තාවකාලිකව හෝ අවුකන පිළිම වහන්සේට පිටතින් චීවරයක් පොරවා තිබෙනු දැකීම කම්පනයක් වුණා.
මෙරට මහා සංස්කෘතියේත්, අප අතීත උරුමයේත් සළකුණක් අපිට නුහුරු, කෘතීම අයුරකින් දැකීම ශෝකයක්.
එහි තිබෙන ශාන්ත, හිත නිවෙන ගතියට හානියක්.
අවුකන පිළිම වහන්සේ ඉදිරියේ හිත නිවෙන්න, ශ්‍රද්ධාවක් ඇතිවීමට බෞද්ධයෙක්ම විය යුතු නැහැ.
අබෞද්ධයෙකු පවා මේ මහා නිර්මාණය ඉදිරියේ නිවෙනවා.
එතරම්ම මේ නිර්මාණය විශිෂ්ඨයි. ශාන්තයි. හිත නිවනසුලුයි.
නමුත් මේ ක්‍රියාව සිදු කළ පිරිස් විවේචනය කිරීමටත් මට හිත දෙන්නේ නැහැ.
මිනිසුන් මෙවැනි ක්‍රියාවන්ට පෙළඹෙන්නේ ඔවුන් සතු ශ්‍රද්ධාව සහ භක්තිය නිසයි.
සිතුවිල්ලකින් හෝ පිළිම වහන්සේට අගෞරවයක් කිරීමේ අදහසක් ඔවුන්ට නොතිබෙන්නට ඇති.
නිසල මහා කළු ගලක් මෙතරම් ශාන්ත, මනරම් බුද්ධ ප්‍රථිමාවක් ලෙසින් නෙළීමට භරණලා වැනි අතීත නිර්මාණකරුවන් පෙළඹෙව්වෙත් මෙවැනි ශ්‍රද්ධාවක්ම වන්නට ඇති.
ශ්‍රද්ධාව සහ භක්තිය හැරුනුකොට මිනිසුන් මෙවන් ක්‍රියාවන්ට පෙළඹීමට තවත් හේතුවක් තියෙනවා.
එනම් සෙස්සන්ට වඩා සුවිශේෂී, වෙනස් දෙයක් කිරීමේ ආශාවයි.
එයත් අතිශය පෘතග්ජන මිනිස් සිතුවිල්ලක්.
පින්දහම් කිරීමේ දී පවා මිනිසුන්ට මින්පෙර කිසිවෙක් නොකළ, සුවිශේෂි දෑ කිරිමට අවශ්‍යයි.
නිසල අවුකන පිළිමයට චීවරයක් පෙරවීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ වෙනස්වීමේ සහ කැපී පෙනීමට ඇති ආශාව නිසයි.
බෞද්ධ සංස්කෘතියේ එන කඨින චීවර පූජාව, මෑතකදී සංකීර්ණ උත්සවයක් බවට පරිවර්තනය වීමත් මේ මනෝභාවයට උදාහරණයක්.
මෙවැනි සිදුවීම් නිසා මිනිස් ශ්‍රද්ධාව හෝ පූජාවන් අවලංගු කිරීමට යෝජනා කිරීම අතාර්කික සහ අයුක්තිසහගත විහිලුවක්.
එනමුත් මෙවැනි පුද පුජාවන් සහ ශ්‍රද්ධාව විසින් මිනිසුන් පොළඹවන ක්‍රියා නියාමනය කළ යුතුය යන්නට තර්කයක් නැහැ.
කැපී පෙනීමේ සහ වෙනස්වීමේ ආශාව විසින් මිනිසුන් පොළඹවන දෑට සීමාවන් ලකුණු කළ යුතුය යන්නට තර්කයක් නැහැ.
ඒ සඳහා පෙරමුණ ගත යුත්තේත්, මග පෙන්විය යුත්තේත් මිනිසුන්ගේ ශ්‍රද්ධාව සහ පෘතග්ජන ආශාවන් ව්‍යාපාර අවස්තාවක් ලෙස නොදකින මෙරට මහා සංඝ පරපුර මිසෙක අන්කිසිවෙක් නොවෙයි.