නැඳුන්ගමුවේ රාජා හස්තියා යයි – රජා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති උපදෙස්

ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව වැඩම කළ නැඳුන්ගමුවේ රාජා හස්තියා අද (07) උදෑසන මියගොස් ඇති අතර මියයන විට නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වයස අවුරුදු 69කි.

ජාතික උරුමයක් ලෙස නම් කර සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වාසස්ථානය වූයේ මීරිගම හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසය.

කලක් රෝගාතුරව සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියා රෝගීව සිටියදීම පසුගිය වසරේ ද ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීය.

ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව මීට පෙර වැඩම කරවූ රාජා හස්තියාට පසු වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කරවූයේද නැඳුන්ගමුවේ රාජා හස්තියායි.

මේ අතර මියගිය නැඳුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත උපදෙස් දී ඇති බවයි.

නැඳුන්ගමුවේ හස්තිරාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති අතර ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටි ගම්පහ, වැලිවේරිය, නැඳුන්ගමුව වෙත ගොස් තිබෙන බවද වාර්තා වේ.

පහත පලවන්නේ එක්සත් රාජධානිය වෙසෙන චන්දන ගුණසේකර මහතා විසින් මීට වසර අටකට පෙර facebook වෙත ලියන ලද කවිපෙලකි. අද නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ මියයාම සැළවීමත් සමඟ මෙය නැවත ඔහුගේ facebook පිටුවේ සටහන් කර තිබිණි.

මම මේ කවිය ලිව්වෙ මීට වසර අටකට ඉස්සෙල්ලා. ඒත් අද උදේම දැනගන්න ලැබුණු නැඳුන්ගමුවෙ ඇත්රාජාගෙ නික්ම යෑම, මට මේ කවිය නැවතත් සිහිපත් කළා. ඇත්රජු සමඟ දුක සැප බෙදාගත්, ඔහුත් සමඟම නිතරම ගමන් බිමන් ගිය එකටම උන් කළු මාමා නම් වූ ඒ ඇත් ගොව්වට අද මෙහෙම හිතෙනවා ඇති…

නික්ම යෑම…..

විසල් මුහුණේ පුංචි නෙතු අග කඳුළු බිඳු ඇත වේළිලා
පෙළහරම පෑ පෙරහැරේ ගිය මගේ පුතු බිම බෑවිලා
කුංචනාදයෙ හඬත් අද නැත කෙඳිරිලිත් යයි නෑසිලා
හොඬය ඔසවා බලාපං පුත එක් වරක් නෙතු මානලා

මගෙම පුතු ලෙස හැදූ නුඹ අද යන්න යනවද මා දමා
පොඩි දොහේ සිට හිටියෙ එකටම කෙලෙස විඳ ගමි දුක මෙමා
යම් දිනේ අප වෙන්ව යනවා ලොවේ සත්‍යය එය තමා
එහෙත් ඇයි නුඹ මුලින් ඇදුණේ මරුව වෙත නොම වී පමා

රිදෙයිදෝ පුත උඹේ බඳ තව ඇන්න පහරට මා එදා
කඳුළු පිරෙනවා දුටිමි නෙතු අග හැඬුව ඒ හෙණ්ඩුව බදා
හිතේ තරහක් තිබෙනු නොදිටිමි සිටිය මට සෙනෙහස පුදා
මතු බවේදී පුතුව ඉපැදී සනසපං මගෙ දිවි සදා

-චන්දන ගුණසේකර – එක්සත් රාජධානිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...