“මට අර්ජුනව දිරවන්නෙ නැහැ”, අර්ජුන දඟ පන්දු නිදැල්ලේ හරින කෙනෙක් නෙවෙයි, ඔහු හතර අතේ නෙලන්න ගත්තා

මොන තරම් වැඩ තිබ්බත් වෝනි ගැන නොලියා ඉන්න බැහැ.ඒ ඔහු අපේ පරම්පරාවේ ක්‍රිකට් ඇම්ම විචිත්‍රවත් කළ පුරාවෘත්තයක් නිසා. කාලයක් තිස්සේ ක්‍රිකට් පිටියට ජීවය දුන් මේ අහංකාර, ජේත්තුකාර සුද්දා නික්ම ගිය බව දැන ගත්ත ගමන්ම ක්‍රිකට් ලෝකයම මොහොතකට කඩා වැටුණු බව කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි.

ෂේන් වෝන් ගැන ලෝකය කතාකරන හැම මොහොතකම අපේ මුරලි ගැනත් කියවෙනවා. ඔහු ලබාගත් විකට් මල්ල දෙවැනි වන්නේ මුරලිට පමණයි. ක්‍රිකට් ලෝකයේ දිගටම තිබ්බ විවාදයක් තමයි ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වෝන්ද? නැත්තං මුරලිදරන්ද? කියන එක. අපි අපේ එකා උඩින් ඉන්නවට කැමති වුණත් වෝන්ගේ විකට් මල්ලේ බර ටිකක් හෝ වැඩි බව බොහෝ විචාරකයන් කියනවා
වෝන්ගේ හදිසි වියෝවත් එක්ක බොහෝ මාධ්‍යකරුවන් මයික්‍රෆෝන උස්සාගෙන මුරලිගේ ගෙදරට දිව්වා. මුදුනා වෙන්න ඔවුන් දෙදෙනා අතර තිබුණු සීතල යුද්ධය කවුරුත් දන්න නිසා ඒක පුදුමයක් නෙවෙයි. තමන්ගේ ආදරණීය සතුරා අහිමිවීම ගැන මුරලි කම්පාවට පත්වී ඇති බව එහිදී පෙනී ගියා.

වෝන් ගැන එවැනි ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා කතාකරද්දී මම කෙළින්ම ගියේ අර්ජුනගේ Twitter එකට. මොකද අර්ජුනයි වෝනුයි අතරෙ තිබුණු පටලැවිල්ල ක්‍රිකට් ලෝකයට රහසක් නොවන නිසා.මේ දෙන්නා දිගටම කොක්ක එල්ලන් හිටපු හැටි ඉංග්‍රීසියෙන් ලියවී තිබෙනවා. පිටියේදී හා ඉන් පිටතදී පවා තමන් හා වෝන් අතර ඒ තරම් ඇයි හොඳැයියක් නොතිබුණත් වෝන් කියන්නේ අතිවිශිෂ්ඨ ක්‍රීඩකයෙක් බව අර්ජුන අද කියල තිබුණා.

දැන් කාලෙ අපේ ක්‍රිකට් ගැන ලියන්න ගියොත් වැඩිමනත් කරන්න වෙන්නේ නරි නාවන එක තමයි. උන්දැලා බියර් ගහපුවා, කොටු පැනපුවා, ගෑණු ගෑණු කෙහෙවලු පටලවගත්තුවා ගැන වාද කරලා ඩේටා පුච්චගන්නවට වඩා අර්ජුනලා වෝන්ලා අතර තිබුණු පටලැවිලි ගැන ලියන එක හරිම සුන්දරයි.
මේ දැවැන්තයන් දෙන්නා එකිනෙකාට නොරිස්සූ බවත් එකිනෙකා කෙරෙහි ද්වේෂයෙන් පසු වු බවත් සුවාජි මුස්තාෆිගේ ලිපියක සඳහන් වෙනවා.
වෝන් යනු උපායශීලී පන්දු යවන්නෙක්. තමන්ගෙ අතට උඩපන්දුවක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඔහු අර්ජුනට කෙටි පන්දුවක් යැව්වා. අර්ජුන ඉදිරියට පැනලා බුලට් එකක් වගේ පන්දුව හතරේ සීමාවට යැව්වා.වෝන්ගේ සුදු මූණ කලු වෙලා ගියා. ඊළඟට අර්ජුනගෙ පපුවටත් උඩින් Full toss එකක් යැව්වා. අර්ජුන ඉදිරිපාදයට ඇවිත් ඒකට දැවැන්ත හයේ පහරක් එල්ලකළා.

