ටිම්රාන් කීර්තිගෙ “සඳ හැදුණ හැටි” ගැන වෙනම මාතෘකාවක් ඔස්සේ පොඩි සටහනක් ලියන්න ඕනෙ.
ඔහුගෙ කවිවල තියෙන කවිකම් කෙටිකතාවල වචනවල, යෙදුම්වල, වැකිවල තියෙන එක පුදුමයක් නෙමෙයි.
ඒ නිසා ඔහුගෙ කතා ආකර්ෂණීයයි. ඇතැම් වෙලාවක කෙටිකතාවකට අවශ්‍ය නැති තරම් කාව්‍යමයයි කියල කියන්නත් පුළුවන්. මට නම් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි, මොකද ඒ කවිකම් කරදයක් වන තරම් අධිකතර සේ භාවිත නොවන නිසා.
මම කියන්න කැමති ඒ කාරණේ නෙමෙයි. ටිම්රාන්ගෙ කතාවල එන ආශ්චර්යාත්මක යථාර්ථවාදය ගැන. ඒ යෙදුම මම මුලින්ම භාවිත කළේ 2004දී . මැජික් රියලිස්ම් හඳුන්වන්න.
මේ පොතේදි ටිම්රාන්ගෙ මැජික්මය යථාර්ථවාදය හැදිල තියෙන්නෙ මෙහෙමයි. ඔහුගෙ කතාවලදි අපිව අරන් යන්නෙ කථාමය ලෝකෙකට. අ වර්ල්ඩ් ෆුල් ඔෆ් ස්ටෝරීස්. (A world full of stories) ඔහුගෙ කතාවලට කටකතා, ජනකතා, ජාතක කතා ආදී අතථ්‍ය සිද්ධි හෙවත් තාත්ත්විකව ගත්තොත් අදහන්න බැරි සිද්ධි එන්නෙ හරිම ආකර්ෂණීය විදියට. ටිම්රාන්ගෙ පරිකල්පන ලෝකෙ තාත්ත්වික-අතාත්ත්වික කියල දෙයක් නෑ. ඔක්කොම කතන්දර.
ඔහුගෙ පොතේ දිගම කතාවෙ මෙහෙම වැකියක් එනවා: “සඳසිරිව කතා මධුරේ ගිල්ලමින් මදුරසිංහ අකුරු වක්කඩට පැන්නා.”
ටිම්රාන් අපට කරන්නෙත් මදුරසිංහ සඳසිරිට කරන වැඩේම තමයි.
එක කතාවක් තියෙනවා හර්කියුලිස් කියල. ඒ හර්කියුලිස් බයිසිකලයක් ගැන. තාත්තගෙ හර්කියුලිස් බයිසිකලේ නැති වෙනවා.තාත්තා ඒකට කතා කරන්නෙ පුතා කියලා. මේ ඉන්ධන අර්බුදේ නිසා හදිසියේ ඇති වුණ පාපැදි ප්‍රේමයක් නෙමේ ඒ. එහෙම මිනිස්සු ගම්වල හිටියා.
බයිසිකලේ නැති වුණ එක ගැන කතා කර කර ඉද්දි ඒක අහසින් මිදුලට වැටෙනවා. ඒක ගෙනත් අත අරින්නෙ ගිරව් රංචුවක්. පන්සලේ පෙරහැරේදි ගස්ලබු ගෙඩියකුත් ගහගෙන පැදන් ගිය බයිසිකලේ අහවල් තැන නවත්තලා තියෙද්දි ගිරව් රංචුවක් ගස් ලබු ගෙඩිය කන්න ඕනෙ නිසා බයිසිකලේම උස්සං අහසට ගිහින්.
දැන් මේ කතාව අපිට කියන්නෙ ගිරවෙක්. ඇත්ත ගිරවෙක් නෙමෙයි. මේ තාත්තගෙ මුණුබුරා පොතක ඇන්ද ගිරවෙක්. ඒ ගිරවට පණ ඇවිත්.
