ඕමානයේදී අපගේ ස්ත්‍රීන් පිරිසකට අත් වූ ඉරණම සම්බන්ධයෙන් ධනුෂ්කගේ ඔසී වික්‍රම ගැන තරම් අවධානයක් යොමු නොවීම ගැන තැවුණු සිතින් වුවත්, මම මෙකල මගේ හෘදය සාක්ෂියට බරක් වූ පොතක් වෙත විටින් විට ගියෙමි. ඒ පොත විජයානන්ද ජයවීරගේ “සංවිචාරණීය සමාජයක්” කෘතියයි. දේශපාලන න්‍යාය ආදිය ගැන උනන්දු අයත්, මෙකල දේශපාලනයෙහි යෙදෙන අයත් අතින් පමණක් නොව හදින්ද මනසින්ද ගත යුතු පොතක් සේ මට එය පෙනේ. හෘදය සාක්ෂියට බරක් වන්නේ, එය ලැබිය යුතු අවධානය නොලද පොතක් වන බැවිනි; ඒ පොතට සාධාරණය ඉටු කරන්නට තරම් දේශපාලන න්‍යායක් මා නොදන්නා හෙයිනි.
හුදෙක් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ දේශපාලනය ඉක්මවා යුක්තිය උදෙසා දේශපාලනයෙහි යෙදෙන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියක් ගොඩ නැගීමේ වැදගත්කම ඒ පොතෙහි සාකච්ඡා වෙයි. ඇතැම් තැන සිත්ගන්නා නිදර්ශනද ගෙන හැර දැක්වේ.
සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපූරු නිදර්ශනයක් ඇමරිකාවේ ස්වදේශික ගෝත්‍රයක් වූ ඉරක්වයි( Iroquois) ෆෙඩරේෂණය වෙතින් උකහා ගැනෙයි. 16 වෙනි වසෙහි බිහි වුණු ඒ ෆෙඩරේෂණයට ස්ත්‍රීන්ට සම්පූර්ණ සහභාගිත්වය හිමි විය. ඒ මෙසේය: ස්ත්‍රීන් සඳහා වෙනම මන්ත්‍රණ සභාවක් පැවතිණි. සාකච්ඡාවට ගනු ලබන සියලු මාතෘකා ඒ මන්ත්‍රණ සභාවේදී මුලින්ම වාදවිවාදයට ලක් කෙරේ. එහි ගැනෙන තීරණ පිරිමින්ගේ මන්ත්‍රණ සභාවට පැමිණෙයි. ස්ත්‍රීන්ගේ සභාවේදී ගන්නා තීරණ දීර්ඝ සාකච්ඡාවකින් පසුව ගැනෙන ඒකමතික තීරණ විය යුතුය. ඒ තීරණ පුරුෂ මන්ත්‍රණ සභාවේදීද ඒකමතිකත්වය ලැබෙන තෙක් සාකච්ඡා කොට නැවත ස්ත්‍රී මන්ත්‍රණ සභාවට යොමු කෙරේ.
මේ ඒ පොතෙන් උපුටනයකි:
“ඉරක්වායි සභාවේ පරිපූර්ණ එකඟත්වයකට පැමිණීමේ අරමුණ ඉටු කර ගැනීම පිණිස රැස්ව ඇති සියලු සචේතනික සිත්වලට පොළෝ මහීකාන්තාව, ජලය, වන සතුන් සහ ගහකොළවල සිට මේඝ ගර්ජනථ සඳ මිත්තණිය සහ ක්ෂීරපථයට අධිපති සියලු භූතාත්මයන්ට එකතුව ඉවහල් වන ලෙස ආයාචනා කරමිනි.”
මේ වූකලි බටහිර නූතනත්වයෙන් අපට උරුම වන මනුෂ්‍ය කේන්ද්‍රීය වූද, තර්ක බුද්ධි කේන්ද්‍රීය වූද, ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වෙනස් සංකල්පයකි. මෙය රූපකයක් සේ ගෙන සංවිචාරණීය සමාජයක් පරිකල්පනය කරන විට ඕමානයේදී අලෙවි වුණු අපේ ස්ත්‍රීන්ද, සාරියක් නිසා ගැටලුවට පමණක් නොව අපහාස උපහාසයටද ලක්ව ඇති අපේ ගුරුවරියද මට සිහිවේ.
ලියනගේ අමරකීර්ති