චාල්ස් දයානන්දයන් ගේ නව්‍ය සිතුවම් කිහිපයක් පිළිබඳව විවරණයක්

සිතුවම යනු රේඛා හැඩතල සහ වර්ණ සංකලනයෙන් නෙත ද ඉන් නොනැවතී සිත ද පැහැර ගන්නා, එයින් ද නොනැවත මනසටද අමතන දෘෂ්‍යමය නිර්මාණයකි. ඇතැම් සිතුවම් සැනෙකින් කියවා ගත හැකි නමුදු ඇතැම් සිතුවම් කියවීමට නම් එම සිතුවම් තුළට පිවිසිය යුතුය.

මේ වෑයම චාල්ස් දයානන්දයන් ගේ නව්‍ය සිතුවම් කිහිපයක් පිළිබඳව විවරණය කිරීමටයි. ශිල්පියා චිත්‍රය පිළිබඳව උසස් කියවීමක් සහිත පුද්ගලයෙකි.

සිත්තරා මෙම සිතුවම් ඇඳීමට යොදාගනු ලබන වර්ණ මාධ්‍ය වනුයේ ස්වේඩ් රෙද්ද මත තෙල් සායම් ය. සිතුවම් සඳහා ශිල්පියා තෙල් සායම් අමිශ්‍රව යොදා ගැනීම සිතුවම් වල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. සිතුවම් වල වර්ණ දීප්තිමත්ය. රේඛා නම්‍යශීලීය. ශිල්පියා සතු සිතුවම්කරණය සඳහා වන කෞෂල්‍යය හැඩතලවල ස්වභාවය, වර්ණ භාවිතය, රේඛා හැසිරවීම සහ නිමාව යන ලක්ෂණ විමසීමේදී මනාව පිළිබිඹු වේ.

01. සොබාදම් දිනිතිය

ශිල්පියා විසින් සොබාදහම කතකට උපමා කොට ඇද ඇති මේ සිතුවම ඉතා අපූරුය.එහි ඇගේ කේශ කලාපය ජලධාරා දක්වා පොළොව දෙසට ද වලාවන් සේ ගුවන පුරා ද විසිර පවතී. ඇගේ සිරුරද සොබාදමේ පළවැළ ගස් කඳන් වැනි අංගයන්ගෙන් සෑදුනකි. මීන, විහඟ, ඉදිබු දරුවන් සහ ඇගේ සෙනෙහස ලබන තුරුපත් අතු ඉති සමූහයා වටකොට ගෙන සිටින ඇයුරින් ඇ මවක් සේ හැඟේ.

සිතුවමේ වර්ණ සංයෝජනය මනහරය. තුරුපත් සියුම් ලතාවන් සහ ජලධාරාවන් ශිල්පියා විසින් විස්තරාත්මකව වර්ණ ගන්වා ඇත. කාලවර්ණ ස්වේඩ් රෙද්ද සිතුවමේ වර්ණ සුදීප්ත වීමට හේතු වූවා දිය හැකිය. සිතුවම තුළ රඹ, රන් සහ කහ උෂ්ණ වර්ණයන්ද නීල පීත ආදි ශීත වර්ණයන් ද මනාව සංකලනය කොට තිබේ. කාන්තාවගේ මුහුණේ වන ඉරියව්ද සිහිල් වර්ණයන්ගේ බලපෑමද සිතුවමේ සියුම් ශෝකී රසයක්ද ජනිත කරයි.

02. පවුල

ශිල්පියා විසින් ඇඳේ ඇති පවුල නැමැති සිතුවමේ ප්‍රකාශන ගුණය ද ප්‍රශංසනීය ය. රූපයන්ගේ බාහිරින් දක්නට ලැබෙන සැබෑ ස්වභාවය ඉක්මවා මෙසිතුවමේ ද ඔහු හැඟීම් පින්තාරු කර ඇත.

එක් පවුලක් තුළ දක්නට ලැබෙන සමාජ ආර්ථික බැඳීම් සේ ම මාපිය දූදරු වශයෙන් ගොඩනැගෙන අධ්‍යාත්මික බන්ධනයන් ද ශිල්පියා මෙම සිතුවමින් අපූර්ව ලෙස නිර්මාණය කර තිබේ. පවුලේ සාමාජිකයන් එක් එක් පුද්ගලයා වශයෙන් වෙන් කළ නොහැකි අතර සියල් පුද්ගලයන් එක් ඒකකයක් ලෙසින් ශිල්පියා සිතුවමින් නිරූපණය කරයි.

