ජේන් ගුඩෝල් 90 වෙනි ජන්ම දිනය අප්‍රේල් 03

ඇය ජේන් ගුඩෝල්

ඉංග්‍රීසි ජාතික අග්‍රේෂ විද්‍යාඥ ( Primatologist ) සහ මානව විද්‍යාඥ ( Anthropologist ) වරියක වන ඇය චිම්පන්සීන් පිළිබඳ ලොව සිටින ඉහළම විශේෂඥවරිය ලෙස පිළි ගැනෙනව.

ඇගේ තරුණ දිවියේ සිට අද ගෙවන මහළු විය දක්වාම වසර 60 ක දීර්ඝ කාලයක් චිම්පන්සි ලෝකයේ සමාජ සහ පවුල් සම්බන්ධතා පිළිබඳව ඇය කළ අධ්‍යයනයන් එම ක්ෂේත්‍රයේ පුරෝගාමී හැදෑරීම් ලෙස සැලකෙනව.
අදින් හරියටම වසර 90 කට ඉහත එංගලන්තයේ උතුරු ලන්ඩනයේ හැම්ප්ස්ටෙඩ් වල 1934 වසරෙ අප්‍රේල් මස 3 වෙනි දින උපන් ඇගේ සම්පූර්ණ නම වූයේ ඩේම් ජේන් මොරිස් ගුඩෝල්.

ඇය ඉගෙනුම ලබන්නෙ ඩෝසෙට් වල පිහිටි වෙරළබඩ නගරයක් වන පූල් වල අප්ලන්ඩ්ස් පාසැලෙයි.
ඇගේ ළමා වියේදී ව්‍යාපාරිකයකු වූ පියා ටෙඩි බෙයා කෙනෙක් වෙනුවට හොඳින් පුරවන ලද සෙල්ලම් ච්ම්පන්සියෙක් තෑගි කරනව.
සතුන් ගැන ඇගේ මුල්ම ආදරයට මුල පුරන්නෙ, “ජුබිලී ” යන නම තැබූ මෙම සෙල්ලම් චිම්පන්සියාට තිබූ ඇගේ කැමැත්තයි.
නවකතාකාරියක වූ ඇගේ මවගේ මිතුරන් මෙම කෙළිබඩුවට බියවූ අතර කුඩා ජේන් ද බියපත් කර නපුරු සිහින දැකීමට පවා හේතුවනු ඇතැයි අනතුරු අඟවනව.

එහෙත් තවමත් ලන්ඩන් හි ඇගේ ඇඳුම් රාක්කයේ ” ජුබිලී ” දකින්න පුළුවනි.
සතුන් හා අප්‍රිකාව කෙරෙහි ඇගේ ඇති දැඩි ආශාව නිසාම ඇය කෙන්යාවේ උස්බිම් පෙදෙසක පිහිටි මිතුරකුගේ ගොවිපළක් වෙත කැටුව යන්නෙ, ඇගේ වයස 23 ක් වන 1957 වසරෙදි.
ඇය එහි ලේකම් වරියක ලෙස කටයුතු කරනව.
මිතුරියගේ උපදෙස් අනුව ඇය කෙන්යාවේ සිටින බ්‍රිතාන්‍ය ජාතික පාෂාණිධාතු විද්‍යාඥ හා පුරා විද්‍යාඥ ලුවී ලීකි හට දුරකතනයෙන් අමතනව.
දැනට ජීවමාන උසස් වානරයන් පිළිබඳ අධ්‍යයනයෙන් ආදී මානවයන්ගේ චර්යාවන් පිළිබඳ සාධක ලබා ගැනීමට හැකි බව සිතන ලුවී ලීකි චිම්පන්සින් පිළිබඳ පර්යේෂකයකු ගේ සහාය අපේක්ෂවෙන් සිටිනව.
තම ලේකම් වරියක් ලෙස වැඩ කිරීමට ඔහු ඇයට යෝජනා කරනව.
ඔහුගේ බිරිඳ සහ පර්යේෂණ සහායිකාව වන බ්‍රිතාන්‍ය ජාතික කීර්තිමත් පාෂාණිධාතු විද්‍යාඥ මාරි ලීකි ගේ අනුමැතිය ඇතිව ඔහු වත්මන් ටැන්සානියාවේ ඔල්ඩුවායි ගෝර්ජ් නම් පාෂාණීධාතු කැනීම් පෙදෙස වෙත ජේන් ගුඩෝල් යවනව.

1958 දී ලීකි විසින් ජේන් ගුඩෝල් ව ලන්ඩන් වෙත පිටත් කරන්නෙ බ්‍රිතාන්‍ය අග්‍රේෂ විද්‍යාඥ ඔස්මන් හිල් සමග උසස් වානරයන්ගේ චර්යා පිළිබඳව හා බ්‍රිතාන්‍ය පාෂණිධාතු විද්‍යාඥ ජෝන් නේපියර් සමග වානරයන්ගේ කාය ව්‍යවච්ඡේදය පිළිබඳව හැදෑරීමටයි.
අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්නා ලුවී ලීකිගේ අනුග්‍රහයෙන් 1960 වසරෙ ජූලි මස 14 වෙනි දින ජේන් ගුඩෝල් ටැන්සානියාවේ ගොම්බේ ජාතික වනෝද්‍යානය වෙත පා තබනව.
එවකට ඇගේ වයස අවුරුදු 26 යි.

