ගඟක් නිසා…. කෙතරම් දුරද අප හට ඒ කවි මග, ජීවිතේ විසල් නිම්නය. අප සිටියේම ජය පතනා මහා යුද සයුරක. ජය ගොස නගමින් රූපවාහිණි පුවත් නරඹමින්. සතුරා පරදවා දණින් වට්ටවා අනුකම්පාව බෙදමින්. පුලන්නකුට මෙන් ඔහුට සහනාධාර එක් කරමින්. යළිත් නැගිට්ටොත් ඔන්න අපේ මිනිසත්කම් ඉවරයි දබරැඟිල්ල මොලවමින්. ඔහුගෙ දොර ජනෙල් මොරටුවට, ලීබඩු හල් වලට පටවමින්. තල් රුක් ගලවා දමමින්, බුදු පිළිම තබමින්. ඉදින් අප කවියා කවි කැටපෝලයෙන් මෙන්න විදිනවා කවියක්- සුන්දරම් පුර ජනෙල් පියන්පත්….
පිය කිවිඳ හෑගොඩ, වසින සඳ මහ වැසි කළු ගං දෑලට ගංවතුර පෙන්වයි මිට මොළවා සුරත. වදිද්දී අකුණු සැර හාත්පස වින්දෙමි ඔබේ කවි පැස. ඉදින් නිම කරමි මේ සටහන….
අපද මිනිසුන්ය – ගඟක් වූ නිසා හෑගොඩ