විරාත් කෝලිගෙනුත් කුමාර් සංගක්කාරගේ ලෝක කුසලාන භූමිකාවම

ශ්‍රී ලංකාව ජය ගත් 2014 T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ විටෙක ඉන්දීය කණ්ඩායම, ජයග්‍රාහී තැනක සිටියා.
මන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරග වල දී තිබුණේ එතරම් හොඳ වාර්තාවක් නොවෙයි.
නමුත් තරගාවලිය පුරා අසාර්ථක වූ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක කුමාර් සංගක්කාර එදින තරගය සිය පාලනයෙන් ගිලිහීමට ඉඩ ලබා දුන්නේ නැහැ.
අවසානයේ කුමාර් සංගක්කාර නොදැවී අර්ධ ශතකයක් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය ජය ගත්තා.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවා මෙන්ම වැඩිම ලකුණු ලාභියා ද වූ තරුණ විරාත් කෝලි කුමාර් සංගක්කාරට සුබ පැතුවා.
සංගා කුමක් හෝ දෙයක් බොහෝ වෙලාවක් තිස්සේ කෝලි සමග කතා කළා.
කෝලි ඉතා ගෞරවයෙන් එයට සවන් දුන්නා.
අවසානයේ ලෝක කුසලානයක් ද සමග කුමාර් සංගක්කාර T20 ක්‍රීඩාවෙන් සමුගත්තා.
ඒ ක්‍රීඩකයෙකුට ලැබිය හැකි ඉහළම ආකාරයේ සමුගැන්ම.
පැහැදිලිවම ඒ දිනය විරාත් කෝලිගේ මනසේ ඇඳී තිබෙන්නට ඇති.
2024 T20 ලෝක කුසලානය ඉන්දියාව ජය ගත්තා.
ඒ සමගම ක්‍රිකට් ලෝකයට බිහි වූ විශිෂ්ඨතම පිතිකරුවෙකු මෙන්ම අවසන් තරගයේ වීරයා ද වූ විරාත් කෝලි සිය සමුගැන්ම ප්‍රකාශ කළා.
ඔහු රඟ දැක්වූවේ කුමාර් සංගක්කාරගේ ලෝක කුසලාන භූමිකාවමයි.
ඉන්දියාව ලැබූ ජය විශිෂ්ඨ ජයග්‍රහණයක්.
තරගාවලිය පුරාම අපරාජිතව සිටිමින්, ක්‍රීඩා කළ සෑම කණ්ඩායමක්ම පහසුවෙන් පරාජය කරමින් ලැබූ ජයක්.
මේ ලෝක කුසලාන ජයග්‍රහණය ඉන්දියාවට බොහෝ වැදගත්.
මෑතක සිට පැවැති සෑම ලෝක කුසලානයකම ප්‍රියතම කණ්ඩායම ඉන්දියාව වී සිටියත්, ඒ සෑම තරගාවලියකදීම ඔවුන් අසාර්ථක වුණා.
අවසන් එක්දින ලෝක කුසලානයේ සිය මවුරටේදීම ඔවුන් අවසන් මහා තරගය පරාජය වුණා.
එම නිසා ඉන්දීය ක්‍රිකට් රසිකයන් සිටියේ තරමක කලකිරීමක.
සිය කණ්ඩායමට ලෝක කුසලාන ජය ගත නොහැකි යැයි මතයක් ඉන්දීය රසිකයන් අතර ගොඩනැගී තිබුණා.
මෙවර ලෝක කුසලාන ජයග්‍රහණයට එම කලකිරීම සහ මතයත් තරමක හේතුවක්.
මන්ද සෙසු සෑම ලෝක කුසලානයකටම පෙර පැවැති ඉන්දියාව ජය ගත යුතුමැයි වන පීඩනය මෙවර ඉන්දීය කණ්ඩායමට එල්ල වූයේ නැහැ.
ඔවුන් අවම පීඩනයකින් පියවරෙන් පියවර ඉදිරියට ගොස් අවසානයේ ලෝක කුසලානය ජය ගත්තා.
මේ ජයග්‍රහණය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයටත් වැදගත්.
ඔවුන් ඉන්දීය ප්‍රීමියර් ලීග තරගාවලිය ආරම්භ කළේ 2008 වසරේ දී.
එතැන් සිට T20 ලෝක කුසලාන හයක් පැවැත්වූවත් ඉන් එකක් හෝ ඔවුන්ට ජයගත නොහැකි වුණා.
2014 වසරේ අවසන් මහා තරගයට පැමිණ, ඔවුන් පරාජය වුණා.
එම නිසා ඉන්දීය ප්‍රීමියර් ලීගය නොවැදගත් යැයි මතයක් ද ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇතිව තිබුණා.
