පසුගිය සිකුරාදා (28) නාට්‍යවේදී චාමික හත්ලහවත්තගේ නාට්‍ය කීපයක් ලයනල් වෙන්ඩ්ට් එකේ තියෙනවා, බලන්න එන්න කියලා ආරාධනයක් ලැබුණා. ආරාධනය අරන් ආවේ ප්‍රේම් (ප්‍රේමරත්න තෙන්නකෝන්)
විවිධ වයස් කාණ්ඩවල ළමයින් කරපු නාට්‍ය හතරක්. කරපු කිව්වම නාට්‍ය අධ්‍යක්ෂණය, පිටපත් රචනය, රංගනය ආදී සියලුම කාර්යයන් වගේ කරලා තියෙන්නේ ළමයි. මේ නාට්‍ය හතරට අත්දැකීම් සහිත නාට්‍යවේදීන් අට දෙනෙක් සහය දීල තියෙනවා. හැම නාට්‍යයක්ම අවසානයේ නාට්‍යයේ ළමා අධ්‍යක්ෂවරයා වේදිකාවට ඇවිත් තමන්ගේ අත්දැකීම් කිව්වා.
අවුරුදු 2-7 නාට්‍යය ඉදිරිපත් කළේ කුරුණෑගල මලියදේවයේ දරුවෝ. නාට්‍යයේ නම ‘දඟ පෙති මල’. ඊට පස්සේ වයස අවුරුදු 8-11 කාණ්ඩය. ඒක කළේ කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය. නාට්‍යයේ නම ‘කුක්ලී’. ඊට පස්සේ අවුරුදු 12-16 වයස් කාණ්ඩය. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දරුවන් ඉදිරිපත් කළ ඒ නාට්‍යය ‘කෝ ශේන්යා?’. අවසානයේ අවුරුදු 17-18 වයසේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ දරුවන් ඉදිරිපත් කළ නාට්‍යය ‘මොකද එයා ගෑණු ළමයෙක් නිසා’.
මේ නාට්‍ය හතරටම පදනම් වෙලා තිබුණෙ සෝවියට් ලේඛක වලෙන්තීන් කතායෙව් ගේ ‘හත්පෙති මල’ කියන අපි කවුරුත් දන්නා කෘතිය. ඒක තමයි හත්ලහවත්තගෙ අපූරුම සංකල්පය. ඒ පොත විවිධ පැති වලින් පරිශීලනය කරපු දරුවෝ ඒ මත නාට්‍ය ගොඩ නගලා තිබුණා. හත්පෙති මලේ පෙති එකින් එක කඩලා ශේන්යා මොනවද ප්‍රාර්ථනා කරන්නේ කියලා අලුත් විදියට හිතල තිබුනෙත් මේ දරුවෝ. ශේන්යාගේ ප්‍රාර්ථනා හත තෝරගත්තෙ එක කණ්ඩායමක දරුවන් විසින් ඉදිරිපත් කරපු ප්‍රාර්ථනා හැටක් අතරින් කියලා ඒ පාසලේ නාට්‍ය හා රංග කලා ගුරුතුමිය කිව්වා.
දැනගන්න ලැබුණු හැටියට මේක මාස 7-8 ක පර්යේෂණාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මහත් කැපවීමක්. විවිධ බාධක මැද ධෛර්ය සම්පන්නව ඉදිරියට යාමක්. සමහරවිට අපේ පාසල් පද්ධතියේ තිබෙන ගතානුගතික නීතිරීති සහ ආකල්ප මේවට හරස් වෙන්න ඇති. පන්ති කාමරයේ අධ්‍යයන කටයුතුවලට අමතරව මේ කාලය යොදවන්න මේ දරුවන්ගෙ දෙමව්පියනුත් ගුරුවරුනුත් ලබා දීපු අවස්ථාව අගය කරන්නම ඕනෙ.
වැඩිහිටියන්ගෙ මනසින් ළමා නාට්‍ය නිර්මාණය කරලා දරුවන් රඟපාවලා ළමා නාට්‍ය කරනවා වෙනුවට දරුවන්ගේ මනස තුළ ම ඉපදුණු ළමා නාට්‍ය කලාවක් කියන්නේ අපූර්ව දෙයක් තමයි.
මේ සාර්ථක ආරම්භය අපේ ළමා නාට්‍ය කලාව බොහෝ දුර රැගෙන යාවි.
ඒ පළමු පියවර තැබූ චාමික හත්ලහවත්ත ඇතුළු සියලුම නාට්‍යවේදීන් ට, දරුවන්ට, ඒ පාසල්වල නාට්‍ය හා රංග කලා ගුරුවරුන්ට අපගේ හෘදයාංගම ස්තුතිය සහ සුභාශිංශන !
වෛද්‍ය නලින්ද ජයතිස්ස