මේ නායකයා සහ නායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගැඹුරු සංවාදයක් ඇතිව තිබෙනා මොහොතක්.
මෙරට ක්‍රිකට් ඉතිහාසයේ මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේත් විශිෂ්ට නායකයන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් අතර සංවාදයක් ඇතිව තිබෙනවා.
නායකයා මෙවැන්නෙක් විය යුතු යැයි විවිධ අදහස්, ඒ සංවාදයේ පළ වී තිබුණා.
යථාර්තය නම් ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථක නායකත්වයට නියමිත එක් රාමුවක් හෝ සම්මත සම්මිශ්‍රණයක් (Formula) නැහැ.
ඔබට ක්‍රිකට් ක්‍රීඩාවේ ඩ්‍රයිව් පහරක්, ෆුල් පහරක් එල්ල කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා.
පා දඟ හෝ පිට දඟ පන්දුවක් යවන ආකාරයත් එවැනිම තාක්ෂණික රාමුවකින් පුහුණු විය හැකියි.
නමුත් “නායකත්වය” යනු එවැනි රාමුවකින් පුහුණු විය හැකි දෙයක් නොවෙයි.
එය ඉවක්, සහජ සහ මෘදු හැකියාවක්.
ඇතැම් විටෙක එය අත්දැකීම් සමග ඔපමට්ටම් වන කුසලතාවයක්.
එය බුද්ධිමය ධාරිතාවය, මානව කළමණාකරන හැකියාව, ආත්ම විශ්වාසය සහ පෞරුෂය යන සාධක සමග සෘජුව බැඳී තිබෙනවා.
ඇතැම් විටෙක සාර්ථක ක්‍රීඩකයෙකුට පවා සාර්ථක නායකයෙකු විය නොහැක්කේ ඒ නිසයි.
උප නායකයා සහ කණ්ඩායමේ වටිනාම ක්‍රීඩකයාව සිටි ශේන් වෝර්න් වෙනුවට රිකී පොංටින් ට ඕස්ට්‍රේලියානු නායකවත්වය හිමි වූයේ ඒ නිසයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථක නායකයන්ගේ හැසිරීම් සහ ලක්ෂණ විශ්ලේෂණය කළ විට ඔවුන්ගේ නායකත්ව ප්‍රවේශයන් එකිනෙකට වෙනස්.
ඔවුන්ගේ පෞරුෂ, චරිත ලක්ෂණ සහ ඔවුන් සිය සාමාජිකයන් පාලනය කළ අයුරු වෙනස්.
ඔවුන් සතු වූ පොදු ගුණාංගය සිය කණ්ඩායමේ ගෞරවයට ලක් වීම සහ ඒ මොහොතේ ක්‍රිකට් ක්‍රීඩාව ඉල්ලා සිටිනා දේ වටහා ගැනීමේ හැකියාව පමණයි.
අර්ජුන රණතුංග සාර්ථක නායකයෙක්. ඔහු දැඩියි. සිය කණ්ඩායම් සාමාජිකයන් තදින් පාලනය කළ නායකයෙක්.
ක්‍රීඩකයන් ඔහු දුටු විට අසුණින් නැගී සිටිනවා.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකයම දිනූ, ලෝක පූජිත සනත් ජයසූරිය ලා පවා තවමත් අර්ජුන පිළිබඳ කතා කරද්දී ඔවුන්ගේ ස්වරයේ සහ ශාරීරික හැසිරීමේ ඇති ගෞරවය කොපමණදැයි පෙනෙනවා.
මහේන්ද්‍ර සිං දෝනි ද ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඔහු වඩා ප්‍රසිද්ධ මෘදු, සැහැල්ලු නායකයෙකු ලෙසයි.
යොවුන් ක්‍රීඩකයෙකුට අවශ්‍ය නම් ඔහුගේ කාමරයටම ගොස් ඔහු සමග වීඩියෝ ක්‍රීඩා කළ හැකියි.
ඉතා සැහැල්ලු, මිත්‍රශීලි ප්‍රවේශයකින් සිය ක්‍රීඩකයන් හැසිරවූ නායකයෙකු ලෙස ඔහු ප්‍රසිද්ධයි.
නමුත් ඔහු කෝපගත් සහ දැඩිව සිය කණ්ඩායම මෙහෙයවූ අවස්ථාවන් ද නැතුවාම නොවෙයි.
එවැනි කතාවක් රවිචන්ද්‍රන් අශ්වින් සිය චරිතාපදානයේ ලියා තිබුණා.
ඒ ඉන්දීය කණ්ඩායමේ 2010 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයයි.
