ගුණදාස අමරසේකර ‘භාව ගීත’ ලිවීමෙන් කාව්‍ය සාහිත්‍යය මත තැබූ සුලකුණු කිහිපයකි. එකක් නම්, නිසදැස් කවියෙන් ආකෘතිකගතව, කෘතිමව සහ බුද්ධිවාදීව පැවති කවිය යළි පුරුදු ශබ්ද රස – රිද්ම ලක්ෂණ සමඟ හිස පෙවීමට ඉඩ පාදාදීමයි. අනෙක නම් හද බසට ඇරුණු කවි බස වාන්දැමීමට ඉඩකඩ විවර කිරීමයි. තවත් ලෙසකින් කියුවොත්, සෞන්දර්ය පක්ෂය ගැන සිතමින් යළි කවිය පීල්ලට ගැනීම නිසා, සිතින් මුමුණමින් සිටිනවාට වඩා කට ඇර ගැයීමට හැකි ලෙසකින් කවිය යළි අත දිග හැර ඇවිදින්නට ගැනීමයි.
සරච්චන්ද්‍ර කලාව – සෞන්දර්ය ‘අපූර්ව’ දෙයකැයි කීය. සුචරිත ගම්ලත්, කලා කෘතියක් ඉදිරියේ පුද්ගලයකු ලබන කිසියම් මනෝභාවයක් වේ නම් එය සෞන්දර්ය බව කීය. ආනන්ද කුමාරස්වාමි ‘සෞන්දර්ය විද්‍යාව’ යන වදන භාවිත කරමින්, පෙරදිග හා අපරදිග සෞන්දර්යවේදී කතිකාව විශේෂයෙන් මධ්‍යකාලීන යුරෝපීය සෞන්දර්ය චින්තනය සසැඳීමකින් ගෙන ආවේය (‘සෞන්දර්යවේදය හා කලා රසවින්දනය – ආනන්ද කුමාරස්වාමි ලිපි සරණියෙහි). ඇරිස්ටෝටල් මෙය භාව කම්පනය(කැතාසිස්) ඇසුරින් පැහැදිලි කළේය. මාක්ස් භෞතිකවාදී දෘෂ්ටියෙන් මෙය දුටුවේය. පොදුවේ පෙරදිගවාසීන් අධ්‍යාත්මිකව කලාව දුටු අතර බටහිරවාසීහු ඔබ්ජෙක්ට් ස්වරූපයෙන් දුටහ.
සෞම්‍යගේ කවි මේ කියන සෞන්දර්යට පක්ෂව ලියවෙන නිර්මාණ විශේෂයකි. බසෙහි ආයාසයක් නැත. දිය මතට පතිත පත්‍රයක් මෙන් දිය මත රඟන්නට ගන්නේ දියට ද නොදැනෙන ලෙසිනි. පහසුවෙන් කවියට වචන, රිද්මය උනයි. හැඟීමට මොහොතට අවස්ථාවට ඔහු අවංකයි. සෞම්‍යගේ කවි කියැවීම වෙහෙසකර නැත. දිව උල්වන්නේ ද පැටලෙන්නේ ද අමතර එන්ජින් ඔයිල් අවශ්‍ය වන්නේ ද නැත. සෞම්‍ය සඳරුවන්ගේ අනන්‍යතාව මේ සරුංගලයක් පාවෙන ගතියයි. එසේ වුවත්, ඒ හා සමානව ම කවිය පිටුපසින් සිටින දරන්නාත්, හෙළිදරව් කරන්නාත්, උසුලාගෙන යන්නාත්, සොයායන්නාත්, නිහඬවන්නාත්, විඳින්නාත් පෙනේ.
ලියනගේ අමරකීර්ති නව කවි සලකුණෙහි ‘නව පරපුරේ කවීන් අතරින් තව දශකයකින් පමණ සිංහල කවියේ ප්‍රධානතම කවියන් වන්නට ඉඩ ඇති අය’ යනුවෙන් කවියන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරයි. එහි සෞම්‍ය සඳරුවන් ලියනගේගේ නම තිබීම පුදුම සහගත නොවේ. මෙම කෘතියේ වෙන යමක් හැඳින්වීම සඳහා අමරකීර්ති භාවිත කරන යෙදුමක් සෞම්‍යගේ කවි විෂයෙහි යෙදීම් වුව වරදක් නොවෙතැයි මට පෙනුනි. එය නම්, ‘සරලත්වගේ ආනන්දය’ යන්නයි.
