ආචාර්‍ය ආරියවංශ රණවීරගේ නව කවි සංගෘහිතය, රැලිති රාජ්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට පැමිණ ඇත. මේ ඒ නිසා නොවේ. අවකාශ ලදින් ලියමි. අප රට සම්මාන උළෙලවල කවිය නම් සාහිත්‍ය විධිය හිමිකරගෙන ඇති ඉරණම ගැන කතා කිරීම පල රහිත ය.
දුෂ්කර ම සමයෙක රැලිති ගම්භිර ලෙස පළ කළ “සක්නද” ප්‍රකාශිකා දමයන්ති ගල්පායගේ සොයුරියට තුති. ඒ වියදම, ඒ අමිල කෙටිකවි පැසට අබරණකි.
මේ පොතට පෙරවදන ලියන රණවීර මහරු ප්‍රවාද කීපයක් හෙළි කරයි. ප්‍රමුඛ මතය නම් “වචන වළක්වා ගැනීම, වචන නිෂේධ කිරීම, අර්ත අනුනාදය සහ වචන Signs ලෙස පමණක් භාවිත කිරීම” පිළිබඳ ව ය. ඒ අදහස සාක්ෂාත් කෙරෙන කවි මෙගතෙහි සුලභ ය.
“කඳුකර
දියත්තෙහි
වැතිරගෙන
එක තැන
ගමන් යන
කෙකෙටිය
පඳුරු” පි.44
“පිටත
කුණු
මජං
නාපියා
සෝදාහැර
ශිෂ්ටාචාරයට
වදිමි
පොත් අතර” පි.48
“අහසේ
කවියා ද
උලමා” පි.124
රණවීර මෙහි දී අවධාරණය කරන්නේ වචනවල බාහිර අරුත් නොව, වචන පලාගෙන ගොස්, ඒ වචනවලට කිසි අයුරකින් සම්බන්ධයක් නැති තේමාත්මක ගාම්භීර්‍යයක් සොයා යාම යි. ඒ තෙවැනි අරුත බොහෝ විට සිනමාවේ සමෝධාන රීතිය ඔස්සේ වටහා ගැනීම වඩා පහසු ය.
“කළුවර
නෑගම් ඇවිත්
සොහොනට” පි.143
වචනවලින් තොර මොහොත යනු අතිශය ප්‍රභාෂ්වර නිමේෂයකි. වචන යනු සංස්කෘතීන්, සම්ප්‍රදායන් හෝ කෙළෙස් වැනි ය. වචනවල ගැබ් වී ඇති අරුත් යනු බැඳීම් ය. වචනවලින් මිදීම යනු බැඳුම් හැර දා නිදහස් වන මොහොතකි. එය විමුක්ති දායක සුඛයකි. වචනවලට ම හසු නොවන තත්වයකි. ආර්‍ය මාර්ගය සාක්ෂාත් කළ බුදුන් වදනින් දම් නොදෙසන්නට තීරණය කළේ මේ වචනවල මායාවට හසු වෙති යි සිතූ හෙයින් දැයි සිතෙ යි.
අවසන් කවිය විශිෂ්ටතම නිමැවුමකි. එය මේ පොතේ විනා රණවීරගේ අවසන් කවිය නොවේ. තවත් මල්, තවමත් මල් මතු නොව තවතවත් මල් අපට ඇවැසි ය.
මේ ඒ කව.
“කමක් නෑ
ඕනෑ නම්
කොටන්න
මගේ නම
සොහොන් කොත මත
හැබැයි
ළාවට” පි.144
නම කොටන්නට වන්නේ වචනවලිනි. ඔහු ඊට අකැමැති ය. එහෙයින් නිර්දේශය ‘ළාවට’ ය. අපට මේ මහා කිවිඳුන් කිකලෙක හෝ සිහි කරන්නට වන්නේ ද වදනින් තොරව ය. ඔහු කීවේ තමා චූල කවියෙකු බව ය. එනිසා ද ‘ළාවට’ ය. ඔහු තමා සතු අනවරාග්‍රයක් බඳු ධනය අපට දුන්නේ ද පැකිළි පැකිළී නොවේ ද? වචන සහිත ව ද රහිත ව ද ඔහු ගලයි. ඔහු අවිරාම සුධීමතෙකි. නවතාලිය නොහෙන විශිෂ්ටයෙකි (A Formidable Genius).
හිනිදුම සුනිල් සෙනෙවි