මට ඔබේ කියැවීමේ පුරුදු ගැන ටිකක් කියන්න පුළුවන්ද?
Arundhati Roy :
මම කේරළයේ උස් මහත් වෙද්දි, මගේ මොළේ ඉංග්‍රීසි කොටස පෝෂණය කරන්න – මලයාලම් කොටසකුත් තිබුණානේ – ශේක්ස්පියර් හුඟක් කියෙව්වා, කිප්ලින්ග් හුඟක් කියෙව්වා. අතිශය කාව්‍යමය, ලස්සනම භාෂාව වගේම, කිසිසේත් කාව්‍යමය නොවන දේශපාලනයේ එකතුවක් තිබුණා. ඒ කාලේ මට ඒක ඒ විදියට නොපෙනුනත්… පස්සේ කාලෙක ජේම්ස් බෝල්ඩ්වින්, ටෝනි මොරිසන්, මායා ඇන්ජලෝ, ජෝන් බර්ගර්, ජොයිස්, නබොකොව් මට බලපෑව විදියටම, නිසැකවම ඒ දේවල් මට බලපෑවා. කෙනෙක් ආදරේ කරන, අගය කරන ලේඛකයෝ ලැයිස්තු ගත කරන එක කොයිතරම් අමාරු වැඩක්ද! මහා ලේඛකයන්ගෙන් ඉගෙන ගන්න පාඩම් වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අධිරාජ්‍යවාදීන්ගෙන්, සෙක්සිට්ස්ලාගෙන්, මිතුරන්ගෙන්, ආදරවන්තයින්ගෙන්, පීඩකයන්ගෙන්, විප්ලවකරුවන්ගෙන් – හැමකෙනෙකුගෙන්ම. හැම කෙනෙක්ටම තියෙනව ලේඛකයෙක්ට උගන්නන්න පාඩමක්.
මගේ කියවීම මහා විකාර විදිහකට, “මිසිස් ඩැලවේගෙ” ඉඳන්, පුරවැසියන්ගේ ජාතික නාම ලේඛනය ගැනත්, ඒකෙන් අයින් කරලා තියෙන, හිටි හැටියේ ඉන්දියානු පුරවැසිභාවය අහිමිවෙලා ගිය, ඒත් එක්ක හැම අයිතිවාසිකමක්ම අහිමි වෙලා ගිය,මිලියන දෙකක් ඇසෑම් මිනිස්සු ගැනත් වෙන වාර්තාවකට මාරු වෙන්න පුළුවන්.
මෑතකදී මට ඉතාම ප්‍රබල ලෙස බලපෑව නවකතාවක් තමයි වාසිලි ග්‍රොස්මන්ගේ Life and Fate. විශ්මිතයි – ඒ නිර්භීතකම, චරිතවල, සිදුවීම්වල පරාසය. ඒක පටන් ගන්නේ, ස්ටැලින්ග්‍රැඩ් සටන ඇවිළෙන අතරේ ගිනිගන්න වොල්ගා නදියේ විකාරරූපී විස්තරයකින් – ගඟක් ගිනිගන්නවා වගේ මායාවක් මවමින්, වතුර උඩ පාවෙන ගැසොලින් ගිනි ගන්න එකෙන්. හරියට ඒක පුද්ගලයෙක් උනා වගේ ඒ අත්පිටපත සෝවියට් බලාධිකාරයෙන් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම මෑත කාලේ කියවපු තවත් ඒ වගේ පොතක් තමයි ජෝර්ජියෝ බසානිගේ The Garden of the Finzi-Continis කියන්නේ. ඒක, ඉතාලියේ යුදෙව්වෝ බොහෝ දෙනෙක් ෆැසිස්ට් පක්ෂයේ සාමාජිකයෝ වෙලා හිටපු, දෙවෙනි ලෝක යුද්දෙට ආසන්න කාලෙ ගැන කතාවක්. ෆින්සි-කොන්ටිනිස් කියන්නේ, සුවිශාල පිට්ටනි, ටෙනිස් අංගන තිබුණ මන්දිරයක ජීවත් උන ඉහළ පැලැන්තියේ යුදෙව් පවුලක්. පොත කේන්ද්‍ර වෙලා තියෙන්නේ, හෝලකෝස්ට් එක ළංවෙන අතරේ, ෆින්සි කොන්ටිනිස්ගේ දුවයි, ඒ ලෝකෙට පිටස්තරයක් වෙන පුද්ගලයෙකුයි අතර ඇතිවෙන පෙම් පළහිලව්වක් වටා. ඒ පරිසරයේ තියෙන නොවෙනස් වන නිශ්චල භාවයේ, යම්කිසි දෙයක් තියෙනවා. ඒ වටා වෙන අඳුර තව තව වැඩි වෙද්දි පවා, සිදුවෙන දෙය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන එක.
