“….කවියේ පරමාර්ථය සංදේශනය නම් එසේ සංදේශනය විය යුත්තේ සමස්ථ කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවැනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න බැලූ බැල්මට පැහැදිලි කිරීම පෙනෙනවාට වඩා දුෂ්කරය. මේ කරුණ තවදුරටත් පැහැදිලි කිරීමක් එලියට් එම රචනාවේදීම කරයි. කවියක් විඳින්නෙකු වශයෙන් අප අත් විඳින්නේ කවියාගේ අත්දැකීම නොවේ. එය එසේ විය යුතුද නැත. එහෙත් අවසාන වශයෙන් විඳින්නා විඳින දෙයෙහි කවියාගේ අත් දැකීමට කිසියම් ඥාතීත්වයක් පෙන්වයි….”
( ටී එස් එලියට් හා නව කවිය පි. 147)
ආරියවංශ රණවීරයන්ගේ ‘ටී එස් එලියට් හා නව කවිය’ නම් කෘතියෙහි එන ඉහත සඳහන කවිය යනු කුමක්ද හඳුනා ගැනීම සඳහා සපයන පිටුවල ඉමහත්ය. සාමාන්‍යයෙන් නව කතාව, කෙටි කතාව වැනි අනෙකුත් සාහිත්‍ය ශානරයන්හි ඇති පොදු විදීම් සිමාව කවිය තුළ දි හදුනා ගත හැක්කේ ඉතාම අල්ප වශයෙනි. කවියෙහි අර්ථ දැනෙන්නකි. හැඟෙන්නකි. පෙරළා අර්ථ කතනය කිරීමට අසීරුය. කවිය තුළ වන උත්කෘෂ්ට චමත්කාරය වන්නේ ද එයයි.
“ මට දුර ද මල් පිපෙන හදවත” ප්‍රියංකර නිවුන්හැල්ල සහෘදයාගේ හය වන කාව්‍ය ග්‍රන්ථයයි. 2001 වර්ෂයේ දී “සමනල කන්ද” කාව්‍යාවලියෙන් පටන් ගත් ඔහුගේ කවි මග නිරන්තර හැදෑරීම සහ කවිය අත නොහැර වැළඳගෙන සිටිම තුළින් වඩ වඩාත් ඔප මට්ටම් වෙමින් පවතින අයුරු හඳුනාගත හැකිය. ඔහුගේ අභිනව කාව්‍ය ග්‍රන්ථයේ දි ඔහු දෛනික සමාජ දේශපාලන කාරණා විෂය කර ගැනීම කෙරෙහි දක්වන උනන්දුවට වඩා වැඩි උනන්දුවකින් යුතුව මිනිසාගේ සමස්ථ පැවැත්ම කෙරෙහි දක්වන ඇල්ම හා බැල්ම වැඩි බව කැපී පෙනෙන කරුණකි.
කෘතියෙහි හමු වන පළමු වන කවිය “ සැඳෑ කල්පනාවක්” කියවන්නිය ළයෙහි දැඩි බරක් ඉතිරි කරන කවියක් යයි සිතේ. නමුත් ඒ සඳහා ඔහු භාවිතා කරන්නේ සරල බස් වහරකි. දැන් ඇය ඔහු අසල නැත. නමුත් අතිතයේ දිනෙක තම ආ දවසක සිට වු අඹ ගසේ පත් හෙමීට සුළගේ සෙලවෙයි. ඒ ළබැඳි මතකයන්ය.
වැටට ඈතින් පැළ වුණු
අතු පතර විහිදෙන මල් ගස්වල
අඳුරු සෙවණැලි වැටෙයි
සැඳෑකල දැන් මිදුලට
වැටට ඈතින් පැළ වුණු මේ මල් ගස්වල සෙවණැලි කුමක් විය හැකිද? හැරත් ඒ අඳුරු සෙවණැලි වැටෙන්නේ ‘සැඳෑ කල දැන් මිදුලටය’. කාලය ඉක්ම ගොසිනි. ඉක්ම ගිය කාලය යම් දෙයක් ශේෂ කොට ඇත.
