ද්‍රව්‍ය බල කවිය සහ සමනල කවුළු තටු චිත්‍රය

ඔබ-මම

පරිපථ නගරයක
කුහුඹු වේගයෙන් යන
විදුලියකි

නගර පරිපථයක
විදුලි වේගයෙන් යන
කුහුඹුවෙකි.

මේ චලක ප්‍රමුදිත ලුණුවිලගේ ‘සමනල කවුළු තටු’ නම් කවි පොතෙහි එන මා කැමති කෙටි කවියක්. එක විදිහකට කවිය කියන්නෙ භාෂාව, භාෂාවෙ දෛනික තර්කණයෙන් ගලවා අලුත් භාෂා තර්කණයක පිහිටුවීමක්. කොටු කිරීමක්. එහෙම නැත්තම් භාෂාවෙ කොටුවෙන් භාෂාව මුදවාගෙන විවෘත කලාපයක භාෂාව පිහිටුවීමක්. ලුණුවිලගේ ඔහුගෙ කවියෙදි භාෂාව, භාෂාවේ සංස්කෘතික සීමාවෙන් එළියට ගෙන ‘කාව්‍යමය විද්‍යුතය’ සදන සැටි ගැන ඉහත කෙටි කවිය නිදසුනක්. මේ කෙටි කවියෙන් එන පේළි හයෙන් සන්නිවේදනය වෙන නිශ්චිත අර්ථයක් නෑ. මේ ඔබ-මම කියන්නෙ පෙම්වතුන් දෙදෙනෙකු වෙන්න පුළුවන්. මේ ඔබ සහ මම විස්තර කෙරෙන වචන සංඝටනය කර ඇති ආකාරය මගින් මේ දෙදෙනා ගැන වචනයට පෙරළිය නොහැකි අමුතු සංවේදනා ටිකක් රසිකයා තුළ ඇති කෙරෙනව. මේ සංදිග්ධතා ගුණය කවියෙකු සතු බුහුටිකමක් බව අපි කවුරුත් දන්නව.

මේ කෙටි සටහන ලියන්නෙ ලුණුවිලගේ වාග් සංඝටනය මගින් කවිය උපදින සැටි ගැන එක් අදහසක් විතරක් කියන්න. සමනල කවුළු තටු කවි පොත පළමු වර කියවමින් ඉද්දි මට සිතුනේ ලුණුවිලගේ මේ කවි පොතේ කරන්නේ චිත්‍ර ශිල්පියෙකු පැන්සල්, පිනසල් සහ වර්ණ මගින් කැන්වසයක කරන සිත්තම්කර්මයකට සමාන කාර්යයක් කියල. ඩොමිනික් චන්ද්‍රසාලි වැනි කවියෙක්ද වාග් චිත්‍රකර්මයේ ශූරයෙකු බව ‘කාලමය සිතුවිල්ලක් වූ මිනිත්තුව’ වැනි පොතකින් අපි දැක්කා. හැබැයි ලුණුවිලගේ චිත්‍ර කර්මය චන්ද්‍රසාලිගේ සිතුවම් කලාව හා සම එකක් නෙමෙයි.

සමනල කවුළු තටු කෘතියෙහි කවි නැවත නැවත කියවන විට ලුණුවිලගේ කරන්නේ ද්‍රව්‍ය බල චිත්‍ර ඇඳීම වැනි යමක් බව මට හිතෙන්න ගත්තා. සාමාන්‍යයෙන් ද්‍රව්‍යබල ඇඳීම කියන එක අපි කවුරුත් දන්නව. විවිධ වස්තූන් කිහිපයක් එක ළඟ එක තියල ඒ ද්‍රව්‍යයන්ගේ ත්‍රිමාණ බව මතු වෙන සේ සමස්තතාවක් නිර්මාණය කරනව. ආලෝකය සහ පර්යාලෝකය මෙහිදී විශේෂයි. ලුණුවිලගේ කවි කොහොමත් ත්‍රිමාණ කවි ජාතියක් තමයි. ඒ වගේ මේ කවි හුදු ද්‍රව්‍ය බල චිත්‍ර වගේ දෘෂ්‍ය කලාවක් විතරක් නෙමෙයි. ලුණුවිලගේ සිය කාව්‍යමය ද්‍රව්‍යබල චිත්‍රය වෙත සජීවී බව ගෙනෙනව. සාමාන්‍යයෙන් ප්‍රාසාංගික කලා විදිහට අපි අඳුනගන්නෙ වේදිකා නාට්‍ය, සංගීත හෝ නර්තන ප්‍රසංග, බැලේ සහ ඔපෙරා වගේ සජීවී කලාවන්. අපි දන්නවා ප්‍රාසාංගික කලාවක ප්‍රාසාංගික බවේ මූලිකම ලක්ෂණය තමයි සජීවී බව. වාග් කලාවන් වන කවිය, කෙටිකතාව සහ නවකතාව වැනි සාහිත්‍ය කලා වෙත මේ ප්‍රාසාංගික බව සෑහෙන අඩු බවත් අපි දන්නව. ඒ වගේම චිත්‍ර, මූර්ති වැනි දේ අයත් වෙන්නෙ දෘෂ්‍ය කලා හැටියට. ඒවායෙහි සජීවි බවක් නෑ. කලා ශානර අතර මේ බෙදුම් ඉරි අදහස් සමග ලුණුවිලගේ කවි කියවන විට ඒ කවිවල මේ කලා ශානරවල මුහුංවීමක්දෝ මේ කවිය කියා සිතෙන තරම්. ලුණුවිලගේ ද්‍රව්‍යබල කවිය යනු චිත්‍ර කලාවේ ඒ නමින් එන සිතුවම් වර්ගයම නොවේ. ඔහු තම චිත්‍රය තුළ ද්‍රව්‍ය සමග අද්‍රව්‍ය එක ළඟින් තබනව. එකිනෙකට වෙනස් යථාර්ථ තලවල ද්‍රව්‍ය-නිර්ද්‍රව්‍යය එකිනෙකට සම්මුඛ කරවනව. කලවම් කරනව. ඔහුගෙ කවිය වෙත ප්‍රාසාංගික බව උනා එන්නේ මේ අලුත් විදිහේ ද්‍රව්‍යබල ප්‍රතිනිර්මාණය මගින් තමයි. මේ ඔහුගෙ කෘතියෙ එන එක කවියක්.

