ලෝකයට දේවල් එකතුවෙන, පිරෙන, පවතින තත්ත්ව වගේ ම ලෝකයෙන් ඉවත්වෙලා අතුරුදන් වෙලා නැත්තටම නැතිවෙලා යන තත්ත්ව, සම්පූර්ණ වීම සහ හිස්වීම කියන වචනවලට කැටිකරලා හිතුවොත් දයලෙක්තිකයක් විදියට තුලනය වෙවී ක්‍රියාකරනවා. එක පැත්තකින් ලෝකෙ පිරෙද්දි අනෙක් පැත්තෙන් දේවල් ලෝකෙන් හැලෙනවා. කොහොමහරි යොකෝ ඔගවා ලියා හෂිත අබේවර්ධන පරිවර්තනය කළ, ‘මතක පොලිසිය’ කියවල ඉවරවුණාම දැනෙන්න ගන්නවා, වැදගත්වෙන්නෙ මෙහෙම පිරෙන එකවත් හිස්වෙන එකවත් නෙමේ, අපි ඒවට ප්‍රතිචාර දක්වන විදියයි, ඒවාට දෙන වටිනකමේ තරමයි, ඒවා මතක තියාගෙන ඉන්න විදියයි කියල.
අපේ ජීවිත කාලෙ පුරා මතක පණ ලබනවා, අපිව ප්‍රීති පාමොජ්ජෙ ගිල්වනවා, ජීවත්වෙන්න දිරි දෙනවා. ඒවගෙ ම, නොහිතූ තැනකට කඩාපැනලා හැසී මැසී දුකෙන් කොනිති ගන්නනවා, පුලුස්සා දමනවා. මේ මතකවලින් ගැලවීමක් නැහැ. මතක මියැදෙන්නෙ නෑ, පරණ මතක තියෙන තැනට අලුතෙන් ගොඩනැගෙන මතක ඇවිත් රීප්ලේස් වෙනවා.
රටක ආරක්ෂක අංශ කියන්නෙ පාලකයන්ගෙ සේවය වෙනුවෙන් පිහිටුවපු සමූහ. මතක තබාගත යුතු, අමතක නොකළ යුතු දේවල් හිතෙන් අයින් කරන්න කියල පොලිසියෙන් ඇවිත් නියෝග දෙනවා නම්, මතක තියෙන අයව පොලිසියෙන් කුදලගෙන යනව නම්, හිතන – පතන දේවල් හිතන්නවත් නොදෙන මට්ටමට ජීවත්වීමේ අවම අයිතියක්වත් නැත්නම්, එහෙව් රටක මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ. ඒනිසා වෙන්නැති පොත ඉවරවෙද්දි මිනිස්සුන්ගෙ ඇඟවල් පවා අතුරුදන්වෙලා ගන්දබ්බ ආත්ම වගේ පාවෙන මට්ටමට පත්වෙන්නෙ. මේ පොතේ ඉන්න ‘මතක පොලිසිය’ ත් හැබෑ පොලිසියක් වගේ ම, හිටිහැටියෙ ගෙවල්වලට පනින, මිනිස්සු කුදලගෙන යන, ප්‍රශ්න කළොත් හිරේ දාන, කොට්ඨාසයක්. තවත් ජපන් ලේඛකයෙකු වන ගෙන්කි කවමුරා ලිව්ව ‘If cats dissapeared from the world’ පොතෙ ඉන්න යකාත් මේ මතක පොලිසිය වගේ ම දේවල් අතුරුදන් කරන්නෙක් බව දැන් මතක් වෙනවා. කොහොමහරි මේ පොලිසියෙ හැඩරුව අනුව මට මැවුණේ ‘ධවල භීෂණ’ වේදිකා නාට්‍යයේ පසුබිම. ඔවුන් මිනිස්සුන්ව මූලස්ථානයට කැඳවන්න ගෙවල්වලට එවන්නෙ අලංකාර මෝටර් රථ. කැඳවීම ලැබුණු මිනිස්සු හිතන්නෙ හොඳ දේකටයි මේ තමන්ව අරන් යන්නෙ කියල. නමුත් ඒ යන අය ආයෙ එන්නෙ නෑ. මේ පොලිසිය අතුරුදන් කරන්නෙ මතක විතරක් නෙමේ. තමන් ජීවත්වෙනවද නැද්ද කියල හිතෙන මට්ටමට, කතාකරන්න – හිතන්න – තර්ක කරන්න – නිර්මාණශීලී අදහස් පළකරන්න ඉඩ නොදෙන මට්ටමට වැටබැඳලා, මිනිස්සුන්ගෙ මුළු ඇඟම අඩපණ කරන විදියට ඇඟපතේ අවයව පණ නැතිකරල පොත අන්තිම වෙද්දි මේ මිනිස්සු මැරිලද කියල අපිට හිතෙන තරමට, හුළඟක් වගේ ආත්මයක් විතරක් ඉතුරු වෙනකම් සාරය උරාබොන මට්ටමකට රටක් ම පත්කරන්නෙත් මේ පොලිසියයි.