සිතුවම වර්ණ ගන්වා ඇති රෝස, කහ සහ රතු යනාදී උණුසුම් වර්ණයන්ගෙන් පවුලක් තුළ ඇති උණුසුම සුවදායක බව පිළිබඳව සංකේතවත් වන සෙයකි . එසේම පවුල වනාහී අනවරත සමාජ ආර්ථික ගැටුම් හා පීඩා මැද ජීවන අරගලයට මුහුණ දෙන සමාජ ඒකකයක් වග මෙහි දක්නට ලැබෙන ශීත වර්ණයන්ගෙන් යම් ඉඟියක් ලබා දෙයි. දුක සැප අතර දෝලනය වෙන දිවියක් හිමි පවුලක් පිළිබඳව මෙම සිතුවමේ වර්ණ සංකලනය අපූරව ලෙස දෘෂ්‍යමාන කරයි.

03. පවුරු වළල්ල

මෙම සිතුවමින් ශිල්පියා විසින් නිර්මාණය කර ඇත්තේ පෙම් යුවළකි. ඔවුනට රිසි ලෙස එක් ලොවක පෙම් සුව විඳිනු අවැසි, එහෙත් ඔවුනොවුන් පැවත එන සමාජ හා සංස්කෘතික පරිසරයන් විසින් දෙපසට මායිම් කරවන පෙම් යුවළකි.
සරල ප්‍රකාශනයක් තුළ සංකීර්ණ හැඟුම් නිර්මාණයෙහිලා ශිල්පියා සතු මනා නෛපුණ්‍යය මෙම සිතුවමින් ද මොනවට විද්‍යමාන වෙයි. එක් එක් විශාල රූප තුළ තුළ කෙමෙන් ක්ෂුද්‍ර වන රූප මගින් මෙම පෙම්වතුන් යුවළ බාහිර සාධක මත ඇහිරෙන හැකිලෙන ආකාරය නිරූපණය කර ඇති ආකාරය මනස්කාන්තය.

ශිල්පියා විසින් ඇඳ ඇති මෙම සිතුවමේ ජෝර්ජ් බාර්ක් සහ පැබ්ලෝ පිකාසෝ වැනි ශිල්පීන් විසින් ගොඩනගන ලද ඝනිකවාදී (cubism ) ආකෘතියෙහි යම් යම් ලක්ෂණ අන්තර්ගතය. එසේම මෙම සිතුවම පිකාසෝ විසින් ඇඳ ඇති Guitar player, woman with guitar සහ The piano Accordionist වැනි ඝනිකවාදී සිතුවම් සිහිපත් කරවයි. ශිල්පියා ඝනිකවාදී තිබෙන යම් යම් ලක්ෂණ මෙම සිතුවමට අන්තර්ගත කර ගත්තද ඝනත්වය එතරම් උපයෝගී කරගෙන ඇති ආකාරයක් නොපෙනේ. ඝනිකවාදය තුළින් එක් එක් රූපයන්ගේ සමස්තය හැඩතල වලට කඩා වියුක්ත කොට දැක්වූවත් එකම රූපයක් තුළ තවත් රූප දැක්වීමක් සිදු නොකරයි. ශිල්පියා ඝනිකවාදය ඉක්මවා තම පරිකල්පනය මෙහෙයවා ඇති බව මෙම සිතුවම තුළ විශාල රූප තුළ කුඩා රූප ගොඩනගා ඇති ආකාරයෙන් පසක් කරවයි.

සිත්තරා විසින් අඳින ලද තවත් සිතුවම් කිහිපයක් ද ඔබට සිතැඟි ලෙස විඳගැනීම සඳහා මේ සමග පළ කර ඇත.
චාල්ස් දයානන්දයන් ගුරුවරයෙකු වශයෙන් සේවය කොට පසුව ගිරාගම සෞන්දර්ය ගුරු විදුහලෙහි චිත්‍රකලා කථිකාචාර්යවරයෙකු වශයෙන් ද, ඉනික්බිති නැගෙනහිර පළාත් සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙකු වශයෙන්ද සේවය කර ඇත. එසේම ළමා චිත්‍ර පිළිබඳව බාහිර දේශක ලෙස විවෘත විශ්ව විද්‍යාලය, කැලණි විශ්ව විද්‍යාලය , සිබා විශ්ව විද්‍යාලයෙහි ද සේවය කරයි. තවද ඔහු විසින් චිත්‍ර කලාව හා ඒ සම්බන්ධයෙන් පොත් දහයක් ද, කාව්‍ය සංග්‍රහයක් ද නවකතාවක් චරිතාපදානයක් , ඔහුගේ ජීවිතයේ සිදුවීම් අලලා ලියන ලද කතාවක් වශයෙන් පොත් දාහතරක් පමණ ලියා ඇත.

චිත්‍ර කලාව වෙනුවෙන් දයානන්දයන් සිදුකරන මෙහෙය සැබැවින්ම පැසසිය යුතු වන අතර සිතුවම වෙනුවෙන් තවත් බොහෝ කලක් ඔහුට සේවය කිරීමට ලැබේවා ! යැයි ද පතනු කැමැත්තෙමි.

ප්‍රියංගිකා සෝමපාල

01. සොබාදම් දිනිතිය                    02. පවුල

03.පවුරු වළල්ල

 

චාල්ස් දයානන්දයන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...