චූටියට කෙටිකතා ලියන බොහෝ දෙනෙක් දැන් ඉන්නවා. බොහෝ දෙනෙක් ඒවා හොඳට ලියනවා. භාෂාමය සහ ආඛ්‍යානමය ශිල්ප ගැන සැලකිය යුතු දැනුමක් ඇති කෙනෙක් මනුෂ්‍ය ජීවන අවස්ථා කතාවකින් අල්ලන කොට ඒවා ආකර්ෂණීයයි.
ටිම්රාන් කීර්තිගෙ “සඳ හැදුණ හැටි” පොතත් සහන් කසීර වික්‍රමසිංහගේ “සරසවි ශිෂ්‍යයාගේ මරණය” පොතත් කියවන කොට කෙටියෙන් ලියන කෙටිකතාව සම්බන්ධයෙන් දෙන්නගෙම දක්ෂකම් පේනවා. ටිම්රාන්ගෙ පොත නම් ඔහුගෙම කවියෙම දිගුවක් වගේ. ඇතැම් ආඛ්‍යාන ශිල්ප පවා ඔහුගෙ කවි වගේමයි. ඇතැම් කතාවක අන්තර්ගතය පවා අර එඩ්නා ගැන කවිය සිහි කරනවා.
ටිම්රාන් කීර්ති සමාජයේ නොයෙක් තැන්වල සැරිසරන කෙනෙක් වුණත් ඔහුගෙ කවිය වගේම කෙටිකතාව උපදින්නේ දරුවන්, බිරිඳ, දෙමාපියන් සහිත පවුල, ගම සහ පෙම්වතියන් ඇසුරින්. ඒ නිසා කතාවක අන්තර්ගතය දකිනකොටම මේ ටිම්රානීය අන්තර්ගතයක් කියා පේනවා.
සහන් කසීර වික්‍රමසිංහ කියන්නෙ ඉතා අර්ථවත් වූද ආකර්ෂණීය වූද කෙටි ගද්‍ය රචනා ලිවීමෙහි ශූරයෙක්. ඔහු ඒ හැකියාව මේ පොතටත්, එනම් කෙටිකතාවටත්, ගේනවා.
කෙටිකතාව කෙටි වුණත් ඒක ඇතුළෙ යම් ‘කතාවක්’ තිබීම කෙටිකතා කලාවෙදි රචකයෙකුට තියෙන ශක්තියක්. ‘කතාව’ කියන අංගය දෙවෙනි පෙළට වැටිලා ශිල්පමය පාර්ශ්වය අධිනිශ්චය වුණ තත්ත්වයක් දැන් තියෙනවා.
අනූව දශකය මැද විතර වෙනකල් තිබුණෙ ඒකෙ අනික් පැත්ත. රංජිත් ධර්මකීර්ති වගේ අය තමයි ඒ වෙනකල් සිංහල කෙටිකතාවෙ ප්‍රධානියො වගේ පෙනුණෙ. ඒ අය කතා කීමෙ ශිල්පය ගැන වැඩිය හිතුවෙ නෑ. කම්මැල්ලවීරගෙ මුල් පොත් වුණත් එහෙමයි. ඒත් ඔහු කතාවේ ශිල්පීය පැත්ත ගැන හිතන්න පටන්ගන්නවා අනූව දශකයෙ මැදදි විතර.
ධර්මකීර්ති වගේ අය තවමත් ප්‍රතිනිර්මාණ තාක්ෂණය ගැන ලොකුවට හිතන්නෙ නෑ. ඒ නිසා 2020 දි පළ වුණ “සඳ ඇති රැයක්” වගේ පොතක් කියවද්දි ‘හැබෑටම මේ කාලෙක ප්‍රධානම කෙටිකතාකාරයෙක් නේද’ කියා පුදුම හිතෙනවා.
හැබැයි ශිල්පීය වශයෙන් අලුත් වගේ පේන හැම කෙටිකතාවක්ම අර්ථසම්පන්නද කියන කාරණය සැලකිල්ලට ගැනීම දැන් අඩුවෙමින් යන බවක් පේනවා. ටිම්රාන් කීර්තිටත් මේක ටිකක් හිතන්න වෙනවා.
