අපි අතරින් සමුගත්ත Robbie Coltrane ගැන හොය හොය ඉද්දී එක්තරා Twitter සටහනක් හම්බ වුණා. ඒ Twitter සටහනේ තිබුණු දේ ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා. සමහර විට මේක සමහර අය දන්නවත් ඇති කියලා හිතනවා.
ඔයාලා දන්නවා ඇති ජේ.කේ. රොව්ලින් හැරී පෝටර් කතාව ලියද්දී ඇය නිර්මාණය කරපු බොහෝ චරිත ඇයගේ ජීවිතේ සැබෑ අත්දැකීම් සහ චරිත පාදක කරගෙන නිර්මාණය කරපුවා කියලා. ඒ නිසා ඒ චරිත බොහෝමයක් ප්රේක්ෂකයන්ව ඇඳ තබා ගන්න සමත් වුණා කිව්වත් හරි.
Rubies Hagrid කියන චරිතය නිර්මාණය වෙන්නෙත් රොව්ලින්ට සැබෑ ජීවිතයේ හමුවූ චරිතයක් පාදක කරගෙනයි.
සැබෑ ජීවිතේ හැග්රිඩ් කියන කෙනා Biker කෙනෙක්. ඒ කිව්වේ යතුරුපැදි පදවන්නෙක්. පාරේ යන අය නෙමෙයි, අර අමෙරිකාවේ එහෙම ගැන්සි පිටින් ඉන්න Biker ලා ඉන්නේ, harley davidson බයික්වල යන්නේ අන්න ඒ වගේ කෙනෙක්.
ඒ වගේම මේ සැබෑ ජීවිතේ හැග්රිඩ් මහ භයානක විශාල පෙනුමක් තියෙන පුද්ගලයෙකු වුණාට ගෙවතු වගාව වගේ පාරිසරික දේවල්වලට දැඩි ඇලුම් කළ කෙනෙක් බව සඳහන්.. රොව්ලින්ට ඒ චරිතය එක්ක කතා කරද්දී හැග්රිඩ්ව නිර්මාණය කරන අදහස ඔලුවට එන්න ඇති.
අපි අතරින් සමුගත්ත රොබී කෝල්ට්රේන් ට හැග්රිඩ් ගේ චරිතය දෙන වෙලාවේ රොව්ලින් කියලා තියෙනවා හැග්රිඩ් කියන්නේ “Hell’s Angel from the West Country” සාමාජිකයෙක් වගේ කෙනෙක් කියලා. මේ Hell’s Angel කියන්නේ ලෝකයේ තිබෙන විශාලතම Biker ලාගේ Club වලින් එකක්. රොව්ලින්ට හමුවෙලා තියෙන්නෙත් ඒ Club එකේ සාමාජිකයෙක්ව.
රොබී හැග්රිඩ්ගේ චරිතයට උපරිමයක් කළා කියලා අපි හැමෝම දන්නවා. ඇත්තටම කිව්වොත් මහ භයානක මිනිස්සු, දැඩි බවක් පේන මිනිස්සු ඇතුළෙත් “හොඳම හදවතක්” තියෙනවා කියලා අපිට පාඩමක් උගන්නපු චරිතයක් විදිහට හැග්රිඩ් ව නම් කරන්න පුළුවන්.
තව පරම්පරා ගාණක් ගත වුණත් ඔහු ඉතිරි කළ මතකය නැති වෙන එකක් නැහැ…
Wizarding World ඇසුරිණි.
සංජේ රණවක