අතුරුදන් කළ ලැයිස්තුවට මේ කියන ටික ඇතුළත් වෙනවා; කුරුල්ලො, රෝස මල්, පලතුරු, ජායාරූප, කැලැන්ඩර්, පොත්, වම් කකුල. මේවා සංකේත. රෝස මල් කියන්නෙ ආදරය, හැඟීම් දැනීම්. ජායාරූප කියන්නෙ අතීතය. පොත් කියන්නෙ නිර්මාණශීලි අදහස්. කැලැන්ඩර් කියන්නෙ කාලය, දින. මිනිස්සු ඉන්න රටකින් ආදරය, අතීත ස්මරණ, කලාකාමී – තාර්කික අදහස් සහ දින වකවානු / කාලය හිතාගන්න බැරිවෙන්න අතුරුදන් කරවනව කියන්නෙ, එතනින් එහාට ඒ රටේ ඉන්නෙ ගල් මිනිස්සු. තමන්ට වෙන දෙයක් වුණාවෙ කියල බලන් ඉන්න, හිරිවැටුණු මිනිස්සු.
මේ පොලිසියෙ ඈයො පුස්තකාලෙ ගිනි තියලා ඒ මත පොලිස් මූලස්ථානයක් ඉදිකරනව. සහකම්පනය – බුද්ධිය නැතිකරලා දාලා, ඒ මත පීඩක බලය ජීවත්කරවන රටක් ගැන මේ කියන්නෙ. රෝස මල් පෙති ගගේ පාවෙනවා. පොත්වල පිටු පිච්චිලා යනවා. මේවා ලංකාවෙ අපිට මවාගන්න අමාරු නෑ. ‘පොත් පුලුස්සා දැමීමට පටන්ගන්නා මිනිස්සු අනෙක් මිනිසුන්ව පුලුස්සා දැමීමෙන් එය අවසන් කරති’ කියල පොතේ තියෙන්නෙ ඒකයි.
හජිමෙ නකමුරෙ ලියා, පී.බී.මීගස්කුඹුර පරිවර්තනය කළ ‘පෙරදිග මිනිසුන්ගේ චින්තන විධි’ පොතේ තියෙනවා භාරතය – චීනය – තිබ්බතය – ජපානය කියන රටවල ඉන්න මිනිස්සුන්ගෙ හිතන පතන විදි හැඩගැහිලා තියෙන්නෙ කොහොමද කියල. ජපන් කාන්තාවක් දැක්කම අපිට දැනෙන ඒ ‘ජපන් ලකුණ’ හිත්වලට කාවැදෙන ඒ අනන්‍ය බව එන්නෙ කොහෙන්ද කියල ඒ පොතේ විස්තර කෙරෙනවා. යොකො ඔගවාගෙ ‘මතක පොලිසිය’ පොතේ ඉන්න ස්වාධීන, නිහඬ, චාම් මිනිසුන්ගෙ දිවි පැවැතුම් ඔවුන්ගේ සංස්කෘතිය එක්ක මුහුවෙලා ඉහත කිව්ව පොතේ කාරණා එක්ක වඩාලා ම පැහැදිලි වෙන්න ගන්නවා. නිදහස් කිරීම, ඉවත්කිරීම, දුරස්ථකිරීම, මුදාහැරීම, තමාව අත්හැරීම, නැඹුරුවීම වගේ දේවල් එක්ක බැඳුණු සෙන් දහමේ ඉගැන්වීම්වලට අනුගත ජීවිත අහුරු පෙති තැනින් තැනින් පෙනෙන්න ගන්නවා. අතුරුදන්ව ගිය කුරුල්ලෙක් හිම වැටුණු අත්තක ඉඳගෙන නගරෙ දිහා බලන් ඉන්නවා කියල හිතෙන මේ පොතේ කවරය දැක්කම අපිට දැනෙන සීතලක් තියෙනවද, අන්න ඒ සීත බව, ඇල්මැරුණු බව, නිකම් බව, පණ නැති, ජීවය නැති බව හැම මිනිහෙක්වම ගිලගන්නවා.
