මෙතෙක් වැඩිපුර කතාබහට ලක් නොවූ සුවිශේෂී කුලකයක් පිළිබඳා කඩතිර විවර කරන අපූරු කෘතියක් ලෙස “සාරි ඇඳපු පිරිමි” හඳුන්වා දිය හැකි ය. මෙය විෂ්ණු වාසු නම් ලේඛකයා තනිව ලියන ලද දෙවන කෘතියයි. ඔහුගේ පළමු කෘතිය වන්නේ “සිම්පල් සයිමන්” ය. එය කතුවරයාගේ දිවි සැරිය පදනම් කර ගත් එක හුස්මට කියවාගෙන යා හැකි රසවත් නිර්මාණයකි. එකී කෘතිය තුළ ද උඩින් පල්ලෙන් අතපත ගෑමට ලක්වන සමරිසි කුලකය පිළිබඳ ගැඹුරු ගවේශනයකින් පසුව එහි හතර මායිම් සලකුණු කිරීමක් ලෙස “සාරි ඇඳපු පිරිමි ” හඳුන්වා දීම වරදක් නැතැයි සිතමි.
සාරි ඇඳපු පිරිමි නවකතාවක් ලෙස හැඳින්වීම කෙතරම් යුක්ති සහගතදැයි මම නොදනිමි. එය නවකතා ආකෘතිය තුළ තැන්පත් කරන ලද සත්‍ය ගවේශනයක් ලෙස හඳුන්වා දීම වඩාත් සුදුසු බව මගේ හැඟීමයි.
මෙම කෘතියට වස්තු වී ඇති සමරිසි කුලකය සමාජය තුළ බොහෝ දුරට සඟවා තබනු ලැබූ කොට්ඨාසයකි. ඇතැම් විට එම කුලකය තුළ ජීවත්වන ඇතැමුන් තමාගේ එකී ජීව විද්‍යාත්මකව හා මනෝ විද්‍යාත්මකව සිදු වී ඇති සුවිශේෂී විභේදනය පිළිබඳ හීනමානයකින් පෙළන බවක් පෙනේ. නමුත් එය සඟවා තැබිය යුතු දෙයක් නොව අභිමානයට හේතුවක් ලෙස ගනිමින් එඩිතරව සමාජගත වූ පිරිස් ද සිටින බව මෙම කෘතිය අපට පෙන්වා දෙයි. මෙම කුලකයේ ඇතැම් අය විවාහක ය. ඇතැමුන් මහපාරේ ඇඟ විකුණා ජීවත් වන්නෝ ය. තවත් පිරිසක් රජකාලේ රජමැතිඳුන් සතුටු කළ වෛශ්‍යාවන් සේ ඉහළ පැළැන්තියේ ප්‍රභූවරුන් හා ධන කුවේරයන් සතුටු කරමින් වරප්‍රසාද ලබමින් ජීවත් වෙති.
මෙම කතාව ගෙතී ඇත්තේ අර්ජුන් නමැති සමරිසි තරුණයකු වටා ය. ඔහුගේ උපත ම අර්බුදකාරී ය. ඇතැම් දරුවන්ගේ උපත ගෙදරට ශ්‍රී දේවිය කැඳවනවා වගේ ම ඇතැම් දරු උපත් මූ දේවිය කැඳවන බව සමාජ සම්මතයයි. පරම්පරාව ගෙන යාමට එක් පිරිමි දරුවකු හැර ඉතුරු සියලු දරුවන් ගැහැණු දරුවන් විය යුතු බවට දැඩි අපේක්‍ෂාවකින් පසු වූ සුබ්‍රමානියම් අයියර්ට එකී ප්‍රාර්ථනාව සඵලකර ගැනීමට හැකි වූයේ නැත. දෙවැනි දරුවා ද පිරිමි දරුවකු වීමෙන් ඔහුගේ සිහින මාළිගාව කැඩී බිඳී සුණු විසුණු වී ගියේ ය. නිවසේ කැණිමඬල ගිනි ගත්තේ ය. නිවස තුළ වැඩ විසූ ශ්‍රී දේවිය පලා ගියේ ය. සීතාලක්‍ෂ්මී නම් ස්වාමි දියණිය යුග දිවිය තුළ හුදෙකලා වූවා ය. වසර අටක් පමණ කාලයක් ස්වාමියාගේ ශරීර ස්පර්ශයේ පහස විඳින්නට අවස්ථාවක් නොලැබ විප්‍රලම්භ සහගත ජීවිතයකට හුරු වීමට සිදු විය. සීතාලක්‍ෂ්මීගේ කාම ගින්න මෝදු වුව ද එය දිය යට ඔබාගත් රබර් බෝලයක් සේ රඳවා ගැනීමට ඇයට සිදු විය.