සරල බව යනු මදි බවක් හෝ කිසිවක් නැති බවක් හෝ නොදන්නා බවක් නොවේ. ගැඹුරු සියල්ල මහාර්ඝ නොවන්නා සේ ම සරල සියල්ල දාර්ශනික වන්නේත් නොවේ. සෞම්‍ය සඳරුවන් ලියනගේ කිවිය යුතු දේ කිවිය යුතු තැන දී කියයි. අනවශ්‍ය තරම් කවිකම් බලෙන් පාන්නට නොයයි. අල්ප බවින් අපමණ බව හඟවයි. සරුංගලය සේ පාවුණත් නූල අතේ තබාගෙන සිටින්නාගේ අලගිය මුලගිය සියලු දේ ගැන සවිඥානිකව සිටී. අවශ්‍ය තැන දී බ්ලේඩ් වැනි වචන භාවිතයට ගනී. රිදෙන තැන්, රිද්දිය යුතු තැන් සහ රිද්දාගත යුතු තැන් දනී. සුව කරන තැන් සහ සුව වෙන්නට ගැල්විය යුතු බෙහෙත් ද දනී. කිව යුතු දේ කිව යුතු ටෝන් එක දනී. අර කී සරල බව තුළදිත් වඩවන හෝ ගානා සෞන්දර්ය ප්‍රවාහයක් වෙයි. මේ කවි නිමැවුම් වටා බොරු පින්තාරු නැති බව කියවන්නා එබැවින් දනී. කවියෙකුට මීට වඩා යමක් අවශ්‍යද?
‘නුඹ නොඒ නම් කියන්න’ කවි සමුච්චයේ කවිවල රිද්ම ලක්ෂණ අවැසි පමණට ම ඇත. එබැවින් ඇතැම් කවි සුගායනීය. කවිය නොගයා කියවාගෙන ගියත්, එහි විරාමය තැබිය යුතු තැන් ඒ ඒ තැන්වලදී නවතා, සිය ලකුණ රැක ඇත. දැන් අප සිත් ගත් නිර්මාණ කිහිපයක් වෙත එළඹෙමු.
‘කවුළු හරිමි’ යනුවෙන් එන නිර්මාණය ජනෙල් කවුළුවට හද කවුළුව සම කරයි. සුළඟට පෙම්බරිය සමකරයි.
‘අවසර ඇත
සුළඟ ඉතින්
රිසි අයුරින්
පිවිසිය හැක
කැමති කලක් නැවතිය හැක
ගිමන් නිවා සැනසිය හැක
රිසි විලසින් ඒ මේ අත
පැතිරිය හැක
වැතිරිය හැක’
එන්නත් හැකි, යන්නත් හැකි, ඕනැ දෙයක් කරන්න හැකි යැයි කියන පුරුෂයා අවසානයේ ඉල්ලන්නේ ශේෂ වූ කිසිවක් දමා නොයා ඒවාත් රැගෙන යන ලෙසයි. නූතනවාදී අදහස් අතින් පණ ලබන කවියා සිය මනස ගොඩනගාගැනීම සහ හොඳින් පවත්වාගෙන යාම ගැන සුබවාදීව සිතන්නෙකු ලෙස පෙනෙයි. කවුරු ආවත් එය අවුල් කරගන්න ඔහු ආසා නැත. එබැවිනි ශේෂ වූ දෑ දමානොයන්නැයි කියන්නේ. මෙහි කථකයා ආදරය කරනකලට අත දිග හැර ආදරය කරයි, ඉඩ දෙයි, විවෘත වෙයි. ආදරය හැකිලෙන, දමා යන තැන්වලදී සෘජුව තමා වෙනුවෙන් පෙනී සිටී. මෙය යුතු සාධනීය තත්ත්වයකි. තමා ගැන සිතීම අනෙක් කෙනා ගැන සිතීම තරම් ම අවශ්‍යය. මේ කවියේ විරාම තබන තැන් කවියට පණක් ගෙන එයි. සරල බවින් රස මවන මැජික් වචන කෝෂයක් ඔහු සතුය. කවුළුවෙන් මේ පැත්තට එන්නැයි රෝස මලකින් මෙලෙස ම ඉල්ලන කවියක් ලියූ ගුණදාස අමරසේකරව දැන් මට සිහිවේ. ‘කවුළුවෙන් හිස දමා – මෙහි එන්න රෝස මල’