වෝන් මේ ඕවරය යැව්වේ එසේ මෙසේ තරඟයක නෙවෙයි. ඒක 1996 ලෝක කුසලානයේ අවසාන තරඟය. අර්ජුන ඒ හයේ පහර ගහලා තමන්ට ඔලොක්කුවට දිවත් දික්කරපු බව වෝන් පසුව කියා තිබුණා.

වෝන් හා අර්ජුන ගැටුම ඒ දෙන්නාට පෞද්ගලික වූ බවත් දෙදෙනා එකිනෙකාට මුලිච්චි වෙන්න ඒ තරම් කැමැත්තක් නොදැක්වූ බවත් මුස්තාෆි ඒ ලිපියෙන්
කියනවා.
1999 දී Time සඟරාවට වෝන් අර්ජුන ගැන තමන්ගෙ හැඟීම් කෙළින්ම කියනවා.

“මට මිනිහව දිරවන්නෙ නැහැ.අපි අතරෙ කොහොමත් ඇයි හොඳැයියක් නෑ.අපි එකට කන්නෙ බොන්නෙත් නෑ.”

“වෝන් කියන්නෙ නිකම් බොරුවට උඩ දාපු (Overrated) පන්දු යවන්නෙක්. එයාට කවදාවත් Roll model කෙනෙක් වෙන්න බැහැ.”වෝන් ගැන අර්ජුන කිව්වේ එහෙමයි.

ෂේන් වෝන් පසු කාලයක Shane Warne’s Century කියල පොතක් ලියනවා. එහිදී ඔහු තමන් කැමති පිළිවෙලට ක්‍රීඩකයන් 100 දෙනෙකු ලැයිස්තුගත කරනවා. හැබැයි ඒකෙ 93 වැනි ස්ථානයේ අර්ජුනව තියන්න වෝන් අමතක කරන්නෙ නැහැ.

“මට අර්ජුනයව අල්ලන්නෙ නැති බව හැමෝම දන්න නිසා දත්මිටි කා ගෙන මිනිහව 100 ඇතුළෙ තිබ්බා හැබැයි 101ට දාන්න ක්‍රමයක් තිබ්බනම් ඕකව තියන්නෙ එතැන”

“අර්ජුන ගැන මට තිබුණ මූලික ගැටළුව තමයි ක්‍රිකට් ක්‍රීඩාව ගැන එයාගෙ තිබුණු ආකල්පය. එයා ක්‍රිකට් නීති රීති කැඩුව කියල මං කියන්නෙ නෑ.හැබැයි එයා ඒව තමන්ට ඕනෑ ඕනෑ විදියට නවල ගන්නවා.”

එක පාරක් එයා Umpire ගෙ තීරණයකට එකඟ නොවී Team එක අරන් එළියට යන්න හැදුවා. තව පාරක් වැරදි තැනක හිටන් ඉන්නවා කියල Umpire ට බාල්දියක් ඇද්දා.එතැනින් අයින් වෙන්න කියලා Umpireට ඕඩර්ස් දුන්නා. බොරු ලෙඩ පෙන්නලා එයා වෙනුවට දුවන්න Runners ලා ගෙන්නනවා. ඒ විතරක් නෙවෙයි මිනිහ බැටළුවෙක් ගිලලා වගේ ඉන්න ගමන් Team එකේ අනිත් කොල්ලන්ට කියනවා අපිට අතට අත දෙන්න එපැයි කියලා.”

“Captaincy එකට ආපු කාලෙම සමහරු අර්ජුනව පුංචි නැපෝලියන් කෙනෙකුට සමාන කළා.මං හිතන්නෙ මිනිහත් ඒක ඔලුවට ගත්තා.ඒකනේ හොස්ස ලඟින් මැස්සො යන්න බැරි ගාණට ඉන්නේ. ලංකාවෙන් පිට එක ජාත්‍යන්තර ක්‍රීඩකයෙක්වත් එයා ගැන හොඳක් කියනවා මං අහල නැහැ.”

2003 දි තහනම් උත්තේජක භාවිතා කිරීමක් නිසා වෝන්ට අවුරුද්දක් විතර ගෙදර තපින්න වුණා. වෝන් ඒ ගැන කිව්වේ තමන්ගෙ මූණෙ Double chin අයින් කරලා ලස්සන කරන්න අම්මා මොකද්දෝ පෙත්තක් දීපු බව.