චරිත තුනක්

පෙම්වත් නළල් තල දොළහක
වේගවත් කෙටි හාදු දොළහක්
මිනිත්තුවකදි තබමින්
“කිස් එකක් නම් මොනවද?”
උච්ඡ ස්වරයෙන් අසයි,
තත්පර කටුව

කනට කර මුමුණමින් පෙම් බස්
යුවතියන් දොළහකට පැයකදී
තොල් සපා රිදවා සනසවා
උණුසුම්ම දිගු හාදු රඳවා
ආඩම්බයෙන් ඇවිදියි,
මිනිත්තු කටුව

සිපගැනුම් හිමිකම් නැති වග
කිසි දිනෙක කිසිවෙකුට නොකියා
මුහුණ බර කරගෙන පොළොවට
ඉබි ගමන් යයි නිහඬව,
පැය කටුව

ඉහත කවියටත් වඩා විවිධ වස්තු එක තැනෙක තබමින් ද්‍රව්‍ය බල චිත්‍රයක් සදන සැටිත් ඒ ද්‍රව්‍යබල චිත්‍රය වෙත පණ පොවමින් කාව්‍යමය ප්‍රාසාංගිකත්වය සමග අර ද්‍රව්‍ය මිනිස් ලෝකය තුළ ක්‍රියාකරවන සැටිත් සමනල කවුළු තටු කෘතියේ නිතර හමුවෙනව. නමුත් ලුණුවිලගේ සිතුවම්කාර, ක්‍රීඩාශීලි කවියෙහි මට පෙනෙන එක් ඌනතාවක් තමයි ඔහු ද්‍රව්‍යබල එකලස්කරණය මගින් නව කාව්‍යමය යථාර්ථ තලයක් සදන තරමටම එය අලුත් අර්ථමය තලයක පිහුටවන්නේද යන ප්‍රශ්නය. සාපේක්ෂ වශයෙන් අපි මේ සටහන ආරම්භ කළ කවියෙහි පැනෙන අර්ථමය සංදිග්ධතාව හොඳයි. නමුත් මෙහි එන බොහෝ කවිවල අර්ථමය සෞන්දර්ය අර කවිකාර නවතාවට තරම් නෑ කියලයි මට හිතෙන්නෙ. අක්කරෙයිපත්තු අක්ෂරවල සිට සමනල කවුළු තටු වෙත එන විට ලුණුවිලගේ කවිය තාක්ෂණික වශයෙන් සෑහෙන පිම්මක් පනින බව මේ පොත ගැන ලියල තිබුණු ඇතැම් අය වගේම මටත් හිතෙන දෙයක්. නමුත් ප්‍රබල ද්‍රව්‍යබලමය කවියට අර්ථමය මාධූර්යය මුසු කරන කවි කලාව ලුණුවිලගේ තවදුරටත් සොයා යා යුතුයි කියල මට හිතෙනව.

මේ යට එන්නෙ ලුණුවිලගේ කවි පොතේ එන රූපකමය ගුණයෙන්ද අනූන, සංදිග්ධාර්ථමය අර්ථමාධූර්යයෙන්ද හැඩ වූ මම කැමතිම කවියක්.

රතු සිනහ කැබලිති

ගලා යන එක් නදී ඉවුරක
වැදී සෙලවුණ ඔරුපාරු ඇත
බිඳී ගිය එක් ඔරු කඳක් මත
පළුදු වුණු රතු සිනහවක් ඇත

ඈත දවසක ඈත ගෙනගිය
හබල අතහැර නුහුරු විලසට
දියට එබෙමින් බලන්නේ කිම
සිනහ කැබැලිති දියෙහි වැටිලද

ගංදියට යට නිධන්ගත වුණ
බෝල වුණ තිරිවාන කැටයට
පතුලෙ එහෙ මෙහෙ වීසි වනු මිස
මතුපිටට එන අවසරක් නැත

දිය පහර සිඹ විඩාබර වී
හෙම්බත්ව ඒ දෙසම බල බල
ජලජ තුරුවල බර දරාගත්
කළල් මඩ ඇත ටොන් ගණන් බර

ඉතින් කැළැලැති රතු සිනහව,
තවත් දියටම එබෙන්නේ කිම
සහස් දේවල් රහස් කරගත්
සිනහ කැබලිති දියෙත් නැතිවද?

සුදර්ශන සමරවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy