ඉඟුරු, කරඳමුංගු, කුරුඳු, වසාවාසි සහ කරාබු නැටි යොදා තැනූ උණු උණු මසාලා චායි කෝප්පයක් රසවිඳින්නට පමණක් නතර නොවී, ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර අප කැඳවා යන පොතකි, සංජය දොළමුල්ලගේ ‘මදුරාසි සැරිසර – මසාලා චායි’. ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති පාරේ යන ත්‍රිරෝද රථ, පොලිස් නිලධාරීන් නොමැතියෙන් මාර්ග තදබදය පාලනේ කරන රියදුරන්, නේපාලයෙන් රැකියා සොයා ඉන්දියාවට ඇවිත් සුළු රැකියා කරන තරුණයින්, උස ලෝහ බඳුන්වල බහා ඔබව රසගන්වන්න දෙන ලැසී පාන, හයිද්‍රබාද් බිරියානි, හැකිතරම් හෙට්ටුකරන වෙළෙන්දන් සහ ඊට ම සරිලන පාරිභෝගිකයන්, පාර දිගේ කඩවල්වල තේ හදන ‘චායි වාලා’ලා, මුඩුක්කු නිවාස උඩින් ගමන්ගන්නා ගුවන් යානා, මදුරාසියේ මනරම් පොත් කඩ අතරින් ඉන්දියාව ගැන යුතෝපියාවක් ද දිස්තෝපියාවක් ද යන ආකාර දෙක ම පෙන්වයි.
පොතේ මුල් පරිච්ඡේද කිහිපය යනතෙක් තරමක වාර්තා ස්වරූපය දරයි. මේ සටහන් කතාන්දරයක් ලෙස ලිවීමට කතුවරයා උත්සාහ කර ඇතිමුත් සංචාරක සටහන්වල ස්වභාවය ලිවීමේ දී පෙරට පැමිණ ඇත. ඉන්පසු පරිච්ඡේදවලදී රචකයා සිය රිද්මය හඳුනාගෙන ඇති සෙයකි.
ක්‍රමයෙන් ඔහු ඉන්දියාවේ පය තියෙන තැන් අඩියෙන් අඩිය විස්තර කරයි. බොහෝ දේ අමු අමුවේ කීමට නිර්ලෝභී වෙයි. හැඟුණු දැනුනු සැටි කියයි. සංචාරයකදී ඔබව බිලිගන්න සූදානම්ව සිටින මිනිසුන් ගැන අනතුරු අඟවයි. විදේශයකදී තවත් භාෂාවක් දැන ඉගෙනගැනීමේ වැදගත්කම කියයි. කට දිව තෙත් වන ආහාර සංස්කෘතියේ අලගිය මුලගිය සුළු පටු නොපටු සියල්ල ම කීම වෙනුවෙන් වැඩි ඉඩක් වෙන්කරයි. ඔබ මෙතෙක් දැන සිටි ඉන්දියාව මල් ඵල දා පොහොසත් කර මෙයින් දැකිය හැකිය.
රචකයා මසාලා චායි ලියද්දී මාර්ගෝපදේශකයෙක් වෙයි. සංචාරකයෙක් වෙයි. ඔහු ද ඉන්දීය වැසියෙක් බවට පත්වෙයි. කියවන්නාගේ කර වටා අතක් යවන තරමට ඔහු සමීපවන තැන් මෙන් ම එසැනින් කියවන්නාව තක්කු මුක්කු කර බඹ ගානක් ඈතට තල්ලු කර තමන්ගේ බල ප්‍රදේශය සීමා කරගෙන අතේ දුරින් තියාගන්නා තැන් ද මෙහි අඩු නැත; සමීප වීමත් – දුරස් කිරීමත් යන දෙක ම රචනා විලාසයේ ඇති බැවිනි. විස්තර අතින් ගත්කල පිරුණු බවක් දිසෙයි.
පොත කියැවීමෙන් පසු ආනන්ද භවන් පැත්තේ ගොස් හෝ සුවඳ හමන මසාලා චායි එකක් බී මධුරාසි උන්මාදය ලාංකේය වර්ෂන් එකකින් අත්විඳිය යුතු යැයි ඔබට සිතෙනු ඇත.
ඩිල්ශානි චතුරිකා දාබරේ