මම කවි කියවන්නෙ මට දැනෙන තැනකින්. ඉතින් කවි ගැන හුඟක්ම පුද්ගලික කියවීම් මට තියෙන්නේ. අනිත් එක නවකතාවක්, කෙටිකතාවක් තරම් මට කවි සෙට් වෙන්නෑ. ඒ වගේම නවකතාවක් කෙටිකතාවක් ගැන වගේ බාහිරව කවි කියවන්නත් අමාරුයි. ඒ නිසා කවි ගැන ලියන්න මට තේරෙන්නෑ.. අනිත් දෙක ගැන යාන්තමින් සටහනක් තියාගන්න පුළුවන්.
දිල්ශානිගෙ පෙමාතුර චෙරි කුසුම කියවද්දි මට දැනෙන්නේ ඒ ලිවීම නිරායාසයෙන් වුණ එකක් බව. ලැවැන්ඩර් සුබ සිහින කියන කවියෙ
විසල් නිල්මිණි අහස වලාරැලි හිම උනන
ලකල් තුරුපත් ළපටි සිතැඟි රේඛා අඳින
සියල් සන්තක සිහින මද පවන මුදු කරන
ලැවැන්ඩර් මල් ගොමුව කෝ කොහිද ගුමු ගුමුව
ලකල් තුරුපත් ළපටි සිතැඟි රේඛා , මද පවන මුදු කරන වගේ වැකි එන්නේ නිරායාසයෙන් බව දැනෙනවා. ඒ වගේම ඒවා සෞන්දර්යයෙන් අනූන බවකුත් ගන්නවා. රොබර්ට් ෆ්‍රොස්ට් ගේ කවිවල මේ ගුණය හරිම අපූරුයි. ඔහුගෙ Stopping by the woods කවියේ
My little horse must think it queer
To stop without a farmhouse near
Between the woods and frozen lake
The darkest evening of the year.
කොටස
ගොවිපළක් නොමැති අහලක නැවතීම
අමුත්තක් බව සිතයි මා මිති අසුද
මිදුණ විල සහ මේ ළඳු කැලය මැද
එලඹීය වසරෙ අඳුරුම සැඳෑ කල
මෙහෙම පරිවර්තනයක් කරන්නම්,
මේ කොටස ගොඩනගන අපූරුව දිල්ශානිගෙ මේ කවියෙත් දකිනවා..
සීතලද මාර්යා මේ දැදුරු හිම පතන
පා නගන සූර්යයා භීත සිතුවිලි මුදන
මිහිදුමේ දෝංකාරයෙන් බියව පොර බදන
ලාක් කූජන නැගෙන අරුමයකි වන අරණ
කවියේ සෞන්දර්යය වගේම ඒ අනෛතික ස්නේහය කියන කවියෙදි දිල්ශානි දේවල් දිහා බලන වෙනස් කෝණයක් අපිට අහුවෙනවා. කවියට පාදක වෙන්නෙ කුකුළන් වැඩියෙන් අල්ලාගෙන කෑම නිසා වනජීවි නිලධාරීන් ගැබ්බර කිඹුලියක් අල්ලාගෙන යෑම. මෙතනදි කිඹුලිය මේ තත්වයට පත්වෙන හේතුව හිතන්න ගත්තම, මිනිස්සු අසරණ වුණාම වැඩකරන විදිය අල්ලන්න පුළුවන්.
ඒ වගේම වන්රෝඩ් වන් බෙල්ට් වගේ කවියක අනාගත දේශපාලනයේ හැඩරුව මතුකරන දිල්ශානිගෙ කවි විචාරකයන්ගෙ ඇස ගැටෙන්න ඕන. මොකද ඒවා එකපාරම මනසට කොයිතරම් ගෝචර වෙනවද කියන්න අමාරුයි.
ගෑස් නැති සිහිනෙකින්
බයවෙච්ච අක්කාට
පෝට්සිටියෙන් ගත්ත
ලුණු වතුර ටික පොවමු
රටක් විදියටත් මේ දවස්වල අපි කරමින් ඉන්නේ ඒකයි. සියලු දරිද්‍රතාවයන් වෙලාගෙන, මිරිකගෙන අපිව හප කරද්දි අපි ලුණුවතුර හෙවත්, ලිබරල් හීන පෙන්නන ලිබරල් ටයිඑකක් ගැන ආතල් එකක් ගන්නවා. ඉතින් පෙමාතුර චෙරි කුසුම කියවලා බලන්න. මේ ප්‍රේමයෙන් ආතුර නොවී ඉන්න පුළුවන් වුණොත් දිල්ශානිට තව සෑහෙන්න දේවල් කරන්න පුළුවන් වෙයි. සමහර කවිවල තියෙන සුමට නැති ගතිය නැතිකරගන්න පුළුවන් වෙයි. දිගටම හැදෑරීමේ ඉන්න දිල්ශානිට එහෙම කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.
රශ්මික මණ්ඩාවල