“අපරාදේ එයා තුවායක් දවටා ගත්තේ. දරුවො දෙන්නත් ඒ අයගේ කාමරවල වතුර මල් යටට පිටත් කළඑකේ කාට බය වෙන්න ද? අනෙක සතා සීපාවෙක්වත් අවසරයකින් තොරව මේ මන්දිරේ පස් පාගනව කියලයැ. මම කසාද ගෑනි වෙච්චඑකේ මම දැක්කයි කියල අහවල් අපහාසයක් ද? අබමල් රේණුවක චකිතයකින් තොරව එයාට ඇඳුම් සේරම උනා දමන්නයි තිබුණෙ.”
වසර අටක විප්‍රයෝගය හේතුවෙන් මෝදු වූ සම්භෝග තෘෂ්ණාව කොතරම් ද යන්න මේ තුළින් පමණක් වුව ද වටහා ගැනීම අපහසු නැත. ස්වාමියාගේ අංගෝපාංග දර්ශනය වීම පවා ඇයට මහත් සංතෘප්තියක් ගෙන දුන්නේ ය. තම බිරිඳගේ චිත්ත සංතානය තුළ සැඟවී ඇති කාම තෘෂ්ණාව තේරුම් ගත් සුබ්‍රමානියම් ද රූප සොබාවෙන් අග්‍රගන්‍ය වූ භාර්යාව පිළිබඳ තන්හාවෙන් යුතුව ඇඟ පිසලූ තුවාය මිරිකා සීතා ලක්‍ෂ්මියගේ අතට පත් කලේ ස්ම්භොගයට ආරාධනා කරන්නාක් මෙනි.
“සීතාලක්‍ෂ්මී තමන්ගේ මුහුණේ ඇඳී තිබුණු බය භ්‍රාන්ති බැල්ම ඒ තෙත තුවායෙන් පිසදා ප්‍රාණවත් වුණා. අට අවුරුද්දකට පසුව එළඹුණු ඒ තෘෂ්ණාධික රාත්‍රීයේ සීතා ලක්‍ෂ්මී තම හතළිස් අට වියැති ස්වාමි පුරුෂයාගේ සිරුර මත සිය දෙපා උක්කුටිකයෙන් සමබර කරටගෙන රතිපතිප්‍රියා රාගය මිමිණුවා”
අඹු සැමි යුවලක් අතර ඇතිවන ආරවුල් බත ඉදෙනකල් විතරයි යන කියමන සැබෑ වන්නේ කාමසම්භොගයේ ආනුභාවයෙන් බව මේ තුළ සපථකොට තිබේ. පවුලක ආස්වාදජනක පැවැත්ම සඳහා රතිය ප්‍රබල සාධකයක්ය යන සමාජ විවරණය ද සමරිසි ජීවන රටාව හා ඔවුන්ගේ චිත්ත සංතාපයන් ගේ රිද්මයාණුකූල සංචලනයට අමතරව මේ තුළ මතුකර දැක්වීමට කතුවරයා උත්සාහ ගෙන ඇති බවක් පෙනේ.
නමුත් කාම සංතර්පනයෙන් පසු නැවතත් තම ආත්මගත චිත්තාපේක්‍ෂාවන් සුබ්‍රමානියම් තුළ ඉස්මතුවන්නට පටන් ගනී. ගැහුණු දරුවකු පිළිබඳ දොළදුකෙන් පෙළෙන ඔහු නැවතත් මනෝ ලෝකයේ ඔටුණු පළඳන්නේ තෙවන වරටත් සීතාලක්‍ෂ්මී ගැබ්ගත් පසුව ය. ඔහු තුළ ඇති වූ චිත්ත ප්‍රසාදය කතුවරයා ඉදිරිපත් කරන්නේ සියැසින් දකින දර්ශනයක් සේ පාඨකයාට ද දැනෙන ආකාරයෙනි. ඔහු දෑත්බැඳ සීතාලක්‍ෂ්මීට ආචාර කළේ ය. නැවත කෝවිල් තුළට ගොස් පහන් දැල්වූවා. මාරි අම්මා ඉදිරියේ දැල්වෙන මහ පහනින් තෙල් බිඳුවක් ගෙනැවිත් සීතා ලක්‍ෂ්මීගේ හිස ගැල්වූවා. නිවෙස ස්තෝත්‍ර හඬින් පිරුණා හුරුබුහුටි ළදැරියන්ගේ පිංතූරවලින් නිදන කාමරයේ බිත්ති සැරසුවා. සීතාලක්‍ෂ්මී බාලිකා පාසල්වලට හා පෙර පාසල්වලට කැඳවාගෙන ගොස් එකී ළදැරියන් සමග කාලය ගත කරන්නට සැලැස්සුවා. මධුවන්තී යනුවෙන් අනාගත සිහින කුමාරියට නමක් පවා යෙදුවා. ඒ විතරක් නෙමෙයි එම මදුවන්තී නාමය තනිරූල් අභ්‍යාස පොත් සීයක හමාරක මධුවන්තී මධුවන්තී මධුවන්තී මධුවන්තී මධුවන්තී මධුවන්තී යනුවෙන් ලේඛනගත කළා.