අතිත මතක නිහඬ ව
සෝ බර ව පවසන
ස්ලීපින් සෝලජර්ස් කදු වැටිය මත
තවම රන්වන් පාටය
ඉැස ගිය හිරු එළිය
(සැදෑ කල්පනාවක් – පි.1)
ඇය අඹ ගසක් බවට රෑපාන්තරණය වන විට ඔහු ස්ලීපින් සෝල්ජර්ස් කදු වැටිය ලෙස රෑපාන්තරණය වී ඇති සෙයකි. නමුත් ඇය නික්ම යන්නට මත්තෙන් ශේෂ කළ හිරු එළිය තවමත් රන්වන් පැහැයෙන් යුක්තය. කවියාගේ රූපක නිර්මාණයේ ප්‍රබලත්වය ඉස්මතු වන කවියක් මෙන්ම සමස්ථ පැවැත්මෙහි ඇති අස්ථිර බව දෙස උපේක්ෂාවෙන් බලා සිටින ලෙස ඉල්ලා සිටින කවියකි. ‘බොහෝ කලකට පසු ගමේ වැව ළඟ’, ‘ඔබ නික්ම ගිය පසු’, ‘මල් පිපෙන හදවත’, ‘මතක’, වැනි කාව්‍යයන්හි මිනිස් ජිවිතයේ දී අප අත්විඳින වෙන්වීම්, සමුගැනීම් තුළින් උපදින ශෝකය හා හිස්කමත් එසේ වුවද ඉන් කම්පා නොවී ඒ තත්වයන් උපේක්ෂාවෙන් දරා ගැනීම සඳහා ඇති සුදානමත් ඉස්මතු කර ඇත. විශේෂයෙන්ම ‘මතක’ වැනි කවියක දි වෙන්වීම්, සමු ගැනීම් මගින් අති කරන සාංකාව මෙන්ම ඒ සඳහා බලපාන සමාජ දේශපාලන වට පිටාවන් පිළිබඳ ඉඟි කිරීම්ද එකට මුහු කිරීම තුළ කවිය විචිත්‍ර සංරචනාවක් බවට පත් වන අතර පාඨක මනසට සමිප සමාජ දේශපාලන සන්ධර්භයක් තුළින් ජිවිතය දෙස පුළුල්ව බැලිමට අවකාශ සලසා ඇත.
ඉගිළ එන විට දුරු රට
රැගෙන ආවා මම
අප දෙදෙන එකම මේසෙක
ගංගා ලකුණු කළ
අපේ ලංකා සිතියම
මහවැලි කැළණි කළු
සමග ම
කරගියන් ආරු
එක ම මුහුදට ගලා යන
අපේ ලංකා සිතියම
(මතක – පි 38/39)
මෙම කෘතිය තුළ හමු වන ඇතැම් කවි ප්‍රබල දාර්ශනික මානයන් වෙත කියවන්නිය කැඳවයි. ‘මුවදොර සමීපයට ආ ගංඟාව’, තුරු හැර යන තුරුපත්, තුරු පත් හැර ගිය ඉපල් මත ලගින කපුටන්, අඳුර පීදිමත් සමගම ගඟ හැර යන වලාකුළු ඡායා, ගඟ ගඟ අතැර මුහුඳ හා බැඳදෙන තැන නැගෙන මුහුදේ රළ හඬ… මේ හැම සංසිද්ධියක්ම මේ විශ්වීයත්වයේ මහා පොදු සාධකයට නතුව ඇත. කිසිවකට ස්ථිරසාර පැවැත්මක් නැත. එක් සංසිද්ධියක් මගින් යමක් නිශේධනය වන්නා සේම යමක් සාධනය කරයි.
ඉපල් තුරු සෙවණැලි වට
නිහඬ ව ගලන ගං දියෙහි
දිසෙයි අවරින් නික්ම යන වලාකුළු
නුදුරුව ඇසෙයි
මහ මුහුද රළ නඟල හඬ
( මුවදොර සමීපයට ආ ගංගාව – පි. 22)
ගඟ ගඟ ලෙස පවතින්නේ මුහුද හමු වන තෙක් පමණි. ඉනික්බිති ගඟ අතුරුදන් වේද? ඒසේ වන්නේද නොවේ. නොවන්නේද නොව්. රස විඳිම සහ විඳීම තුළින් යමක් ප්‍රතිකතනය කිරීමේ අයිතිය කියවන්නිය සතුය. ඒ අයිතිය අනුල්ලංඝනීය ය.
පැවැත්මේ වර්තමාන මොහොත තුළ උපදින විසල් නිදහස සහ විචිත්‍රත්වය හසු කර ගැනීමට යත් දරනා අවස්ථාවන් කිහිපයක්ම මේ කෘතිය තුළ හමු වේ. එවැනි අවස්ථාවන් නිරූපනයේ නිවුන් සතු සමත් බව ඒ සඳහා තෝරා ගනු ලබන අවස්ථා මෙන්ම යොදා ගනු ලබන සාම්‍ය බස් වහර මගින් තව තවත් ඔසවා තබනු වැනිය. ‘දිය සහ ඇය’, ‘පුංචි මිදුලක සැදෑ කල’, වැනි කාව්‍ය රචනා තුළ මේ සමත්කම වඩාත් හොඳින් ඉස්මතුව පෙනෙයි. එවන් කවියක පේලි අතර සැරි සැරීම කියවන්නිය වෙහෙසට පත් නොකරන අතර තෝරා ගෙන ඇති සියුම් අවස්ථා වෙන් වෙන් වශයෙන් මෙන්ම සමස්ථයක් ලෙසද අර්ථ ජනනය කරයි.
