ඇතැම් කවි පින්තාරු කළ සිතුවම් වැනිය. ඒ සිතුවම්වල විවිධ වර්ණයන් දකිමින් සැඟ වි ඇති වර්ණයන් සොයමින් ආනන්දයේ ගිලෙන්නට පුළුවන. තවත් කවියක් තුළ ඇත්තේ දාර්ශනික සංවාදයකි. ඒදිනෙදා මානව පැවැත්මේ වෙනස් වෙනස් කලාපයන් කෙරෙහි ඇස යොමු කරවමින් ආනන්දයේ ගලි සිටීමට පුළුවන. නැවත ඉන් මිදී පියවි ලොවට පොළා පැන දෛනික යථාව සමග පොර බදන්නට පුළුවන. ජයන්තගේ විවාහකයාගේ ප්රේමප්රාප්තිය
කියවූ විට හිතට දැනෙන්නේ එවන් හැඟීමකි.
නව යොවුන් වියේ මතක තරම් ජීවිතයට ලාලසාව කැඳවන අන් යමක් නැතැයි විටෙක සිතෙයි. ඇතැම්විට ඒ මතකයන් ළය පාරයි. ඒ පෑරීම වුවද ආනන්දයක් යයි ජීවිතය මුහුකුරා යන විට දැනෙයි. මන්ද එය විෂ පෙවු ඊතලයක් මෙන් ළයෙහි ඇමිණි ඇති බැවිනි. හදවත පණ නගන තාක්කල් ඒ මතක නොමියෙයි.
මොහොතකට ඒ ඇස් හමුවුණි
විෂ ඊ තලය ළයේ ඇමුණුනි
වුණු නොවුණු ගානට
මන්දස්මිතය පිපි නැවතුණි
හිනා ඇති නැති මූණු
නවාතැන්ගෙන විටෙක නික්මුණි
බිතු සිතුවමක් ගානට
සීගිරි ලෙන් බෙයදෙක
කාලයටවත් මැකිය නොහැකිව
ඒ හිනාව එතැන සුරුකුණි
කවි සිතුවිලි ගලන සදාකාලික සිතුවම
අමතක නොවන මතකය
තාමත් තාමත් ඇය එතැන
( ඇය හා වෙනත් ගැහැණු)
අම්මාගේ පස්සෙන් වැටී ළමා කාලයේ ගියා වූ අපමන ගමන් සවාරිවල මතකය දම්පාට හැන්දෑවක් තමටම මනරම්ය. එකල්හි ජීවිතව කෙතරම් කටුක වුවද ඒ කටුකත්වයේ සෞන්දර්යයට අපි තවමත් අරුමැසිව පෙම් නොකරන්නේ දැයි ඔබට ඔබෙන්ම ඇසියි හැකිය. ජිවිතය වියපත් වී දෙපා වාරු නැති වී ජීවිතයේ හිරු බැස යාමට ආසන්නව ඇති නමුත් ළමා කාලයට සහ අම්මාගේ ආදරය සමග තිබූ අනුරාගික බැඳීම අහිමි වීමේ ශෝකය හිතට කඩා වදින විට නැවත මනසින් ළමා මහල්ලෙකු වනු මිස අන් පිහිටක් වේද
…………………
……………….