අනාගත දියණිය වෙනුවෙන් සුබ්‍රමානියම් කරන ලද පූර්ව සූදානම පාධක දෙනෙත් ඉදිරියේ විශ්ණු වාසු චිත්‍රණය කරන්නේ තිර පටයක් දිග හැරෙන ආකාරයෙනි. එය ඉතා විශිෂ්ට ය. රමණිය ය. කතුවරයාගේ කුසලතා ප්‍රදර්ශනය කරන්නකි. මෙසේ දහසකුත් එකක් සිහින මැද අපේක්‍ෂා පුෂ්පයන් චිත්තභ්‍යන්තරයේ සුපුෂ්පිත වුව ද අවසානයේ ඔහුගේ සියලු අපේක්‍ෂාවන් සුන්නත්ධූලි කරමින් තෙවන වරටත් සීතා ලක්‍ෂ්මී බිහිකළේ පිරිමි දරුවෙකි. ඒ පිළිබඳ සුබ්‍රමානියම්ගේ චිත්ත අභ්‍යන්තරයේ ඇති වූ කලකිරීම කොතරම්ද යන්න යස අපූරුවට කතුවරයා දක්වා තිබේ.
“දරුවා ලස්සනයි. ශරීරය රෝස පාටයි. ඒ වුණාට සුබ්‍රමානියම් නෙමෙයි දරුවා නලවන්නට දෑතට ගත්තේ. සුබ්‍රමානියම් නෙමෙයි කලාතුරකින්වත් අ`ඵත උපන් දරුවාගේ මූනට එබුණේ. ”
සුබ්‍රමානියම්ගේ කලකිරීම කොතරම් ප්‍රබල ද යන්න ඒ තුළින් මතුකර දක්වා තිබේ. කලකිරීම පමණක් නොව ඔහු අළුත උපන් අර්ජුන්ට වෛර කළේ ය. අවසානයේ තම පුතාට ගෙදර එපා කළේ ය. ගෙදරින් යන තැනට කාරණා කටයුතු සිද්ධ කළේ ය. “පොන්නයා ” යන වචනයෙන් තම පුතුට බැණ වදින්නේ ය. තව දුරටත් මෙම තාඩන පීඩන දරා සිටිය නොහැකි වූ තැන අර්ජුන් කොළඹට සංක්‍රමණය වන්නේ ඔහු මෙතෙක් නොදැන සිටි අළුත් ලෝකයක් නිරාවරණය කර ගනිමිනි. කොළඹ ඇත්තේ අමුතුම ජීවන රටාවකි. එම සමාජයේ සිදුවන ලිංගික සම්බන්ධතා අදටත් අප්‍රසිද්ධ ය. පොදු සමාජයට දුරස්ත ය. ඒවා කාටත් නොපෙනෙන සේ ගුහාගත ය. විශේෂයෙන් සමරිසි කුලකයේ ක්‍රියාකාරකම් අප්‍රසිද්ධ ය. ඉහළ සමාජයේ මෙම සම්බන්ධතා වඩාත් රහසිගත ය. “සාරි ඇඳපු පිරිමි ” කෘතිය තුළ මෙම සැඟවුනු සමාජයේ කඩතිර විවර කර සමාජයට නිරාවරණය කර දක්වා තිබේ. තාප්පවලින් වටවූ රහස්‍ය ස්ථානවල කෙළින අවකෙළි පිළිබඳ ජනවිඥානය අවදි කරන්නට මෙම කෘතිය ඉවහල් වී තිබේ.