වන ගහනයට නුදුරු
පුංචි නිවහනක
මිදුලක
ගෙවි යන සැඳෑ කල
වන මල් සුවඳ
රැගත් සුළඟක්
සියක් තලවල
හැසිරෙයි මා අස
උණ පදුර
මා සමග
ගැඹුරු පිළිසඳරක
දෙමළිච්චකු පැමිණ
මිදුලට
බත් ඇටයක් තුඩින් ගෙන
ඉගිළ යයි
අහසට
කළුවර සමග මතුවන
මහා තාරකා විශ්වයෙන්
බිඳක් ගෙන
කණාමැදිරියෙක් හැසිරෙයි
මා අවට
(පුංචි මිදුලක සැදෑ කල – පි. 37)
ඉහත කවිය වෙන් වෙන් වශයෙන් කෙටි කවි පහක් ලෙස කියවීම මෙන්ම සමුදයාර්ථයෙන් එක් කවියක් ලෙස කියවීම ද කෙනෙකුට අභ්‍යාස කළ හැකිය. ඒ එක්ඒක් කොටස මගින් ජනනය කරන අරුත් සමස්ථයක් ලෙස වඩා විසල් හැඟීමක්, හිස්කමක් පාඨකයා තුළ ඇති කරන ගමන්ම ඒ හැඟීම පිළිබඳ ලාලසාවක්ද එකවර ඇති කරයි.
ඔහු සමාජ දේශපාලන අත්දැකීම් වලින් ඉඳුරාම බැහැර වීමට වඩා ඔහුගේ කවිය තුළ සිදු වන්නේ සමාජ දේශපාලන කරුණු කෙරෙහි ඔහු ඔහුගේම විලාසයකින් අවධානය යොමු කිරීමය. ‘මහ රජ රුව’, පේරාදෙණියේ අයිවර් ජෙනිංග්ස් පිළිරුව අසල සිට’, ‘පංති කාමරයක දී’, බෝ සතෙකු එන තුරු මග බලන සා පිපාසිත සෙනග වැනි කාව්‍ය රචනාවන් මේ පවතින සමාජ දේශපාලන සන්ධර්භය පිළිබඳව තමා තුළ වන අතෘප්තියත්, කම්පාවත්, අපට පෙන්වයි.
මහරජ මේ අඹ ගසත්ඒ අඹ ගසුත් හැර
තවත් ගස් තිබේද?
එසේය ස්වාමිනි. ඒවා අඹ නොවේ.
මා මිතුර
නෑසේද? ඔබට
ඒ හඬ
(මහ රජ රුව- පි. 13)
සංස්කෘතික වශයෙන් ස්වොත්තමවාදී මහා සංස්කෘතික අනෙකා විසින් සංස්කෘතික විවිධත්වයට ඇති ඉඩ කඩ සීමා කිරීම පිළිබඳව කතිකාව වෙනුවෙන් සංස්කෘතික විවිධත්වයේ විචිත්‍රත්වය අප වෙත සමීපකරන ලද මහින්දාගමනය ප්‍රස්තූත කර ගැනීමට සිදු විම තුළ හෘදයාංගම විඳින්නෙකු තුළ කම්පාවක් මෙන්ම බුද්ධිමය හෝ තාර්තික විඳින්නෙකු තුළ උත්ප්‍රාසයක්ද ඇති වීම කවියාගේ වරදක් නොවේ.
නිවුන්ගේ මෙම කාව්‍ය ප්‍රයාමය තුළ බෞද්ධ සාහිත්‍යයේ එන අවස්ථා ගණනාවක්ම ප්‍රස්තූත කර ගනිමින් කාව්‍ය රචානා කිහිපයක්ම ලියවි ඇත. ‘සම්බුදු පිරිනිවන සහ අනඳ තෙර’, බෝ සතෙකු එන තුරු මග බලන සා පිපාසිත සෙනග’,’නොවැලපෙන අනද තෙර’, ‘ පිපාසිත බුදු හිමි’ වැනි රචනා ඉන් කිහිපයකි. මෙම කාව්‍යයන් අන්තර් පඨිතමය සම්බන්ධතාවයන් සිහිගන්වන අතර සපුරාම නූතන සමාජ දේශපාලන සන්දරභයෙන් බැහැර නොවන අතර ඒ පිළිබඳව ස්වයං සංවාදයක් ඇති කර ගැනීමට කියවන්නා පොළඹවන්නේ යයි හැඟේ.
ඇතැම් අවස්ථාවන් වලදී ජිවිතයේ ක්ෂුද්‍රමය අවස්ථා නිර්මාණයේ දි රණවීරයන් ගත් මගට නැකම් කියන කවි මගට දක්වන ඇල්ම ද තවත් විටෙක අවස්ථා නිර්මාණයේ දි නන්දන වීරසිංහයන් මෙන් බස හැසිරවීමේ මනා සංයමයද නිවුන්ගේ කවි මග තුළ දැකිය හැකිය. සමස්ථයක් ලෙස මේ කෘතිය තුළ වන වඩාත් වැදගත්ම දෙය පාඨකයාගේ සිතීම් විශ්වය පුළුල් කර ගැනිම සඳහා කෙරෙන ආරාධනයයි. ඒ නයින් මේ කවි මග ඉඳුරාම ජනප්‍රිය රූපවාහිනි වැඩ සටහන්වල උස් හඬින් ගායනා කොට අසන්නා පිනවන කවි මගෙන් බැහැර වන අතර පාඨකයා නිර්මාණකරුවෙකු බවට පත් කිරීමට වෙහෙසෙන කවි මගක් යයි සිතේ.
සෝමසිරි ඒකනායක