නොනිමි අනිමිසලෝචනය
තනි ගසක්, ගස් දෙකක් දෙස බලා හිඳින තරුණ ජීවිත සාහිත්‍යයට අරුමයක් නොවේ. බෝ ගසේ සිට තව තව ගස් අතරින් පොප්ලර් ගස් දක්වා දුර ගොස් මෙවර, මැයි මාර ගසක් වෙත සාහිත්‍යය පැමිණ ඇත. ගස දෙස බලා හිඳින තරුණියක්(සංචරණි) සහ ඒ තරුණිය දෙස බලා හිඳින තරුණයෙක්(සමිධ), මතු නොව ඔවුන් දෙදෙනාගේ බලා හිඳීම දෙස බලා හිඳිනා අනෙක් තරුණයෙක්(රචකයා) සහ මේ සියලු බලා හිඳීම් දෙස බලා හිඳිනා අප(පාඨකයා), මැයි ගසේ මල් පිපෙනා තැන සිට ගස කපා හෙළන තැන දක්වා බලා හිඳීමේ කතාව, ‘මැයි මාර ප්‍රසංගය’ ලෙස හැඳින්වූවොත් එය වරදක් නැති.
ප්‍රබන්ධය තුළ ප්‍රබන්ධ නොවනය
ප්‍රධාන කථකයා අපට කියන කතාව එකකි. එය ප්‍රබන්ධයයි. සමිධ ඒ දෙබස් අතරේ කථකයාට කියාදෙන, නිදසුන් සහිත ලිවීම් ක්‍රම, අලංකාර විධි, නිර්ණායක, භාෂාවේ/පෙම් කතාවක රස සෑදෙන සැටි ගැන කියන ඉගැන්වීම තව එකකි. එය ප්‍රබන්ධ නොවනයයි. මේ දෙක ම එක ම කතාවේ එක්ව තැබීම, නවකතාවයි – ආදරබර නවකතාවක් ලියන හැටි ගැන කතුවරයෙක් ලියූ විචාර වීමසංන ග්‍රන්ථයක දළ සැකිල්ලක කොටසකුයි එක්ව ඇනුවාක් වැන්න. නමුත් ඒ ලිවීම් කොටස නිර්මාණශීලී යි. කතුවරයා(මහින්ද ප්‍රසාද් මස් ඉඹුල) එක ම මොහොතේ දී, ලියන්නාත් විශ්ලේෂකයාත් වෙයි.
සඳරේණු පත්තරයේ සිට ඇන්ටනාව දක්වා
ඇන්ටනා ගැන අපට පළමු ඉඟිය ලැබෙන්නේ, සමිධගේ සාහිත්‍ය පොත් ගොඩේ ඇති ‘ ඇන්ටනා සාදමු’ නම් පොතෙන් ය. එය මෙසේ උපුටමු.
“එතැන වූ පොත් අතරින් මං සමහර පොත් අතට ගෙන බැලුවා. කව්සිළුමිණ, ගුත්තිල කාව්‍යය, රන්රෝස, කෑම වට්ටෝරු සියයක්, විරාගය, ප්‍රබුද්ධ, පද්‍යාවලී, විසිතුරු මල් වගාකරමු, ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය, පංච තන්ත්‍රය, පැළ බද්ධ කිරීම, නව කවි සරණිය, පළිගැනීම, ඇන්ටනා සාදමු, නොමියෙමි…”
මේ මුළු කතාවේ ම ලස්සන ම තැන මට, මැයි ගහේ මල් පිපී වැනීම හෝ තරුණියගෙ කෙහෙරැල් සුළඟට ලෙලදීම නොව, මුල දී පත්තරේ සිටි මිනිසා අවසානේ රූපවාහිනිය දක්වා පනින පිම්ම යි. නොඑසේනම්, තරුණයන්ට ආදර කතා ලියන්න කියාදීමේ සිට ඒ පෙදෙසේ මිනිසුන්ට රූපවාහිනී බලන්න වුවමනා ඇන්ටනා සෑදීම දක්වා සමිධ විතැන් වීමයි. මෙය “ඉතිහාසයේ අඳුර ඉරන්නට සමිධ විසින් ම ටෝච් ගහන” මොහොතයි.
‘මැයි මාර ප්‍රසංගය’ කතාව පටන්ගද්දී සිටින සමිධ තරුණයාගේ දිවිය ගතවෙන්නේ ම, මැයි මාර ගහ බලන්නට එන තරුණිය වෙනුවෙන් පමණයි. ඇය එන දෙස බලන්නටත්, ගල් අතුරන්නටත්, මල් සිඳ දමන්නටත්, නැවත බොරු මල් සාදා ගහේ පළඳන්නටත් ගතකරන කාලය සෑහෙන තරමේ දීර්ඝ එකකි. ඔහු ඒ කාලය තුළ කරන අනෙක් යමක් හෝ පසුබිම් විස්තරයක් හෝ කතුවරයා නොකියයි. කාලය ගෙවෙයි. අන්ධ වූ අයෙකු සේ ඔහු ඈ පතා ම සිටී. අදහස කියන්නේත් නැත.