‘සෑ හිස්’ කෙටි කවි දෙකකි. ධවල සෑය සහ අඳුරු ගල් ටැම් ගැනය මේ. සෑ දිදුලයි. නුවරු අවුත් වඳිත්. නමුත්, අඳුරු ගල් ටැම් වෙත බලන කෙනෙක් නැත. සෑයේ බර ඉවසා දරන ගල් ටැම් දෙස බලන කවියා, මේ කියන්නේ ධවල වස්ත්‍ර ඇඳි මැතිඇමැතිවරුන් අඳුරු දුක් උහුලන මිනිසුන්ගේ කර මත නැගී බබළමින් සියලු වරප්‍රසාද ලබන බව නොවේද?
‘නොපළ පෙම් කවි’, ‘මාලිකාගේ ස්වයං වරය’ සහ අංක 33 නිර්මාණවල දී, ගායනීය සෞන්දර්ය ප්‍රවාහයකට බස්නා කවියාව අපට හමුවේ. වෙඩිවර්ධන, කල්පනා වැනි කවිකිවිඳියන්ගේ බස සිහිකැඳවන මේ කවි, බොළඳ පෙම් කවියක් යැයි සිතුණොත් එය ඔබේ වරදකි. කියවන්නා රැඳෙන්නේ මේ අමු හෘදබවින් උපන් කවිපද වටාය.
‘හද ගැඹුර පාරනා රුදු කටුක වේදනා
ඉවසමින් ජීවිතේ වින්දාය
සෙනේබර ගායනා ගොළුව ගිය කාරණ
විමසුවේ ආදරේ හින්දාය’
‘ප්‍රේමයක් කියන්නේ
තනිව උහුලන එකය
දැරිය නොහෙනා තැනක
හුණුව වැගිරෙන එකය
දැවී හළු වී ගියද
රිදීමෙහි නිමාවක් නැති එකය’
‘උදයා, මම නුඹට නොලියමි’ සිංහබාහු නාට්‍යයේ බස සහ රිද්මය සිහිවන කවියකි. “සුරංගනා කතාවක්” කවියේදී පරම්පරා ගණනාවක් කතාකියන්නන් අපව මුළාකළ සුරංගනා කතාන්දර ප්‍රශ්න කරවන කවියා, සෑම කතාවක් ම අවසානයේ ඔල්වරසන් හඬ නැගෙන්නේ කතාව කියන්නාගෙන් පමණක් බවත් සැබෑ කතාවල චරිත දුකින් බවත් සඳහන් කරයි. සෞන්දර්ය සංකල්පය ක්‍රියාත්මක වෙමින් වාග් චිත්‍ර මැවෙන්නට ගනී. එතැන් පටන් එක් එක් සුරංගන කතාවේ චරිත හිස වටා බමන්නට ගනී.
සෞම්‍යගේ සරුංගලේ පාවෙද්දී පොළොවේ පෙනෙන කුදු මහත් තැන් පවා ඔහුට පෙනෙනා බැවින් මෙහි පැති කිහිපයක් නියෝජනය වෙන අංශක 360ට සමීපවන වස්තු විශයන් ඇති කවි බහුලය. සියල්ල එකින් එක කීමට බැරි තරම් සටහන දැනටමත් දිග ය.
සෞම්‍ය සඳරුවන් ලියනගේ,
තව කවි පොතකින් නුඹ ආ යුතුය, හදිසියේවත් ‘නුඹ නොඒ නම් කියන්න’ !
ඩිල්ශානි චතුරිකා දාබරේ