නැඳුන්ගමුවේ රාජා හස්තියා යයි – රජා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති උපදෙස්

ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව වැඩම කළ නැඳුන්ගමුවේ රාජා හස්තියා අද (07) උදෑසන මියගොස් ඇති අතර මියයන විට නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වයස අවුරුදු 69කි.

ජාතික උරුමයක් ලෙස නම් කර සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වාසස්ථානය වූයේ මීරිගම හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසය.

කලක් රෝගාතුරව සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියා රෝගීව සිටියදීම පසුගිය වසරේ ද ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීය.

ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව මීට පෙර වැඩම කරවූ රාජා හස්තියාට පසු වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කරවූයේද නැඳුන්ගමුවේ රාජා හස්තියායි.

මේ අතර මියගිය නැඳුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත උපදෙස් දී ඇති බවයි.

නැඳුන්ගමුවේ හස්තිරාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති අතර ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටි ගම්පහ, වැලිවේරිය, නැඳුන්ගමුව වෙත ගොස් තිබෙන බවද වාර්තා වේ.

පහත පලවන්නේ එක්සත් රාජධානිය වෙසෙන චන්දන ගුණසේකර මහතා විසින් මීට වසර අටකට පෙර facebook වෙත ලියන ලද කවිපෙලකි. අද නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ මියයාම සැළවීමත් සමඟ මෙය නැවත ඔහුගේ facebook පිටුවේ සටහන් කර තිබිණි.

මම මේ කවිය ලිව්වෙ මීට වසර අටකට ඉස්සෙල්ලා. ඒත් අද උදේම දැනගන්න ලැබුණු නැඳුන්ගමුවෙ ඇත්රාජාගෙ නික්ම යෑම, මට මේ කවිය නැවතත් සිහිපත් කළා. ඇත්රජු සමඟ දුක සැප බෙදාගත්, ඔහුත් සමඟම නිතරම ගමන් බිමන් ගිය එකටම උන් කළු මාමා නම් වූ ඒ ඇත් ගොව්වට අද මෙහෙම හිතෙනවා ඇති…

නික්ම යෑම…..

විසල් මුහුණේ පුංචි නෙතු අග කඳුළු බිඳු ඇත වේළිලා
පෙළහරම පෑ පෙරහැරේ ගිය මගේ පුතු බිම බෑවිලා
කුංචනාදයෙ හඬත් අද නැත කෙඳිරිලිත් යයි නෑසිලා
හොඬය ඔසවා බලාපං පුත එක් වරක් නෙතු මානලා

මගෙම පුතු ලෙස හැදූ නුඹ අද යන්න යනවද මා දමා
පොඩි දොහේ සිට හිටියෙ එකටම කෙලෙස විඳ ගමි දුක මෙමා
යම් දිනේ අප වෙන්ව යනවා ලොවේ සත්‍යය එය තමා
එහෙත් ඇයි නුඹ මුලින් ඇදුණේ මරුව වෙත නොම වී පමා

රිදෙයිදෝ පුත උඹේ බඳ තව ඇන්න පහරට මා එදා
කඳුළු පිරෙනවා දුටිමි නෙතු අග හැඬුව ඒ හෙණ්ඩුව බදා
හිතේ තරහක් තිබෙනු නොදිටිමි සිටිය මට සෙනෙහස පුදා
මතු බවේදී පුතුව ඉපැදී සනසපං මගෙ දිවි සදා

-චන්දන ගුණසේකර – එක්සත් රාජධානිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...