සහන් කසීර වික්‍රමසිංහගේ පොතේ එක් කතාවක් ඇර අනික් කතා දිගින් හුඟක් අඩුයි. ඒත් ඔහුගෙ කතා කියවද්දි අපේ සමාජයේ හරස්කඩක්, මනුෂ්‍යය ජීවිතයේ හරස්කඩක් ඔහුට අහුවෙනවා වගේ පේනවා. මේක ඔහු ඉතා සියුම් සංස්කෘතික නිරීක්ෂකයෙක් නිසා වෙන දෙයක් විය හැකියි.
ඔහු ආඛ්‍යාන ශිල්පය සහ අන්තර්ගතය අතර සම්බන්ධයේ ගුණපණ ගැන මෑත කාලෙ කෙටිකතා ලියන බොහෝ දෙනෙකුට වඩා නිවැරදි තැනකින් හිතනවා.
වැඩියෙන් කවුරුවත් භාවිත නොකරන ගුප්ත ශිල්ප භාවිත කරන්නත් ඔහුගෙ උනන්දුවක් නෑ. ඒ නිසාම වන ආකර්ෂණයට වඩා අර්ථවත් කතාවක් කීමෙන් ලැබෙන ආකර්ෂණයට ඔහු කැමති බව පේනවා.
මේ පොතේ තියෙනවා අනුවේදනීය කතා කීපයක් ඒවා අනුවේදනීය වෙන්න එක හේතුවක් තමයි කෙටිකතාව කෙටි වුණත් දිග මනුෂ්‍ය කතාවක් ඒවාගේ තිබීම. සමර්සෙට් මෝම් එක සැරයක් කිව්වා වගේ කතාවක් ගෙතීම කියන හැකියාව උසස් හැකියාවක්. ඒක මෝම්ටත් තිබුණ හැකියාවක් නිසා ඔහු එතැනදි යම් පක්ෂපාතිත්වයක් දක්වනවා ඇති. අවාසනාවකට සිංහල කෙටිකතාකරුවන්ට බලපෑමක් කරන්න තරම් මෝම්ගෙ කෙටිකතා පරිවර්තනය වෙලා නෑ. යටත් ජිවිත මැලේසියා- ඉන්දුනීසියා කලාපය පදනම් කරගෙන ඔහු ලිව්ව සමහර අමරණීය කතාවල මාරම කතන්දර තියෙනවා.
සහන් කසීරගෙ කතා කීමේ හැකියාව පොඩි කතාවලදි පවා පේනවා.
“රේල්ලුව” කියල කතාවක් පොතේ තියෙනවා. ඒකෙ තියෙන්නෙ කෝච්චියේ කොළඹ දෙසට ගමන් කරමින් ඉන්න නිමංගි නම් තරුණිය ගම්පහ සිට ඊ ළඟට හමුවෙන සෑම දුම්රිය පොළකදීම යම් අතීත සිද්ධියක් සිහි කරන හැටි. දෙමටගොඩ තමයි ඇය දකින අන්තිම ස්ටේෂම. එකෙදි රචකයා කියන දේ අපේ හද බිඳිනවා.
කෙටිකතාවල ප්ලොට් සමරි හෙවත් කතා සාරංශ ලියන්න අමාරුයි. ඒ නිසා වැඩිමනත් යමක් නොලියා ඉන්නම්. ඇය යන්නෙ වැලිකඩ් බන්ධනාගාරයට බව රචකයා කියනකොට ඇති වන කම්පනය කෙටිකතාවකින් විතරක් ඇති කළ හැකි කම්පනයක් කියා හිතෙනවා.
දීර්ඝ කාලයක් පුරා විහිදෙන කතන්දරයක් රචකයා අපිට පිටු නමයකින් කියනවා.
