මානව ඉතිහාසය යනු මුළුමනින්ම මිනිස් සබඳතා පිළිබඳ කතාන්දරයකි. මෙම මානව සබඳතා පෝෂණය වන්නේ මිනිසුන්ගේ හැඟීම්වලිනි. එහෙත් නිල ඉතිහාස රචකයන්ට මිනිසුන්ගේ හැඟීම් සමඟ ගනුදෙනු කිරීමට අවසරයක් නොමැත. ඔවුන් නිමග්නව සිටිනුයේ සාක්ෂි පාදක ව්‍යවහාරයකය. මේ නිසා ඉතිහාසයේ පදාසයක් අතහැර දැමීමට ඔවුන්ට සිදු වේ. මෙසේ අතහැරදමන පදාසය සමාජය වෙත පරිකල්පනාත්මකව විවර කිරීමේ හැකියාව ඇත්තේ ප්‍රබන්ධකරුවාටය. මෙලෙස ප්‍රබන්ධකරුවා පරිකල්පනාත්මකව ඉතිහාසයේ නිම්වළලු පුළුල් කරයි. නැතහොත් ප්‍රබන්ධකරුවා ඉතිහාසය පරිකල්පනාත්මකව විසංයෝජනය කරයි. පද්මිණී සෙනෙවිරත්න එවන් ප්‍රබන්ධකරණයක යෙදෙන නවකතාකාරියකි. ‘කඳුරැළි’ ඇයගේ නිර්මාණ චාරිකාවේ අලුත්ම පියවර වේ.
එය න ගච්ඡති, චරණ සහ තිවත වැනි නවකතාවලින් ඇය පෙන්නුම් කළ ඉතිහාසයට පවත්නා ස්වකීය අනුරාගී බැඳීම තවදුරටත් තහවුරු කරයි.
මෙය සෙංකඩගල දෙවන රාජසිංහ රජුගේ චරිතය සහ පාලන සමය පිළිබඳ ජනප්‍රිය මෙන්ම සාම්ප්‍රදායික කතිකාව විනිවිදීමට ගත් ප්‍රබන්ධාත්මක උත්සාහයකි. ජනප්‍රිය කතිකාවට අනුව දෙවන රාජසිංහ ආගම වෙත විශේෂ අනුග්‍රහයයක් නොදැක්වූ ස්ත්‍රීලෝලී පාලකයෙකි. සිංහල ජනතාවට අමතරව අපට මෙම නවකතාවේදී ඕලන්ද ජාතිකයන්ද මහමදිකයන්ද වැදි රැහේ සාමාජිකයන්ද මිශ්‍ර විවාහවල ප්‍රතිඵලයක් ලෙස බිහිවන පරපුරක්ද නිලධාරි තන්ත්‍රයේ විවිධ ධූරාවලි නියෝජනය කරන්නන්ද මුණ ගැසේ. මොවුන් එකිනෙකා සමඟ පවත්වන ඥාතිමය, රාජකාරිමය, ප්‍රේමනීය සහ ශෘංගාරාත්මක සබඳතා හරහා කතාපුවත දිග හැරේ.
මෙහිදී කතුවරිය උත්සාහ කරනුයේ ජනප්‍රිය ඉතිහාස කතිකාවේ ඇත්ත නැත්ත සෙවීමට වඩා මානව සබඳතා සමඟ බැඳුණු ප්‍රේමනීය හා ශෘංගාරාත්මක හැඟීම් පද්ධතිය තුළ දෙවන රාජසිංහ ස්ථාපිත කිරීමය. මෙකී හැඟීම් කන්ද උඩරට හාත්පස පැතිර පවත්නා ස්වාභාවික පරිසරය සමඟ කදිමට සංකලනය කිරීම නිසා ඇතැම්විට පාඨකයා ද එම හැඟුම් ගඟට ඇද වැටෙයි. මෙම චමත්කාරය එලෙස පැවතිය ද නොපෙනෙන අනතුරක අවදානමද හාත්පස ඉව අල්ලන බව ද පාඨකයාට දැනේ. පාඨකයාට කඳුරැළි අතර සැරිසරන්නට සිදුවන්නේ මෙවන් හැඟීම් සමුදායක බර දරාගෙනය.
මෙම හැඟීම් කලාපයට සමාන්තරව බලය ක්‍රියාකරන ආකාරය ද නිරාවරණය කිරීමට කතුවරිය අමතක නොකරයි. අන්තහ්පුරය බලය ව්‍යාප්ත කිරීමේ සහ තහවුරු කිරීමේ මෙවලමක් ලෙස යොදා ගන්නා ආකාරයත් ඒ ඒ ජන කණ්ඩායම්වල සහ ප්‍රදේශවල සහාය ලබා ගැනීමට පවත්නා එහි උපයෝගීතාවත් කතාපුවත ඔස්සේ විද්‍යාමාන වීම ඊට නිදසුනකි. අනෙක් අතට ආගම සහ රාජ්‍ය පාලනය පිළිබඳ කතිකාව ද මෙම ප්‍රබන්ධයේ තවත් පැතිකඩක් නියෝජනය කරයි. කතුවරිය දෙවන රාජසිංහ චිත්‍රණය කරන්නේ රාජ්‍ය පාලනය ලෞකික කාර්යයක් ලෙස සැලකූ පාලකයෙකු වශයෙනි. ඒ අනුව ඔහු ආගම මෙන්ම පූජකයන්ද අතේදුරින් තබාගත් පාලකයෙකි. මේ නිසා ‘කඳුරැළි’ නවකතාව හුදෙක් අතීත කාලවකවානුවක් තුළ ඝනීභූත වන්නක් නොවේ. එය සමකාලික කතිකාව ද පෝෂණය කරන්නකි. එහෙත් මෙහිදී කතුවරිය ඊට සෘජුව මැදිහත් නොවන අතර ඓතිහාසිකත්වය සහ සමකාලිකත්වය ගැට ගසා ගැනීමේ කාර්යය පාඨකයාට ඉතිරි කරයි.
ඓතිහාසික නවකතාව යනු ඉතිහාසය ප්‍රශ්න කිරීමකට වඩා එය රොමැන්තිකව සමතික්‍රමණය කිරීමක් බවත් ඓතිහාසික නවකතාකරණයේදී හැදෑරීම පමණක් නොව අදාළ යුගය හෝ චරිත සමඟ අනුරාගී බැඳීමක් ද අවශ්‍ය බවත් කඳුරැළි තුළින් පද්මිණී සෙනෙවිරත්න අපට පෙන්වා දෙයි.