සමිධගේ නිවසට එන තරුණයාත් සමඟ කතාව බෙදාගැනීමෙන් පසු, ඔහුගේ හිතේ තිබුණු ආතතිය අවසන් වෙයි. සමිධ කතාව අවසන් වෙද්දී, සෘජු තීරණ ගන්නා අයෙකු ලෙස පෙනෙයි. ඒ අර තරුණයාට එවන ලිවුම්වල තානයෙනි. මැයි ගස කපා දැමුවාට ඔහුගේ ශෝකයක් නැත, දැන් තමන්ම සිටවූ ගසක් ඇත. දැන් ඔහු අර තරුණිය ගැන හිත හිත ඉන්නවා වෙනුවට ආදායමක් ලබාගැනීමේ මාර්ගයක් ලෙස ඇන්ටනා සාදයි. ඇන්ටනාවත් සඛේතයකි. අවසානයේ නිහඬ වීරයා ආදරේ හිතේ තියාගෙන සමුගන්නා සේ, සමිධ මිය යන බව අපට කතුවරයා දන්වන්නේ, ආදරය මෙවැන්නක් ය යන්නක් කියා කම්පාත්මක ආදර්ශයක් වන්නට ඇඟවීමට විය හැකිය.
මේ නිසා, හෘදයංගමෙන් මත්වී අතරමං වී තෝන්තුවෙමින් හිඳීමේ සිට තම සිත තමා විසින් ම සාදාගෙන සිහි එළවාගෙන ප්‍රායෝගික පොළොවට බැස දියුණුවීමේ අඩියට ගොඩවීම යනු සමිධ මියයාමට පෙර අත්පත් කරගත් හොඳ ම දෙය ලෙසින් නම්කළ හැකිය.
බුලත්, පුවක්, කොත්තමල්ලි, ඉඟුරු, කරාබුනැටි, නෙල්ලි…
කතුවරයා තමා විසූ සියවසේ පදාසයක් මෙයින් එළන බවට සැකයක් නැත. කතාවේ කියවෙන සමාජ පන්තියත් අවධානයට ගත යුතු කොටසකි. කඳුගැට අතරින් යන කෝච්චි පෙනෙන සුන්දර පරිසරයත් කතා තේමාවට අවශ්‍යයි. එහෙත් මැයි මාර ප්‍රසංගයේ පුනරුච්චාරණය වන එක ම දෙය නම්, සුවඳ දැනෙන හැඟෙන බව කියන සෑමතැන දී ම, කුළුබඩු සියල්ල නිතර නිතර පැවසීමයි. සුවඳ වර්ග නිතර කියැවීම අවම වූවා නම්, අදාළ තැනට පමණක් යෙදෙන සේ සුමට වූවා නම් කදිමය.
භාෂා දීපක
නවකතා ලියුවාට තමා කවියෙකුත් බව අපට මතක් කරදෙන්නට මෙන් මස්ඉඹුල මැයි මාර ප්‍රසංගයේ භාෂාවට කවි රිද්ම, අනුප්‍රාසාත්මක වැකි, දීපක වැනි වදන් අමුණයි. මේ කතාව පණගසා එන්නේ එයිනි. හුදු දෙබස් හා සංවාදාවලියක් ලෙස පෙනෙන කතාව ආසාවෙන් කියවාගෙන යන්නට සිතෙන්නේ ඒ බසෙහි රස නිසයි. සද්ධර්මරත්නාවලිය ලියූ ධර්මසේන හිමිගේ උපමා ගැන කියන කොටස මැයි මාර ප්‍රසංගයට එළියකි. අලංකරණ සැකසෙන ලියවෙන සැටි ගැනත් නොයෙක පතපොතෙහි නම් ගොත් ගැත් සඳහන් නිසා, කියවන්නන් මෙහි කියැවෙන එක පොතක් හෝ සොයා කියවන්නට සිතුනොත් ඇති.
මස්ඉඹුලගේ මුද්‍රාව නැතිනම් අනන්‍යතා සලකුණ ගම යි. ඔහු සිය ලකුණ අපට ලෙහෙසියෙන් අමතක වන්නට ඉඩ නොහරී. එසේ වූ නමුත්, මැයි මාර ප්‍රසංගයේ එක් එක් මිනිස් ජීවිතවල කුදු මහත් පසුබිම් පසුතල නිමැවුම් ද සිතුවිලි ධාරා රටා ද කාලය යුගය ආදිය ද කතුවරයා තවදුරටත් එහි එරී බැස දිග හැර හනා වනා ලිවී නම් අගනේය යන්න අපගේ අදහසයි.
කෙසේවුවත්, ආදර ගඟුල සහ හුදකලාව යන තේමාව මේ මොහොතේ සමාජයේ පවත්නා සැටි බලා, සුදුසු තැන දී එල්ලය බලා හීය පතිත කිරීම අතින්, මස්ඉඹුල පාඨක නිලයක් අල්ලා ඇති බව අවසාන වශයෙන් කිව යුතුය.
ඩිල්ශානි චතුරිකා දාබරේ