මේ ළඟකදි ඉඳලා
පොඩි එකෙක් අඩ ගසයි
වරක්වත් ඒ ගමන ගොස් එන්න
අම්මා පස්සෙන් වැටී
පන් නෙලන ගමනට
දම් පාට හැන්දෑවෙ
වැදී පංගොල්ලට වැවේ බැස
කී…ස් හඬින් නෙලන විට පන් ගසක්
සුදු පාට බඩය ඉදිරෙයි
(දම්පාට හැන්දෑව)
‘තවමත් ඇය ළඟ ඇසුන හිස්’ වැනි කවියක් මෙන්ම ‘ඉතිං තව හයියෙන් වහින්න’ වැනි කවියකදී ජීවිතයේ එකතරා දවසක ඔනෑ කෙනෙකු විසින් සිදු කර තිබෙන්නට හැකි ජීවිතයෙන් පලා යාමේ ශොකය සහ පශ්චත්තාපය දෛවෝපගත ලෙස නැවත මුණ ගැස්සවීමේ යථාර්ථය හා අප සම්මුඛ කරයි. ඉන් මිදි සිටීමට හෝ මග හැර සිටීමට සමතා කවුරුන් වේද. ඒය ඒ තරමටම දෛවෝපගත ලෙස අප ලුහුබඳිමින් සිටී. අද නැත්නම් හෙට ඔබ නොසිතනා තැනකදී ඔබ හසු කර ගැනීමට මාන බලමින් ඔහු කොතැන හෝ සැඟ වී සිටි. මිතුරනි පරිස්සම් වන්න.
ගැල්කරුව
සරු තන බිම මැදින්
පදවන්නෙහිය ගැල නුඹ
මා සයින් පීඩිතව මිරිකෙනාතර
මුහුණ ලා අරුණෝදයට
දුවනාතර කාලය කන්පත් නගා
කෙළි දොලන්
…………..
………….
කාලය වලිග නගා පොර පස් ලන
නාඹර නැඩ දෙනක්ව
සරණාතර
සැඳෑගොම්මන
මා
එකලාව
ගැල අදිමි
සියොළඟින් මද වැගිරෙනාතර
……………….
…………….
( රෑ වෙන්නට කලින්)
පීඩිතයාගේ ලොකය නිර්මාණය කරන්නට පීඩකයෙකු අනිවාර්රෙන්ම සිටිය යුතුය. වරෙක හේගල් කියා ඇති පරිදි වහල් හිමියා යනු වහලාගේ නිර්මිතයකි. තමා වහලෙකු යයි තමා නොහදුනනා තෙක්ම ඒ කාලකන්නි සහගත ඉරනමෙන් මිදෙන්නට කිසිවෙකු නොහැකිය. එබැවින්ම වහලා වහලෙකු සේ ගෙවන දිවියට ඒරෙහි කැරලි ගැසීම ආරම්භ නොකරනා තෙක්ම වහල් භාවයෙන් මිදීමේ සහිනය බොහෝ දුර ඈතය. වහලා, පීඩිතයා මේ තරමටම සිය වහල්භාවයට හා පීඩිතභාවයට පෙම් කරන්නේ මන්ද
ගැල්කරුව
නගා වස්දඬු රාව
ගයා සී පද
නොපාරනු මා සවන්
පාරනු මා ගත කෙවිටෙන්
එවිට මට හැකිය දුවන්නට වේගෙන්
( රෑ වෙන්නට පෙර)
මේ කවිය පුරාම මට නම් දැනෙන්නේ විශ්වීය බවකි. තමා පීඩාවට පත්කරන, තමාගේ ලාලසාවන් නොහඳුනන ගැල්කරු රැගෙන ගැල අදින මේ පීඩිත ගොනු වෙසෙන දේශය කිනම් දේශයක්ද. එය මේ අප වසන ලොවෙහි කුමන හෝ බිම් අඟලක් විය නොහැකිද? ඒ ඔබ විය නොහැකිද? ඒ මා විය නොහැකිද ?
ඒ අප විය නොහැකිද ?
ඉඳින් ජයන්ත කහටපිටිය සහෘදයාගේ විවාහකයෙකුගේ ප්රේමප්රාප්තියෙහි සංගෘහිත වු මෙවන් අතදැකීම් විඳගන්නැයි ඔබට ඇරයුම් කිරීමට මම මැළි නොවෙමි.
සෝමසිරි ඒකනායක
(අහස ප්රකාශනයක් මෙම පොත ගෙන්වා ගැනීමට, WhatsApp 077 729 6638 පණිවිඩයක් තබන්න)