කුඩා කල සිටම අරජුන් කාන්තා සමාරෝපයට දැක් වූයේ ඉමහත් අභිරුචියකි. මව ද අර්ජුන්ට සැලකුවේ දියණියක හැටියට ය.
‘සීතාලක්‍ෂ්මී ද අර්ජුන් අයියර් උපන්දා සිටම ඔහු ඇමතුවේ මධුවන්ති කියලා. ඇය ඔහුව සැරසුවේ රෝස පාටඇඳුම් ආයිත්තම්වලින්. ඇයව නැලෙව්වේ භෛරවී, කල්‍යාණී, ශිවරංජනී වැනි ලලනා නම් සහිත රාග පාදකව ලියවුණු නැලවිලි ගී මුමුනමින්. ”
ඒ විතරක් නොවේ ඇය සුබ්‍රමානියම් ගෙදර නොමැත් අවස්ථාවල දී මධුවන්තිට සැලකුවේ දියණියක වශයෙනි. කොණ්ඩයට රිබන් පටි ද බැන්දා ය. මේ සියල්ල අර්ජුන් කාන්තාවක ලෙස හැසිරෙන්නට, කාන්තාවන් ඇසුරු කිරීමට කොටින්ම සමරිසි කුලකය තුළ ජීවත්වන්නට හේතුභූත වන්නට ඇත. කතාවේ හේතුඵලවාදී බව හා තර්කානුකූලභාවය රැක ගැනීමට කතුවරයා ගත් සාර්ථක උත්සාහයක් ලෙස එය අගය කළ හැකි ය.
මෙම කුලයට අයත් රාත්‍රියේ වීථිසරන්නන් මුහුණ පාන අනේකවිධ තාඩන පීඩන පිළිබඳව ද සිදුවීම් ගෙනහැර දක්වමින් සමාජයේ සානුකම්පිත අවධානය යොමුකරවීමට ද කතුවරයා යම් උත්සාහයක් දරා තිබේ.
සමරිසි කුලකයේ කතාව එක් පැත්තකින් දිග ඇදෙද්දී එයට පරිබාහිර වූ සමාජ අසාධාරණයන් හරහා ද විෂ්ණු වාසුගේ පන්හිඳ ගමන් කර තිබේ. දමිල ජනතාව තුළ පාරම්පරිකව කිඳාබැස ඇති කුලභේදය, ඇඟලුම් කම්හල්වල වැඩ කරන තරුණ තරුණියන් විඳාින අනේකවිධ දුක් පීඩාවන් ගැන විශේෂයෙන්ම එම ආයතනවල සේවය කරන තරුණියන් කම්හල තුළ දී මෙන් ම මඟතොටේදීත් මුහුණ පාන දුක්ඛ දෝමනස්සයන් හා කායික මානසික, අතවරයන් පිළිබඳ පාඨක අවධානය යොමු කරන්නේ මූලික කතා ප්‍රවෘත්තියට කිසිදු හානියක් නොවන ආකාරයෙනි.
වරෙක කතුවරයා පන්ති භේදය පිළිබඳව අප දැනුවත් කරන්නේ ඉතා සුළු සිද්ධියක් ගෙනහැර දක්වමිනි.
“කලාපෙ වැඩ කරන කෙල්ලො කොල්ලො කන්නෙ සිල්ලර කඩෙන් ණයට. පොතට. බේරන්නෙ මාසෙ අන්තිමට.”
අතට ලැබෙන සොච්චම් පඩියෙන් ඔවුන් යාන්තමට එදාවේල පිරිමසා ගන්ද්දී සල්ලිකාරයන් සඳහා වෙන්වුණු සුඛෝපභෝගී අවන්හල්වල කෑම අලෙවි වන්නේ ගිනි ගණන්වලට ය.
“මොචා කියල තේ කෝප්පයක් හාර සියයයි. ඝණකම රොටියක් උඩ මස්, මාළු එළවළු තවරපු පීස්සා කියල ජාතියක් එක්දහස් දෙසීයයි. කබලෙ දාල කර කරපු පොඩි පාන් පෙති හතරක් අතර තක්කාලියි, සලාද කොළයි අතුරලා හරි මැදින් ඉරටු කෑල්ලක් ගහපු කෑම වර්ගය තුන්සිය පණහයි.”