ඒක ඉතාම භයානකයි වගේම බියකරු විදිහකට සමකාලීනයි. වරප්‍රසාද ලත් හැම ෆින්සි කොන්ටිනිස් කෙනෙක්ම අවසානෙදි මිය යනවා. ස්ටැලිනිස්ට් රුසියාවේ සිද්ධ වුනු දේවල්, දෙවනි ලෝක යුද්දේ අතරේ යුරෝපයේ සිදුවන දේවල් සලකලා බලද්දි- කෙනෙක් කියවන්නේ වර්තමානය වටහා ගැනීමේ මාර්ග හොයා ගන්න. මගේ හිත ගන්න දේ තමයි ස්ටැලින්ගේ භටයෝ විසින් වෙඩි තියලා ඝාතනය කරපු පෙළක් මිනිස්සු “ස්ටැලින් දිනේවා!” කියල කෑ ගහගෙන මියගියේ කොහොමද කියන එක. ඔහු මිය යද්දී ගුලැග් කඳවුරුවල හිටපු මිනිස්සු අඬා වැළපුනා.
සාමාන්‍ය ජර්මානුවන් කොයිම වෙලාවකවත් හිට්ලර්ට විරුද්ධව නැගී හිටියේ නෑ, ඔහු එයාලගේ නගර සුන්නත්දූලි කරලා දාපු යුද්දෙක දිගින් දිගටම එල්ලීගෙන හිටියා උනත්…ඉයන් කර්ශොව් ලියපු හිට්ලර්ගේ චරිතාපදානයේ, ස්ටැලින් විසින් ඝාතනය කළ රුසියානු කවියෙක් උන ඕසිප් මැන්ඩෙල්ස්ටාම්ගේ බිරිඳ, නඩේශ්ඩා මැන්ඩෙල්ස්ටාම්ගේ මතකාවර්ජන තුළ, ඇනා අක්මතෝවාගේ කවි වගේම, වාලම් ශලමොව්ගේ Kolyma Tales වගේ පොත් තුළ මම මිනිස් මනස ගැන ඉඟි හොයනවා.
රුසියානුවෝ ගොඩක්.
Arundhati Roy:
(සිනහවෙමින්) මේ වෙලාවේ නම්, රුසියානුවෝ ගොඩක්, ඔව්. එයාලට මහ විශාල ආඛ්‍යානයක් කරන්න පුළුවන් උන විදිහ රසවත්. ඒ වගේම, අර සූක්ෂම ක්‍රමයට ඒක කරන්න පුළුවන් උන චෙකෝව්. එයාල තමන්ගේ මං තීරුවල යෑම ප්‍රතික්ෂේප කරපු විදිහ මට ඉතාම රසවත්. විශේෂයෙන්ම දැන් මහා මාර්ග නීති රෙගුලාසි දැඩි වෙද්දි, මං තීරු වඩා පටු වෙනවා, සීමා සහිත වෙනවා. හැම කෙනෙක්ම, ලේඛකයෝ, පාඨකයෝ, පොදුවේ ගත්තහම මහජනයාගේ සංවාදය හිර කරලා. උඩින්, යටින්, දෙපැත්තෙන්ම පාලනය කරලා. ඉන්දියාවේ, සංස්කෘතික වාරණය දියත් කරන්නේ රජයේ නිහඬ ආශිර්වාදය ලබපු පාරවල් වල ඉන්න කලහකාරී කණ්ඩායම්. හරියට අපි යම් විදිහක බුද්ධිමය කොටු කිරීමක් වෙත ලං වෙනවා වගේ පේන්නේ.
An excerpt
Interviewed by Hasan Altaf
ISSUE 237, SUMMER 2021
The Paris Review