මේ කතාව ඇතුළෙ තව කතාවක් තියෙනවා. ප්‍රබන්ධයක් ඇතුළෙ තව ප්‍රබන්ධයක් තියෙනවා. ‘මම’ යනුවෙන් අපිට කතාව ඉදිරිපත් කරන කාන්තාව, කතුවරියක්. එයා ලියන නවකතාවෙ අත් පිටපතේ කොටස් පොතේ කතුවරිය වන යොකො ඔගවා තැනින් තැන පොතට ඇතුළත් කරනවා. මේ අනු ප්‍රබන්ධය, නැත්නම් පාර ප්‍රබන්ධය ලොකු වැඩ කොටසක් ‘මතක පොලිසිය’ පොතට කරනවා. සතුටුවීම අහිමි රටක නන්ස්ටොප් දේවල් සහ මිනිස්සු අතුරුදන් වෙද්දි, ජීවතුන් අතර ඉන්න මිනිස්සුන්ට දැනෙන හිරිවැටුණු මනෝභාව, දතකට පූට්ටු වෙන ස්වභාවෙ, ඔතෑනි සිතිවිලි ධාරාව අර තරුණිය පිටකරන්නෙ අත් පිටපත හරහා. හැබෑ ලෝකෙ සේරම අතුරුදන් වෙවී යද්දි අලුතින් දලු දාපු එක ම දේ මේ අත්පිටපතේ වචන විතරයි. ඒත් අත්පිටපතේ චරිතය සතු ටයිප් රයිටරෙ කැඩෙනව. ඒකියන්නෙ ලියන්න බෑ. කතා කළාට හඬ ඇහෙන්නෙ නෑ. අදහස් ප්‍රකාශ කරන්න තියෙන මූලික දේවල් දෙක; කතාකරන හඬ සහ ලියන වචන ඔන්න අත් පිටපතේදි නැතිවෙලා යනවා. දැන් කරන්න කිසිම දෙයක් නෑ. මේ අත් පිටපත පොතට යෙදීම යොකො ඔගවාගේ සූක්ෂම නුවණක්කාර වැඩක්.
පරිවර්තනයෙදි හෂිත අබේවර්ධන යොදාගත්ත එක ටෙක්නික් එකකට මං කැමතියි. මේක සුළු දෙයක් වෙන්නැති, ඒත් ඒක මට හිතන්න තරම් දෙයක්. වාක්‍යයක් මැදට යොදන අමතර වාක්‍යාංශයක්, වෙන ම වාක්‍යයක් විදියට අවසානයට එකතු නොකර මුල් වාක්‍යය මැදට ම, මුල් කෘතියෙ ටෝන් එකට ගැළපෙන්න කඩ ඉරකින් එකතුකරලා, ආයෙ ම අර මුල් වාක්‍යයේ ඉතිරිය එතනට අරගැනීමයි. උදාහරණයක් පහතින්,
‘ඉතින් දිවයිනේ සිතියමක් නොවූ නිසා – සිතියම් බොහෝ කලකට පෙර අතුරුදන් වී ගොස් තිබුණි – එහි නිශ්චිත හැඩය හෝ කඳුකරයට ඔබ්බේ වූයේ කුමක්දැයි කිසිවෙක් දැන සිටියේ නැත’
මේ පරිවර්තනයෙදි භාවිත කරල තියෙන ඇතැම් වචන, දීපකයක් වගේ වාක්‍ය සහ ජේද එළිය කරනවා. කොහොමත් මම ඔහුගේ බසට කලක පටන් ම ලොල්. පරිවර්තනවලදි නිතර භාවිත කරන කුකුළගෙ කරමලෙ මතක්වෙන වදන් යොදා නොගෙන, පොළොවට නැඹුරු සොබාවිකව ගලන් එන වචන මේවායෙ ඉලිප්පිලා පේනවා. ‘සත්කාරිකාව’ කියන වචනෙ මං අන්තිමට කියෙව්වෙ සෑහෙන ඈත කාලෙකින් පස්සෙ වගේ දැනෙන්නෙ. ඒ ඒ අයගෙ මුවට ඒ ඒ වයසට සහ ඒ ඒ පරම්පරාවට අයත් විදියට පරිවර්තකයා බස හසුරුවනවා.
මතක ගොන්නක් මතක් කරකර ‘මතක පොලිසිය’ කියවල ඉවරවුණාටත් පස්සෙ, පොතේ එන එක වැකියක් තමාව බැඳපු බැමි කඩාගෙන පිටු දෙබෑ කරගෙන මහ හයියෙන් කෑගහල හූතියනවා මට ඇහෙනවා,
“කාටවත් කතන්දර මකලා දාන්න බෑ ! ”
ඩිල්ශානි චතුරිකා දාබරේ
‘මතක පොලිසිය’ | Little House Publishers