ෆෝර්ට් එලිසබෙත් හි පැවැත්වෙන තරගයක ඉන්දීය කණ්ඩායම පන්දු රකිමින් සිටියා.
රවිචන්ද්‍රන් අශ්වින් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙක්.
එමෙන්ම කණ්ඩායමට වතුර ඇදීමේ වගකීම ද භාර වී තිබුණේ ඔහුටයි.
ඔහු කණ්ඩායමේ ක්‍රීඩා විවේකාගාරයට වී සිටියා. කණ්ඩායමට අවශ්‍ය සෑම විටකම වතුර ද රැගෙන පිටියට දිව ගියා.
එවන් මොහොතක කඩුලු රකිමින් සිටි නායක දෝනි ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
“කෝ ශ්‍රී ?” දෝනි ඒ ඇසුවේ වේග පන්දු යවන ක්‍රීඩක ශාන්තකුමාරන් ශ්‍රීසාන්ත් පිළිබඳවයි.
ඔහු එම තරගයට ක්‍රීඩා කළේ නැහැ. එනමුත් ඔහු සෙසු අතිරේක ක්‍රීඩකයන් සමග ක්‍රීඩක විවේකාගාරයේ පහළ මාලයේ තරගය නරඹමින් සිටියේ ද නැහැ.
ඔහු ක්‍රීඩාගාරයේ ඉහළ මාලයේ කුටියක රැඳී සිටියා.
කඩුලු රකින අතරතුරම, ශ්‍රීසාන්ත් සෙසු අතිරේක ක්‍රීඩකයන් සමග නොමැති බව වටහා ගැනීමට තරම් තියුණු දෑසක් මහේන්ද්‍ර සිං දෝනි ට තිබුණා.
ඒ සමගම ශ්‍රීසාන්ත් ට පහළට පැමිණ සෙසු අතිරේක ක්‍රීඩකයන් සමග එක්ව සිටිනා ලෙසට කියන්නැයි දෝනිගෙන් අශ්වින් ට උපදෙසක් ද ලැබුණා.
අශ්වින් ඉහළ මාලයට ගොස් ශ්‍රීසාන්ත් මුණ ගැසුණා.
දෝනි ඔහුට පහළට පැමිණෙන්නැයි කියූ බව අශ්වින් ශ්‍රීසාන්ත්ට කිව්වා.
එවිට ශ්‍රීසාන්ත් පෙරලා ඇසුවේ ඔබට තනිව වතුර ඇදිය නොහැකිද යන්නයි.
ශ්‍රීසාන්ත් තමන්ගේ ඉල්ලීම වෙනත් ආකාරයකින් වටහා ගෙන තිබෙන බව අශ්වින්ට වැටහුණා.
තමන් දෝනි ට කිසිවක් නොකී බවත්, එය හුදෙක් ඔහුගේ උපදෙසක් පමණක්ම බවත් අශ්වින් ශ්‍රීසාන්ත් ට පැහැදිලි කළා.
පසුව ශ්‍රීසාන්ත් පහළට පැමිණෙන බවට පොරොන්දු වූවත්, විනාඩි ගණනාවක් යනතුරුම පහළට පැමිණියේ නැහැ.
ඉන්පසුව අතිරේක ක්‍රීඩකයා ලෙස අශ්වින් ට පැවරුණු රාජකාරිය වූයේ හිස් ආවරණයක් (Helmet) කඩුලු රකින්නාට ගෙනයෑමටයි.
තරගයේ උණුසුම මැද දෝනි ට ශ්‍රීසාන්ත් අමතකව ඇතැයි අශ්වින් සිතූවත් දෝනි එවැනි නායකයෙක් නොවෙයි.
හෙල්මටය ලබා ගනිමින් දෝනි යළිත් ඇසුවේ ශ්‍රීසාන්ත් කොහිද යන්නයි.
අශ්වින් තමන් පණිවිඩය ලබා දුන් බවත්, ඔහු තවම පහළට පැමිණ නොමැති බවත් දෝනි ට කිව්වා.
දෝනි නිහඬ වුණා.
ඊළග පන්දු වාරයේ දී අශ්වින් ට යළිත් කැඳවීමක් ලැබුණා. එය හුදෙක් අවශ්‍යතාවයකට පවා පණිවිඩයක් සන්නිවේදනය කිරීමට බව අශ්වින් ට වැටහුණා.
ඒ මොහොතේ දෝනි බොහෝ සංසුන්ව සිටිනු අශ්වින්ට පෙනුණා.
නමුත් සංසුන් දෝනිගෙන් අශ්වින්ට ලැබුණේ ඔහු බලාපොරොත්තු වූ උපදෙසක් නොවෙයි.
