වර්ෂ 1992 – 1996 පැවති බොස්නියානු යුද්ධය කියන්නේ මේ ලෝකයේ තිබු යුද්ධයන් අතරින් කෲරතම යුද්ධයක් කිව්වොත් හරි. පාලකයන්ගේ තීරණයක් හමුවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඝාතනය වුණා. වර්ගවාදී, ආගම්වාදී යුද්ධය ලෝකයට ඉතිරි කරපු ඛේදජනකම මතකයක් තමයි “සරයේවෝ හී රෝමියෝ සහ ජූලියට්” කියන්නේ.
අද්මිරා ඉස්මික් සහ බොස්කෝ බ්ර්කික් යුවලගේ ආදර කතාවට වසර 09ක් ගෙවී යමින් තිබුණා. විශ්වවිද්‍යාලවල සමයේ සිටම එකම සිටි මේ යුවල සිය ජීවිතවල හොඳම සමය ආදරණීයව ගෙවා දමමින් සිටියා.
බොස්නියානු යුද්ධය ආරම්භ වුණාට පස්සේ බොස්නියා-හර්ස්ගොවිනා කියන රටේ තත්ත්වය එච්චර සුන්දර වුණේ නැහැ. ඉතාමත් සමගියෙන් ජීවත් වුණේ කතෝලික පිරිස් සහ මුස්ලිම් පිරිස් අතර විරසක ඇතිවෙලා ආයුද අතට අරන් මරාගන්න කටයුතු කළා. ජීවිතය එන්න එන්න අමාරු වෙන තැන බොහෝ රට වැසියන් තමන්ගේ ජීවිත වෙනුවෙන් පලා යන්න කටයුතු කළා.
බොස්කෝ කියන්නේ රෝමානු කතෝලික පවුලක තරුණයෙක්. අද්මිරා ඉස්ලාම් පවුලක කෙනෙක්. මේ ආදරයට මේ වර්ගවාදී ආගම්වාදී යුද්ධය වැට බඳිමින් සිටියා.
රටේ තත්ත්වය අමාරු වෙන තැන බොස්කෝගේ පවුලට තවත් රැඳීලා ඉන්න හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන් සර්බියාවට පලා යනවා. ඒ පලා යන අතරේ බොස්කෝගේ පියාව ඝාතනය වුණා. හැබැයි බොස්කෝට සිය ආදරය ගිනි ඇවිලෙන සරයේවෝ නුවර තනිකරලා යන්න හිත දුන්නේ නැහැ.
ඔහුට අද්මිරාවත් අරගෙන නැවත සර්බියාවට පලා යන්න ඕන වුනා. හැබැයි බොස්කෝගේ පවුලට වගේ නෙමෙයි, මුස්ලිම් පවුලක උපන්න අද්මිරාට ඒ කටයුත්ත පහසු දෙයක් වුණේ නැහැ. මොකද මුස්ලිම් ප්‍රජාවට එරෙහිව මහ මර්දනයක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ නිසා කිසිම කෙනෙක් උදව් කරන්න පෙළඹෙන්නේ නැහැ.
ඒ නිසාම මේ යුවල පුළුවන් තරම් මුදල් ප්‍රමාණයක් එකතු කරගෙන පලා යන්න ඕන දේවල් සියල්ලම හදාගත්තා. ඔවුන් පලා යාමට නියමිතව තිබුණේ මිල්ජකා ගඟ හරහා වැටිලා තිබුණු ව’බන්ජා පාලම හරහායි.
වර්ෂ 1993 මැයි මස 19 වනදා, සවස 05 ආරම්භ වෙමින් තිබුණා, අඳුර වැටීගෙන එද්දී පලා යන්න බලා හිටපු බොස්කෝ සහ අද්මිරා පාලමට පය තබනවාත් සමඟ සැඟවුණු වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් බොස්කෝට ක්ෂණික මරණයක් අත් වෙනවා. ඉන් සුළු මොහොතක් ගත වෙන්නට පෙර තවත් වෙඩි උණ්ඩයක හඬක් සමඟින් තරුණියකගේ විලාපය යුද්ධයෙන් විනාස වෙලා ගිය සෑම තැනකම රැව් පිළි රැව් දෙන්න ගන්නවා.
අද්මිරා ඒ වෙඩි පහරින් බිම වැටුණත් ඇය මිය ගියේ නැහැ. දැඩිව තුවාල ලැබූ ඇය තම පෙම්වතා ළඟට අපහසුවෙන් බඩ ගාගෙන යන්න පටන් ගන්නවා. පැය කාලක් පමණ ඇය දැඩි වේදනාවක් විඳලා තම පෙම්වතා අසළම අවසන් සුසුම් හෙලූ බව එදා සිදුවීම ඇසින් දුටුවන් පවසා සිටියා. මේ දෙදෙනාම මිය යද්දී 25 වන වියේ පසුවුණා කියලත් සඳහන් වෙනවා.
ඔවුන්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වෙන්න පෙර එම ස්ථානයේ බොස්නියානු හමුදා සහ සර්බියානු හමුදාවන් අතර ගැටුමක් ඇතිවෙලා තිබුණා කියලා සඳහන් වෙනවා. පාලමෙන් එගොඩ සහ මෙගොඩ ඒ නිසා හමුදාවන් දෙකක් රැක ගෙන හිටියා.
හැබැයි යුවල ඝාතනය කළ වෙඩි ප්‍රහාරය එල්ල කළේ කවුරුන් විසින්ද කියන දේ කාටවත්ම හොයා ගන්න හම්බ වුණේ නැහැ. වෙඩි වැදුණු යුවලට මොකද වුණේ කියලා බලන්න යන්නවත්, ඔවුන්ගේ සිරුරු ඉවත් කරන්නවත් කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මොකද ඊළඟ වෙඩි උණ්ඩය කොහෙන් පත්තු වෙයිද කියන බය හැමෝටම තිබුණා.
යුවලගේ සිරුරු දින 07ක කාලයක් පාලම මතම තිබූ බවට සඳහන් වෙනවා.
1992 වසරේ ඇරඹි යුද්ධය නිසා සිවිල් වැසියන් ලක්ෂයකට වඩා මිය ගියා, මිලියන 02කට අධික පිරිසක් අවතැන් වුණා, කාන්තාවන් 50,000කට අධික පිරිසක් දුෂණය වුණා. 1996 දී එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් සාම ගිවිසුමක් හරහා මේ යුද්ධය නිමා කරනවා.
බොස්කෝ සහ අද්මිරාගේ සිදුවීම ලෝකයා දැනගන්නේ ඒ වෙලාවේ බොස්නියානු හමුදා සමඟ සිටි මාධ්‍යවේදියෙකු නිසා. අර මිය ගිය ලක්ෂ ගානක පිරිස ඇතුළේ තවත් කී දෙනෙකුගේ කතා යට යන්න ඇතිද……..
සංජේ රණවක