අවසානයේ ලෝක කුසලානයක් ජය ගැනීම ඉන්දීය ප්‍රීමියර් ලීගය පැත්තෙන් ඔවුන්ට අස්වැසිල්ලක්.
කෙසේවූවත් මෙම ලෝක කුසලාන ජයග්‍රහණයේ විශාලතම ගෞරවය හිමි විය යුත්තේ එක් ක්‍රීඩකයෙකුට.
ඉන්දීය ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් හිමි වූයේ ඔහුගෙන්.
අවසන් මහා තරගයේ වරෙක දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ පන්දු 30 කින්, ලකුණු 30 ක් පමණයි.
හෙන්රික් ක්ලාසන් සහ ඩේවිඩ් මිලර් කඩුල්ලේ සිටියා.
එනමුත් අවසන් පන්දුවාරය වනවිට දකුණු අප්‍රිකානුවන්ට පන්දු හයකට ලකුණු 16 ක් අවශ්‍ය වුණා.
ඒ වෙනස ඇති කළේ ඔහුයි.
ඔහු ජස්ප්‍රිත් බුම්රා.
සුදු පන්දු ක්‍රීඩාවේ වත්මන් නොම්මර එකේ පන්දු යවන්නාත්, එදා මෙදාතුර බිහි වූ විශිෂ්ඨතම T20 පන්දු යවන්නෙකු ලෙසත් අවිවාදයෙන් පිළිගැනෙන ජස්ප්‍රිත් බුම්රා.
තරගාවලිය පුරා ඔහු කඩුලු පහලොවක් බිඳ හෙලා තිබුණා. පන්දු වාරයකට ලබා දුන් ලකුණු ගණන පහකටත් අඩුයි.
ඉන්දීය ලෝක කුසලාන ජයග්‍රහණයේ ප්‍රධානම සැලසුම්කරුවා ඔහු.
අවසන් මහා තරගයේත් ඔහුගේ පන්දු වාර හතරට ලබා දී තිබුණේ ලකුණු 18 ක් පමණයි. ඒ වෙනුවෙන් ඔහු කඩුලු දෙකක් ද බිඳ හෙළා තිබුණා.
එවැනි අද්වීතිය වාර්තාවක් මින්පෙර වේග පන්දු යවන්නෙක් ප්‍රදර්ශනය කර නැහැ.
කොටින්ම ප්‍රතිවාදී කණ්ඩායම් ඉන්දියාව සමග තරග වල දී ඉලක්කය සැලසුම් කළේ බුම්රා ගේ පන්දු වාර හතර නොතකායි.
එතරම් හොඳින් ඔහු මෙවර ලෝක කුසලානයේ පන්දු යැව්වා.
ජයග්‍රහණයේ ගෞරවය හිමි වන සෙසු සාමාජිකයා, ඉන්දීය නායක රෝහිත් ෂර්මා.
මීට මාස කිහිපයකට පෙර ඔහුගේ ඉන්දීය ප්‍රීමියර් ලීග නායකත්වය අහිමි කළා.
එම තරගාවලියේ ඔහුගේ අසාර්ථකත්වය මත ඉන්දීය නායකත්වයත් ඔහුගෙන් ගලවා දැමීමට සාකච්ඡාවක් ඇතිව තිබුණා.
නමුත් ඒ සියල්ලටම ඔහු මේ තරගාවලියේ දී පිළිතුරු ලබා දුන්නා.
ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී ස්ථාවරය ගොඩනැගුණේ ආරම්භක පන්දු වාර කිහිපයේ ඔහුගේ පිතිකරණයෙන්.
කිසිඳු පීඩනයක් නොමැතිව, පන්දු යවන්නන්ට උචිත තනතීරු වල පවා ඔහු නිදහසේ ලකුණු ලබා ගත්තා.
එය ජයග්‍රහණයට විශාල හේතුවක් වුණා.
ඉන්දියාව අවසන් වරට ජය ගත් 2007 T20 ලෝක කුසලාන කණ්ඩායමේත් ඔහු සාමාජිකයෙක්.
එදා ඔහු ශ්‍රේෂ්ඨ මහේන්ද්‍ර සිං දෝනි යටතේ ක්‍රීඩා කළා.
පසුව ඔහු ඉන්දීය ප්‍රීමියර් ලීගයේ දෝනිට එරෙහිව තරග කළා. දෝනි සහ ඔහු අතර ඉන්දීය ප්‍රීමියර් ලීග පහ බැගින් බෙදී ගියා.
එය නායකත්වය උදෙසා පුරාවෘත්ත සටනක්.
අවසානයේ ඔහුගේ නායකත්වයෙන් ඉන්දියාවට ලෝක කුසලානයක් ද දිනා දුන්නා.
T20 ආකෘතියේ දී නායකයෙකු වශයෙන් ඔහු, මහේන්ද්‍ර සිං දෝනිට එතරම් දුර නැහැ.
මේ ජයග්‍රහණය සැබැවින්ම දක්ෂතාවයෙන් උපයා ගත් ජයක්.
ඉන්දීය කණ්ඩායම ලෝක ශූරයන් වීමට සුදුසුයි. ඔවුන් ලෝක කුසලානය දිනා ගන්නේ සිය කුසලතාවයෙන්ම එය ඔප්පු කිරීමෙන් පසුවයි.

2024, 06, 30

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...