“එක දෙයක් කරන්න, රංජිබ් සර් (කළමණාකරු) ලඟට ගිහින් ශ්‍රී මෙහෙ ඉන්නේ අකමැත්තෙන් බව කියන්න. ඔහුට හෙට දිනයේම ඉන්දියාවට යන්න ටිකට් වෙන් කරන්න කියන්න”
නායකයා වශයෙන් සිය උපදෙස් ඒ මොහොතේම පිළිනොගත් නවකයා ට මහේන්ද්‍ර සිං දෝනි සැලකූවේ එලෙසයි.
කෙසේවෙතත් අශ්වින් මේ පණිවිඩය කළමණාකරුවාට කීමට පෙර ශ්‍රීසාන්ත් ට කිව්වා.
ඔහුගේ ඉහමොල රත් වූයේ එවිටයි.
ඉතාම ඉක්මණින් ශ්‍රීසාන්ත් සුදානම් වී පහළට ආවා.
එපමණක් නොවෙයි, ඊළග වතුර විරාමයේ දී වතුර රැගෙන පිටියට දිවගියේ ඔහුයි.
එනමුත් දෝනි ඔහුගෙන් වතුර ලබා ගත්තේ නැහැ.
ඒ වෙනුවට ඔහු යළිත් අශ්වින් කැඳවූවා.
සිය පණිවිඩය කළමණාකරුට ලබා දුන්නා දැයි ඇසුවා. ඒ මොහොතේ සිය නායකයාගේ දැඩි ස්වරය ඉදිරියේ තමන් අසරණ වූ අශ්වින් සිය චරිතාපදානයේ ලියා තිබෙනවා.
පසුව ශ්‍රීසාන්‍ත් නායකයාගෙන් සමාව ගත්තා. යළිත් එවැන්නක් සිදු නොකරන බවට කණ්ඩායම ඉදිරියේ පොරොන්දු වුණා.
එම සිදුවීමෙන් පසු තරගාවලියේ ඉදිරි තරග වලදී හෝ දෝනි නායකත්වය දරන තුරුම කිසිඳු අතිරේක ක්‍රීඩකයෙක්, කණ්ඩායමෙන් වෙන්ව හුදකලාව සිරීමට උත්සාහ කළේ නැහැ.
ඔවුන්ට ශ්‍රීසාන්ත් ගේ ඉරණම මතක තිබුණා.
අතිරේක ක්‍රීඩකයන්ට ක්‍රීඩා නොකළත්, තරගයක් නැරඹීමෙන් බොහෝ අත්දැකීම් එක් කරගත හැකියි.
තනතීරු වල හැසිරීම, ප්‍රතිවාදී ක්‍රීඩකයන් සහ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටාවන් මැනවින් අධ්‍යනය කිරීමට ක්‍රීඩා විවේකාගාරය කදිම නවාතැනක්.
එම අත්දැකීම් යම් දිනක ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී බොහෝ වටිනවා. දෝනි ඒ බව දැන සිටියා.
දෝනි ගේ දැඩි ප්‍රතිපත්තියෙන් ඉන්දීය නවකයන්ට ලැබුණු දයාදය එයයි.
නායකයෙක් යනු මෙවැන්නෙකු යැයි නිශ්චිතවම විග්‍රහ කළ නොහැකියි.
මන්ද රජ පවුලකින් ප්‍රංශ පාලනය උදුරා ගනිමින් සමස්ත යුරෝපයම යටත් කර ගැනීමට සිය හමුදාව මෙහෙය වූ නැපොලියන් අධිරාජ්‍යයා, සාමාන්‍ය පවුලක ඉපදුණු, ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙක්.
නමුත් නායකයෙකුට සිය අනුගාමිකයන්ගේ ගෞරවය දිනා ගත හැකි විය යුතුයි.
අවශ්‍ය මොහොතෙහි ඔවුන් පාලනය කළ හැකි විය යුතුයි.
නායකයෙකු යනු ශ්‍රේෂ්ට පෞරුෂයක් විය යුතුයි. ආදර්ශයක් විය යුතුයි. අවශ්‍ය මොහොතේ මෘදු වීමටත්, අවශ්‍ය මොහොතේ දැඩි වීමටත් නායකයෙකුට හැකි විය යුතුයි.
මෘදු විය යුතු මොහොත පිළිබඳවත්, දැඩි විය යුතු මොහොත පිළිබඳවත් නායකයෙකුට ඉවක් සහ වැටහීමක් තිබිය යුතුයි.
මහේන්ද්‍ර සිං දෝනි ගෙන් උගත හැකි පාඩම එයයි.