1955 වර්ෂයේ දී තම එකම පිරිමි දරුවා ( Emmie Till ) ඇමෙරිකානු මිසිසිපි ප්‍රාන්තයේ ( State of Mississippi) දී සුදු ජාතිකයන් විසින් ඉතා සහාසික හා කෲර අන්දමින් ඝාතනය කිරීමත් ඊට නීතියේ සාධාරණය ඉෂ්ට සිද්ධ කර ගැනීමට අපමණ වෙහෙසක් දැරීමත් එසේම එම සිද්ධිය හේතු කාරණා කොටගෙන සුදු-කළු භේදයට එරෙහිව ක්‍රියාකරන වන සමාජ ක්‍රියාකාරිණියක් බවට පරිවර්තනය වන උදාර කළු ජාතික මවකගේ ( Mamie Till Mobleys ) යශෝරාවය Till – 2022 චිත්‍රපටයට වස්තු විෂය වී ඇත්තේ ය.
මෙරට සෑම පියෙකු සේම මවක් ද එසේම සෑම දරුවකුම නැරඹිය යුතු ඉතා වැදගත් චිත්‍රපටයක් වශයෙන් Till – 2022 චිත්‍රපටය පළමුව හදුන්වා දීමට කැමති වන අතර මෙමගින් මාතෲත්වයේ උදාරතරත්වය කොතරම්ද යත් මෙම සිනමාත්මක ප්රකාශනය තුළින් ප්‍රේක්ෂකයාගේ මනස්කාන්තයේ සදා සනිටුහන් වන බව විශේෂයෙන්ම සදහන් කළ යුතුය. එය චිත්‍රපටය නරඹා ඉහළින්ම කියවා ගත් ප්රේක්ෂකයකු වශයෙන් මෙහිලා සහෘද .. ඔබට විශේෂයෙන් අවධාරණය කරනු කැමැත්තෙමි.
කළු ඇමෙරිකානු ජාතික තුරුණු ප්‍රතිභාපූර්ණ සිනමා අධ්යක්ෂවරියක් වන Chinonye Chukwn විසින් සත්‍ය කතාවක් පදනම් කරගෙන තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද Till – 2022 නැමති මාහැඟි චිත්‍රපටය 2022 ඔක්තෝබර් මස14 වැනි දින සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරන ලදි.
Whoopi Goldberg, Keith Beauchaup, Barbara Broccli , Thomas Levine යනාදීන්ගේ නිෂ්පාදනයෙන් ද Bobby Bakowski ගේ කැමරාකරණයෙන් ද Abel Korzeniowski ගේ සංස්කරණයෙන් ද Danielle Deadwyler, Jalyn Hall , Whoopi Goldberg, Haley Bennett, Jayme Lawson , Sean Patrick Thomas, Jaylin Webb යනාදී නළු නිළියන්ගේ විශිෂ්ට රංගන දායකත්වයෙන් Till චිත්‍රපටය හැඩවැඩ ගැන්වී තිබේ.
පුරා පැය 2 කුත් විනාඩි 10 පුරා දිවෙන මෙම චිත්‍රපටය මවිසින් මෑතකදී නරඹන ලද මවකගේ දාරක ප්‍රේමය පිළිබඳව ඉතා ගැඹුරින් සාකච්ඡාවට බදුන් කරන චිත්‍රපටයක් වන්නේ ය.
තරු පහේ ( Five Star ) චිත්‍රපටයක් වශයෙන් වර්ගීකරණය කරන ලද Till චිත්‍රපටයට මේවනවිට යුරෝපීය ප්‍රදර්ශනය තුළින් උපයාගෙන ඇති බොක් ඔෆීස් වාර්තාව ඩොලර් මිලියන 8.7 කි.
න්‍යයාත්මක කියවීම ——
Till චිත්‍රපටය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාත්මක සිනමා ප්රකාශනයක් වන්නේ ය. සමස්තයක් වශයෙන් ගත් කල්හි චිත්‍රපටය තුළින් අවධාරණය කෙරෙන්නේ උදාර දාරක ප්‍රේමය හා එතුළින් ජනිත වන්නා වූ නොපසුබස්නා වීර්යයි. එහෙත් අවසාන ජවනිකා කීපයෙන් ඉතා පුළුල් ජීවන දෘෂ්ටියක් ප්‍රකට වන්නේ ය.