අර්ජුනට බැටළුවෙක් ගිල්ලා වගේ මහතයි කිව්වාට වෝනුත් පඟරනැට්ටෙක් නෙවෙයි. තමන්ගේ ක්‍රිකට් කැරිස්මාව පාවිච්චි කරලා පිටියෙන් පිටතදී අර්ජුනව බාල්දු කරන්න තමයි වෝන්ට උවමනා වුණේ.කොහොම හරි මේ දෙන්නම උන්දැලාගේ බඩගෙඩි තමන් යන ගමනට බාධාවක් කර ගත්තෙ නෑ කියල මුස්තාෆි කියනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේදී ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳවැට්ටවීමට නොහොබිනා වචන භාවිතා කිරීමට ඉංග්‍රීසියෙන් Sledging යන වචනය භාවිතා වෙනවා. ෂේන් වෝන් කියන්නේ මේ Sledging සෙල්ලමේ කෙළපැමිණියෙක්. වෝන්ගේ මේ උප්පරවැට්ටි වලට තිතටම අහුවුණ ක්‍රීඩයෙක් තමයි දකුණු අප්‍රිකාවේ ඩැරිල් කුලිනන්.වෝන්ට පිංසිද්ධ වෙන්න මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නත් ඩැරිල්ට සිදුවුණා. ඩැරිල් විතරක් නෙවෙයි ඉන්දියාවෙ සව්රව් ගංගුලි, එංගලන්තයේ නසාර් හුසේන් වගේ බලකණුත් වෝන්ගෙ Sledging පන්දු හමුවේ කඩාවැටුණා.

ඒත් අර්ජුනනම් ඒ ගිණිබෝල වලට අහුවුණේ නැහැ.අර්ජුනට කොකා පෙන්නන්න ආපු වෝන්ට හැරෙන තැපෑලෙන්ම ලුණු ඇඹුල් ඇතිව අහගන්න වුණා කියලයි මුස්තාෆි කියන්නේ.

වෝන්ගේ තරඟ තහනම 2004දි ඉවත් වුණා. ඒත් එක්කම වගේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයකට පැමිණියා.
ඒ වෙන කොට අර්ජුන ජාත්‍යන්තර ක්‍රිකට් වලින් ඉවත්වෙලා අවුරුදු 4කුත් ඉක්ම ගිහින්. එතකොට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීවරයෙක්. කොළඹ පැවති මාධ්‍ය හමුවකදි පරණ හතුරා හමුවෙන්න අදහසක් නැද්දැයි මාධ්‍යවේදියෙක් වෝන්ගෙන් අහනවා.

“අර්ජුන… එයා මේ වෙන කොට කිලෝ 150ක්වත් වෙලා ඇති.අනිවාර්යයෙන්ම මිනිහා බැටළුවෙක් හරි එළුවෙක් හරි ගිලලා !!”
වෝන් ඇඟට පතට නොදැනී කිව්වා.

අර්ජුනත් ඒ වගේ දඟ පන්දු නිදැල්ලේ හරින කෙනෙක් නෙවෙයි ඔහු AP මාධ්‍යවේදියෙකු ගෙදරට ගෙන්න ගෙන හතර අතේ නෙලන්න ගත්තා.

“මං බැටළුවෙක් ගිල්ලත්, එළුවෙක් ගිල්ලත් එයාට මොකද? ඒක එයාට අදාල නැහැ. හැබැයි මම එයාට එකක් කියන්න ඕනෑ. අපි ඔය කොහෙවත් තියෙන පෙති ගිලලා වැඩේ පත්තුවුණාම ඒක අම්මගෙ පිටින් යවන එව්වො නෙවෙයි”

“මං කොහොමත් එයාව මුණගැහෙන්න තමා ඉන්නේ. මිනිහ ආවොත් මගේ ඡන්ද ටිකටත් කෙළවෙන බව දන්නවා. ඒත් එයාව මගේ ඡන්ද රැස්වීමට ගෙන්න ගන්නයි ඉන්නෙ.”

කොහොම හරි ලාංකිකයන් වෝන් ගැන හරියටම දැනගත්තේ සුනාමිය ආවට පස්සේ. මේ අහංකාර ක්‍රීඩකයා ඇතුළේ හිටපු මනුස්සයා එළියට ආවෙ අපි දුකට කරදරයට පත් වූ වෙලාවෙ. අපේ උන්දැලා සුනාමි සල්ලි පිල්ලි ගහන වෙලාවක මේ දුෂ්ඨයා අපට අත දිගහැරලා ආධාර කළා. ඔහු තමන්ගේ 500 වැනි ටෙස්ට් කඩුල්ල ලබාගත්තේ ගාල්ලේදී. සුනාමියෙන් විනාශ වූ ගාලු ක්‍රීඩාංගනය හදන්න වෝන් විසින් ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරපු බව කියවෙනවා.

ෂේන් වෝන්, ශ්‍රී ලාංකිකයන්ගේ ආදරණීය හතුරා ඔබට සුබ ගමන්!

ශානක ලියනගම

2022 මාර්තු 6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...