බයගුලු ඇස් කියන්නෙ එවැනි කතාවක්. ඒකෙදි අපට හමුවන්නෙ නිමංගිගෙ පරම්පරාවෙ චරිතයක් නෙමෙයි. කැනඩාවෙ වසන අවුරුදු 67ක කාන්තාවක්. පිටු හතකින් ඇගේ ජීවිත කතාවම වගේ කියන රචකයා ඒ කතාවට ලංකාවේ සංස්කෘතික ඉතිහාසය, ලංකාවේ විවාහයේ ස්වභාවය ආදී සංස්කෘතික නිරීක්ෂණ හසු කරගන්නවා. අන්න එතකොට තමයි ඒවා බර කෙටිකතා කියා සිතෙන්නේ. ජීවිතයේ සහ සමාජයේ හරස්කඩක් අහු වෙන එක. ඒ ග්‍රහණය නැති ශිල්පීය වැඩ ශිල්පීය වැඩ විදියට විතරක් ආකර්ෂණීය වෙන්න පුළුවන්. හැබැයි කෙටිකතා කලාව කියන්නෙ ඊට වඩා බර වැඩක්.
මේ පොතේ කතා අටක් තියෙනවා. ඒවා ගැන එකිනෙක ගෙන කතා කරන්න වෙලාව නෑ. මම දැන් ‘මුන්නක්කරේ සංසාරෙ’ නවත්තපු තැනට ආපහු යන්නත් ඕනෙ. රසල්ගෙ පොතක බුක් මාර්ක් එක දාපු තැනට ආපහු යන්නත් ඕනෙ. සුදර්ශන, රශ්මික මණ්ඩාවල, දිල්ශානි චතුරිකා දාබරේ වැනි අලුත් අය මේවා කතා කරයිනෙ.
සහන් කසීරගෙ පොතේ “කල්ලඩි පාලම පාමුල ” කියන කතාවත් මේ පොතේ මගේ ප්‍රියතම එකක්. ඒකත් හරිම බර සංස්කෘතික- ඓතිහාසික නිරීක්ෂණ සිත්ගන්නා කතාවකට අල්ලගත්තු කතාවක්. ඒ කතාව කියවද්දි තේරෙයි හොඳ ලේඛකයෙකු නොයෙක් විෂයයන් ගැන පැතිරුණු දැනුමක් සහිත නිරීක්ෂකයෙක් වීමේ වැදගත්කම. මේකෙදි අපට මුණ ගැසෙන අර්ල් ඩි ප්‍රේරා නම් බර්ගර් චරිතය ලංකාව තුළ ක්‍රියාත්මක වූ රෝමානු -කතෝලික සහ ප්‍රොතෙස්තන්ත්‍ර ගැටුමක, එහෙමත් නැත්නම් පෘතුගීසි- ලන්දේසි යටත් විජිතවාදීන් අතර ගැටුමක වින්දිතයෙකු වූ පරම්පරාවක අන්තිම සාමාජිකයෙක්. මේ වගේ චරිතයක් කතාවකින් අල්ලන්න ආඛ්‍යාන ශිල්ප විතරක් දැනගෙන බෑ. අනිල් හේරත්ගෙ ක්ෂුද්‍ර කෙටිකතා අඩංගු ටර්ම්ස් ඇන් කන්ඩිෂන්ස් පොතෙත් අන්න එහෙම බුද්ධිමත් නිරීක්ෂකයෙක් ඉන්න කතා තියෙනවා. එතකොට කතාවකට සමාජයක, යුගයක, ජීවිතයක් හරස්කඩක් අහුවෙන්නෙ ඒවගෙ අර්ථවත් සමස්තයක්ම පේන තරම් බරට. අන්න එහෙම වෙනකොට කෙටිකතාව විශිෂ්ට කලා කෘතියක් වෙනවා. එහෙම නොවී සිත් ඇදගන්නා කතා තිබුණට කමක් නෑ. එහෙම ඒවා ලියන ලේඛක ලේඛිකායො හිටියටත් කමක් නෑ.
ඒකට හරිම බුද්ධිමත් රචකයෙක් වෙන්නත් ඕනෙ. පසුගිය කාලයේ බිහි වූ හොඳම කෙටිකතා පොතක් හැටියට මම සලකන “ගැහැනු පිරිමි මල් පලතුරු ” පොතේ අපි දැක්ක, දක්ෂ වගේම දැන උගත් රචකයා, මේ පොතෙත් ඉන්නවා. ඒ පොත ලිව්වෙ ඉසුරු චාමර සෝමවීර.
මේ පොඩි කතා සෑහෙන සීරියස් පාඨක සමාජයක් ඉල්ලා සිටිනවා.
ලියනගේ අමරකීර්ති