එපමණක් නොව Till චිත්‍රපටය දාරක ප්‍රේමයේ උත්තරීතරභාවය හා එය සදාතනික වටිනාකමකින් යුත්තක් බවත් වර්ගවාදීත්වයෙන් නොව මිනිසත්කම හා ආදරය පිළිබඳව ඉතා සුබවාදී ආකල්ප රැසක් ප්‍රේක්ෂකයාගේ මනස් සන්තානයේ සිනමාත්මකව සදා තැම්පත් කරන මාහැඟි චිත්‍රපටයක් ද වන්නේ ය.
මෙහි කැමරාකරණය, කලා අධක්ෂණය , සංගීත අධ්‍යක්ෂණය හා සංස්කරණය චිත්‍රපටයේ කතාව හා එහිලා බැදී ඇතී රූප- රාමු ඉල්ලා සිටින සාධාරණත්වය ඉතා ඉහළින්ම ඉෂ්ට සිද්ධ කරනු පිණිස දක්වා ඇති දායකත්වය වෙසෙසින්ම අගය කළ යුතු වන්නේ ය. විශේෂයෙන් මෙහිලා කලා අධ්‍යකෂණය පිළිබඳව කතා කළ යුත්තේවය. මෙම කතා පුවත දිවෙන 1950 දශකයේ කාලවකවානුව එලෙසින්ම ප්‍රේක්ෂකයාගේ දෙනෙත් අභියස ප්‍රති – නිර්මාණය කිරීමට කලා අධ්‍යක්ෂකවරයා වෙසෙසින්ම සමත් වී ඇත්තේය. එය සමස්ත චිත්‍රපටයේ සාර්ථකත්වයට වෙසෙසින්ම බලපා ඇති ආභරණයක් බව කිව යුතුය.
Danielle Deadwyler
මෙහි ප්‍රධාන චරිතය වන ප්‍රකට කළු ජාතික සම්මානනීය චරිතාංග සිනමා නිළියක් වන Danielle Deadwyler තම සිනමාරංගන ජීවිතය මෙතෙක් ඉහළම රංගනය සනිටුහන් කරන බව පෙනේ. චිත්‍රපටය පුරාම ඇය රංගන පෞරුෂය ඉතා ඉහළින් කැපී පෙනෙන බව විශේෂයෙන්ම සදහන් කළ යුතුය . එපමණක් නොව එළැඹෙන වසරේ පැවැත්වෙන Academy Awards හි වසරේ හොදම නිළිය ( Best Actress of the Year ) ට හිමි සම්මානය සදහා ඇයගේ නම අනිවාර්යෙන්ම යෝජනාවිය යුතු බව මෙම චිත්‍රපටය නරඹන සිනමා රංගනය යනු කුමක්ද යන්න පිළිබඳව දත් ඕනෑම අයකු මා සමගින් එකඟවනු ඇත.
මෙහි අධ්‍යක්ෂණය පිළිබඳව විශේෂයෙන් සදහන් කළ යුතුය . ඇමෙරිකානු කළු ජාතික තුරුණු අධ්යක්ෂකවරියක වන Chinonye Chukwn ගේ ප්‍රතිභාව, නිර්මාණශීලීත්වය හා සිනමා මාධ්‍යය හා එහිලා සිනමා අධ්‍යක්ෂණය යනු කුමක්ද යනාදිය කොතරම් දුරට ග්‍රහණය කරගෙන ඇතිදැයි කියා උදාහරණ සහිතව චිත්‍රපටයේ සෑම රූප රාමුවක් තුළින් මැනවින් ප්‍රකට වන බව නොකියාම බැරිය .මෙම කරුණු කාරණා Till චිත්‍රපටයට සිනමා කාව්‍යයක් බවට පත් කිරීමට වෙසෙසින් සමත් වී ඇති බව මෙය නරඹන බුද්ධිමත් සෑම ප්‍රේක්ෂකාගාරයට අවබෝධ වනු ඇත.
Chinonye Chukwn
විශේෂ සටහන ——
Till චිත්‍රපටයට උදාර මවකගේ දාරක ප්‍රේමයේ ගැඹුර කොතරම්ද යත් සිනමාත්මකව විවරණය වන අපූරු සිනමා කාව්‍යයක් බැවින් මෙය තම පවුල සමගින් නැරඹීම “පවුල” නැමති සමාජයේ කුඩාමවූත් එසේම ඉතා වැදගත්වූත් ඒකකයේ ඒකාත්මික බැඳීමට වෙසෙසින්ම ඉවහල් වන්නේ ය.
පූජ්‍ය ඇතිපොළ මංගල හිමි