ඒව කිසිම ලොභ කමක් නැතුව මසුරන් තඹයට දෙන පැලැන්තියක් ද මේ දූපතේ ජීවත් වෙති. එම සිද්ධීන් මූලික කතාවට ආගන්තුක නොවන පරිද්දෙන් අපූරුවට ගලපා තිබීම අගය කළ යුත්තකි. කතුවරයා ලබා ඇති අතිප්‍රාමාණික අත්දැකීම් සමුදායත් ජීවිතය පුරා එකතුකරගත් දැනුම් සම්භාරයත්, පොතපත කියවීමෙන් ලැබූ පරිචයත් එයට පිටිවහල් වන්නට ඇතුවාට කිසිම සැකයක් නැත.
කෘතිය පුරාවට දැකගත හැකි කතුවරයාගේ භාවිත බස පිළිබඳව ද යමක් කිව යුතුම ය. බොහෝ නිර්මාණකරුවන් හිතාමතාම නොලියා හරින, අසභ්‍ය යයි සිතා අමාරුවෙන් වුව ද භාවිතයෙන් බැහැර කරන, කුණුහරුප ලිව්වා යයි සමාජයෙන් එල්ල විය හැකි චෝදනා නිසා භීතියට පත් කරවන සැබෑ භාවිත බස මොහු කිසිදු චකිතයකින් තොරව යොදා ගැනීමට තරම් නිර්භය වීම ද කැපී පෙනෙන ලක්‍ෂණයකි. රතිකෙළි අවස්ථා පවා විෂ්ණු ඉදිරිපත් කරන්නේ භාව ප්‍රකෝපයෙන් තොරව සෘංගාර රසයක් උද්දීපනයවන පරිද්දෙනි. සංයමයෙන් යුතුව ය.
කතුවරයාගේ බස සරල ය. ඒත් ප්‍රබල ය. ව්‍යංගවත් ය. වසර අටක පමණ කාලයක් තම ස්වාමියාගේ පහස නොලද සීතා ලක්‍ෂ්මී තම හද තුළ මෝරා දෝරෙ ගලා යන කාමාශාව කතුවරයා දක්වන්නේ මෙලෙසිනි.
“සීතාලක්‍ෂ්මීගේ සිත කලබලයි. හෘද ස්පන්ධන වේගය උච්චයි. ඇසිපිය ගහන වේගයෙන් සිතුවිලි ඡේදනය වෙයි. සුබ්‍රමානියම් කුළමේ පඩිය උඩ තම වම්පය සමබර කරගෙන එයාගේ අංගජාතයේ සබන් උලන්න ගත්තා. සීතා ලක්‍ෂ්මීට හීල්ලුනා. ඇගේ රාගසිත ප්‍රමුදිත වෙලා ආසාව ඉවසා ගැනීම දුෂ්කර වුණා. ඇගේ සිත නළියනවා සුබ්‍රමානියම් අසලට දිවයන්න. ”
මොන තරම අපූරු භාෂා භාවිතයක් ද? පාඨකයා ඉදිරියේ රූපරාමු දර්ශනය කරන්නට එකී කෙටි වාක්‍ය රටාව මොනවට ඉවහල් වී තිබේ. එක් තැනෙක යොදන “ඔහුගේ සෝබන ස්කන්ධය” යන යෙදුම සුබ්‍රමානියම්ගේ හැඩිදැඩි රූපකාය අපූරුවට චිත්‍රණය කරයි.
මෙසේ යස අපූරුවට කිසිදු කම්මැලිකමක් නැතිව ගලාගෙන ගිය කතාව 24 වන පරිච්ඡේදයෙන් පසුව යම් ඇල්මැරුණු ස්වභාවයකට පත් වී ඇති බවයි මගේ මතය. කතාව ඉදිරිපත් කිරීමේ ශෛලිය කතුවරයා කිසිදු සාධාරණ හේතුවක් නැතිව වෙනස් කරනව. නාට්‍ය පිටපතක් ලියන්නා සේ අළුත් ශෛලියක් ආදේශ කරනව. ඒකෙ බොහෝ දුරට තියෙන්නෙ ආත්ම කථනයන්. චරිත පුනරාවර්ජනයන්. මෙය පාඨකයා වෙහෙසට පත් කරන බව මගේ හැඟීමයි.
එසේ වුව ද මෙතෙක් සමාජයේ අවධානයට ලක් නොවූ අප්‍රසිද්ධියේ කටයුතු කළ කුලකයක් පිළිබඳව කරන ලද දීර්ඝ කාලීන ගවේශනයකින් පසුව මෙවන් කෘතියක් එලිදැක්වීම පිළිබඳව විෂ්ණු වාසු නම් වූ කතුවරයාට සමාජයේ ප්‍රණාමය හිමිවිය යුතු ය.