මේ තමයි ටිම්රාන්ගෙ මැජික්. කතාව ඇතුළෙ මේවා හොඳට ගැලපෙනවා. ඒ ආශ්චර්යාත්මක යථාර්ථවාදය අපට පෙන්නන පෘථුල චිත්‍රය කුමක්ද? ඒ මොහොතට ජීවිතයේ, සමාජයේ, සංස්කෘතියේ අර්ථවත් හරස්කඩක් අල්ල ගන්නෙ කොහොමද? මේවා ටිම්රාන්ට විතරක් නෙමෙයි අපි කාටත් හිතන්න තියෙන ප්‍රශ්න.
මේ විදිහෙ ආශ්චර්යාත්මක ආඛ්‍යාන ප්‍රයෝග කීප තැනකම තියෙනවා. ඒ කතා නැවත නැවත කියවන්න පුළුවන්. ඊටී චිත්රපටියෙ බයිසිකලේ අහසට නගින හැටි වැඩිහිටි වයසෙදි වුණත් ආයෙ ආයෙ නරඹන්න වයස පනහ පැනලත් මම ආසයි.
මෑතකදි අපි හුඟක් දැකල නැති කාව්‍යමය විස්තර මේ පොතේ තියෙනවා.
“ආකාස කැන්වසේ දඟ දාන යෝධ සරුංගලය, මත් ලෝභී ගම සීයෙක් වගේ වැඩි කලබලයකින් තොරව දෙවුර දෙපැත්තට වැනුවා. සුළං හුම්කාරය ළදරු නැළවිලි වාරමකට පෙරළෙද්දි, ජේත්තුකාර සරුංගල් යෝධයා සරුංගල් බබෙක් වෙලා අලස නිදි ලීලා පෑවා.
… බබා නිදි… කියා ස්නේහ රසයෙන් රාග රසයට අගුළු අරින තරුණ මවක සිහි ගන්වමින්, සුළං සුරඟන ඔයිල් පේපරය මත සරාගික සරසරයක් නැංවුවා…”
කෙටිකතාකාරයාට කවිකමින් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ කවිකම ආඛ්‍යාන කලාව සහ තේමාත්මකය වෙත හරියට හික්මවා ගන්න ඕනෙ කියා හිතෙනවා. ඇතැම් වෙලාවට තරුණ කෙටිකතාකරුවන් වාක්‍ය තලයේ කරන සෙල්ලම් වැඩියි. අපි ඒ තලයට පෘෂ්ටීය වියමන කියමුකො. ඒකෙ හුඟක් ඝනට සෙල්ලම් කළොත් අපිව ඒ වාග් ක්‍රීඩා දැලේ හිරවෙනවා. සුදර්ශන සමරවීරගෙ පොතේ, නිශ්ශංක විජේමාන්නගෙ ඉස්සර කතාවල, ඔය ප්‍රශ්නෙ මට තිබුණා. ෆෝ වට් කියල හිතෙන ඝනකම්වලින් එච්චර වැඩක් නෑ.
ටිම්රාන්ගෙ කතා හුඟක් කෙටි නිසා එහෙම හිරවෙන්නෙ නෑ.
අපේ ආර්ථික අර්බුදය කොච්චරද කියනවා නම් පිටු 71ක මේ පොත රුපියල් 690ක්. බාටා සෙරෙප්පු වගේ පේන්න දාපු මිලක්. පිටු 85ක් වන සහන් කසීරගෙ පොත රුපියල් 600ක්. හැබැයි ටිමාගෙ පොතේ තියෙන ඩොමාගෙ චිත්‍ර ටිකේ තියෙන මැජික් රියලිස්ම් මාරම මාරයි. ඒ වර්ණ චිත්‍ර වෙනුවෙන් අර වැඩි මිල ගෙව්වට කමක් නෑ. හැබැයි ඉතින් මේ වගේ මිල ගණන් එක්ක පොත් කර්මාන්තෙට වැඩිදුර යන්න නම් බෑ.
ලියනගේ අමරකීර්ති