ජිවිතය මිහිපිට නරකාදියක් කරන්නට හවුල් වෙච්ච දේශපාලයන් සහ උන්ගේ අන්තේවාසික බලවේග නැවත තමන්ගෙ නැවතුණ ගමන අරඹන්න පිඹුරුපත් හදද්දි කවියො තමන්ගෙ කාලයේ ජීවිතය නිර්මාණ හරහා විමසන්න උත්සාහ කරනව. අන්තිමටම පිරිහිච්ච වර්තමානයක කරදාසි නිකිණි වගේ වෙච්ච කාලෙක ඉතාම අසීරුවෙන් හරි කවි පොතක් කරන්න නිර්මාණකරුවෙක් දරන උත්සාහය නොතකා නොහැරිය යුත්තක්.
සැමරුමක ඇත්තේ මරණවල සුවඳ විතරයි
හැම රැයක දැක්කෙ සැමරුමට පෙර දෙයයි
කන සිදුරු වෙන්නෙ ලතෝනිය ඇහිලයි
දිවි පිදුම වූයේ ආදරේ කරන උන්ට විතරයි
මේ වීරයෝ ගෙදර ආ පසු ඉතිරිවන සළකුනු නමින් සහන් හෙවා ගමගේ තරුණ කවියා ලියන දිගු කවියක අරඹුම. වීරත්වය උත්කර්ෂයට නංවන එක බරපතල අසනීපයක් බවට පත්වෙච්ච සමාජයක නියම ස්වරූපය සහන් කවියට කැටිකරගන්නව. ආදරය කරන උන්ට වීරයන්ගේ මරණය දිවි පිදුමක් වෙන අනෙක් අයට එය වැදගත් නොවන යථාර්තය සහන් හසු කරගන්නෙ එහෙම.
මේ සිංහාභිමානය ගැන සහන්ගේ කියවීම. අබිමානය කියමින් දවස ගානේම හෙලක් දිගේ පහලට ගමන් කරනා මිනිස් අහිනකගේ අභිමානය යනුම මුළාවක්, රැවටීමක් බව වටහා ගන්න සමාජයට තවත් බොහෝ කල් ඇවැසි බව පෙනෙන වර්තමානයක සහන් සිංහයාගේ සැබෑ රුව දිගහරින්න උත්සාහ ගන්නව.
සෙල්ලමක් නෙවෙයි සටන් සීමාව වෙනුවෙන්
ජීවිත කාලෙම සටන්
උනුන් සටන්
පසුව දරු මුණුබුරන් සටන්
සටන් යනු සාමයත් හැකිලෙන
සියවස් සටන්
අවුලුවන සිංහ සටන්
උන් අභිමානයෙන්
සිංහයෝ අභිමානයෙන්
සහන්ගේ හැම කවියකටම තේමාව වෙන්නෙ ධනවාදයේ විය ගසට තදින්ම ගෙල හිරවුන සමාජයක විලාපයන්ගේ විවිධ නිරූපණයන්. තමනගේ මහන්සියට නිසි වැටුපක් නොලැබීම අකාලයේ වියැකෙන ජීවිත, කඩා වැටෙන අපේක්ෂාවන්, මිනිස් ආත්මයේ බොල් ගිගිරුම, බිඳී විසිරෙන මිනිස් සබඳතා වගේ විවිධ කලාපයන් සිය කවියෙන් යළි කියවන්න සහන් උතසාහ ගන්නව.
පෙම සහ සරාගී පැටලුම අතර වෙනස කතකට හරියටහ වටහ ගන්න වෙන අවස්ථාවක් එන්නෙ ඇය අවිවාහකව ගැබ් ගත් විට. ඒ ඇගේ ජීවිතයේ බරපතලම කඩා වැටමට මුහුණ දෙන අවස්ථාව. සහන් එවන් මොහොතක් ගැන අවධානය යොමු කරන කවියක නම විකුම්… මං බඩින්.
සිහිනයේ දුර පෝය හඳකට ළංවෙලා පෙම් කළ හැටී
මේ ඔයාමද ඒ විකුම් බල හීනවී ගෙන යන හැටී
සාදයේ දොර වහන වේලේ රෑ වුනත් මං නිදි නැතී
මේ විකුම් අර පෙම් කලේ දෙනයන තෙමූ ආදර සුදී
සහන් හේවා ගමගේ කවියාගේ කවි තුළින් අනුරාගික කවියෙකුගේ නිම් හිම් නැති උනන්දුව ගලා හැලෙනව. ඒත් ඒ උනන්දුවම ඔහුගෙ කවියට යම් යම් බාධා පමුණුවනව. ඔහු තමන්ගෙ කවි තුළ දිගින් දිගටම භාවිතා කරන යෙදුම් නොයෙක් විට කවියේ අර්ථය නිසි ලෙස මතු වෙන්න බාධා පමුනුවනව. ඒ වෙනුවට කවිය දුරවබොධ කරන්න මග සලසනව. සහන් තමන්ගෙ කවියට හොඳ සංස්කරණ ශිල්පියෙකු වගේ ලංවෙලා ආයෙම බලනව නං මේ කවි මීට වඩා ඔප දැමූ නිර්මාණ බවට පත් කරන්න පුලුවන්. ඇතැම් තැනෙක ඔහු තමන් ගොඩ නගන රිද්මය බිඳ දානව. ඒ බිඳී යාම කවිය අලංකාරයක් නොවී පාඨකයට අවහිරයක් වෙනව. වඩා හොඳ කවි කියවන්නෙක් වගේම තමන්ගේ ලිවීම් යළි යලී විමසන්න තරම් ඉවසිලිවන්ත බවක් ඇති කරගන්න හැකි නම් සහන්ට කවියෙක් හැටියට තමන්ගේ දායකත්වය වඩාත් පලදායීව දෙන්න හැකි වේවි.
චූලානන්ද සමරනායක