ඇගේ ආරක්ෂාවට ඇගේ මවත්, ප්‍රධාන පාලක ලෙස වනෝද්‍යානය භාර ඩේවිඩ් ඇන්ස්ටේත් කැපවෙනව. මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්නා ලුවී ලීකි 1962 වසරෙදි උපාධියක් නොලබා සිටි ජේන් ගුඩෝල් කේම්බ්‍රිජ් සරසවියට ඇතුල් කරනව.
BA හෝ BSc වැනි පූර්ව උපාධියක් නොමැතිව ආචාර්ය උපාධියක් සඳහා අවසර ලද අටවෙනියා බවට පත් වෙමින් ජේන් ගුඩෝල් 1965 වසරෙදි සත්ව චර්යා විද්‍යාව පිළිබඳ PHD උපාධිය ලබනව.
ඒ ගොම්බේ ජාතික වනෝද්‍යානයේ ඇගේ පළමු වසර පහ තුළ අධ්‍යයන ඇතුලත් ” නිදහසේ වෙසෙන චිම්පන්සියන්ගේ චර්යාව ” පිළිබඳව ඈ ඉදිරිපත් කළ නිබන්ධනයත් සමගයි.

ඒ කේම්බ්‍රිජ් සරසවියේ සත්ව විද්‍යා මහාචාර්ය රොබට් හින්ඩේ ගේ අධීක්ෂණයට යටත්වයි.
ඇය දෙවරක් විවාහ වූ කාන්තාවක්.
මුලින්ම ඕලන්ද ජාතික වනජීවී ඡායාරූප ශිල්පී හියුගෝ වෑන් ලැවික් සමගයි.
මෙහි අමුණා ඇති අවසන් පින්තූරයේ දැක්වෙන පසුව සිංහලටද පරිවර්තනය කරන ලද , ඇය 1971 දී ලියූ ” In The Shadow Of Man ” නම් පොතෙහි ඔහුගේ පර්යේෂණ දායකත්වයන් ගැන දැක්වෙනව.

පසුව 1974 දී ඔහුගෙන් වෙන්වන ඇය ටැන්සානියාවේ ජාතික වනෝද්‍යාන පද්ධතියේ අධ්‍යක්ෂ මෙන්ම පාර්ලිමේන්තු නියෝජිතයකුද වන ඩෙරෙක් බ්‍රයිසෙසන් සමග විවාහ වෙනව.
ඇගේ පර්යෙෂණ ව්‍යාපෘති වලට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට සමත් වන ඔහු 1980 වසරෙදි පිළිකා රෝගයෙන් මිය යනව.
පළමු විවාහයේ හියුගෝට දාව ඇය 1967 දී, හියුගෝ එරික් ලුවී පුතණුවන් බිහි කරනව.
සැබවින්ම ඇගේ ජීවිතය ඈ ගෙවන්නෙ චිම්පන්සියන් සමගයි.

ඇගේ නිරීක්ෂණයට හසුවූ චිම්පන්සි පිරිමි හා ගැහැණු සතුන්ට ඇය නම් තබා තිබෙනව. ” ඩේවිඩ් ” , ” ගොලායත් ” , ” මයික් ” , ” හම්ප්‍රි ” , ” ගිගි “, ” ෆියෝ ” , ” ෆ්‍රෝඩෝ ” , ” ප්ලින්ට් “, ” පිපි ” , ” මැක්ග්‍රෙගර් “, ” ෆ්ලෝ ” , ” ෆිගන් ” ඔවුන්ගෙන් කිහිප දෙනෙක් පමණයි.
චිම්පන්සියන් යනු ශාක භක්ෂක සතුන් නොව සතුන්ගේ මස් ද ආහාරයට ගන්නා සර්ව භක්ෂකයන් බව මුලින්ම සොයා ගන්නේ ඇයයි.
චිම්පන්සියන් ආදි මානවයන් සේ ආවුද තනන්නන් බව තහවුරු වන්නෙත් ඇගේ නිරීක්ෂණ වලින්. කුඩා අතු රිකිල්ලක් අතින් කඩා ගන්නා චිම්පන්සියන් අනෙක් අතින් එහි පත්‍ර සූරා ඉවත් කිරීමෙන් අනතුරුව එහි එක් කෙළවරක් තුඹසක සිදුරක් තුළට ඇතුල් කර ටික වේලාවක් ගත කරනු ඇය නිරීක්ෂණය කරනව.

ඉන්පසු එය ඉවතට ගෙන එය දිගේ එමින් සිටින වේයන් ලෙවකමින් භක්ෂණය කරනු දකින මුල්ම මිනිස් නෙත් ඇයගෙයි.
කීප වරක් මෙම කාර්යය කළ පසු එම කෙළවර නැවී ගිය විට එම කොටස කටින් කඩා ඉවත් කිරීම හෝ අනෙක් කෙළවර තම කාර්යයට යොදා ගැනීම හෝ අළුත් කෝටුවක් සකසා ගැනීම ඇය නිරීක්ෂණය කරනව.

නිශ්චිත ආකාරයකට නිතිපතා උපකරණ තනා ගත් එකම සත්වයන් හෝමෝ හැබිලිස් ගේ සිට පැවතෙන මානවයන් පමණක් නොවන බවත් චිම්පන්සියන්ද ආදි මානව කොට්ඨාශයක් බවත් ලුවී ලීකි සඳහන් කරන්නෙ ඇගේ නිරීක්ෂණ පදනම් කර ගෙනයි.
චිම්පන්සියන්ගේ ලිංගික ජීවිතය හා මාපිය දූදරු සම්බන්ධතා ගැන ඇය කළ අධ්‍යයනයන් ඉතා චිත්තාකර්ෂණීයයි..

ඇගේ වසර 90 ක ජීවිත කාලය තුළ මේ සතුන් පිළිබඳව ඇය ලියා ඇති පොත්, දායක වී ඇති චිත්‍රපට මෙන්ම ඇය ලබා තිබෙන ජාත්‍යන්තර සම්මාන ගණන අති විශාලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...