මන්දාරමට උඩ ඉගිලෙන වැහි ලිහිණී
හැන්දෑ කලට මරදානෙ දි මුණ ගැහුණී
නින්දා විඳින දෑසින් මා වෙත හැරුණී
චන්ද්‍රාලෝකයෙන් මගෙ හදවත පිරුණී
ගල්ඔය ඉඳන් මං කොළඹට ආවාට
හඳටත් වැඩිය මං ආසයි හාවාට
පිටවානකින් හිටගෙන දිය නෑවාට
රඹුටන් රසයි මං ටොපියක් කෑවාට
සපුගස්කන්ද පිරිපහදුව ඉඩෝරයේ
මුර වැඩ මුරය මධුසමයකි අවාරයේ
මල් මකරන්ද අත ගෑවත් සරාගයේ
අරවින්දත් සිටී මං ළඟ විරාගයේ
උක්දඬු තැලී පැණි බේරෙන හිඟුරානේ
රඹුටන් පිරී වඳුරන් කන මල්වානේ
ඉඳිකටු ඇනෙන හීතල ඉඳිකටුපානේ
නුඹ වන් ළඳක් මට මුණගැහුනෙ ම නෑනේ
උඩ ඉගිලී බිම වැටෙනා වැහි ලිහිණී
නෙත නොපියා මට කියනා දුක දැනුණී
වත කමලේ දාඩිය පාවඩ එලුණී
මගෙ හදවත නුඹ පය පාමුල වැටුණී
මන්දාරමට වැඩි වැඩියෙන් හාදු දෙමී
වැහි ලිහිණියට පඩියෙන් බාගයක් දෙමී
බකමූණන්ට එක්ක ම බාගයක් ගමී
මිල්ටන් කියන සිංදුවකින් වතුර බොමී
වැහි නැතුවාට මන්දාරම දුටු හින්දා
හැම දා නියං අපටම දුක දෙන හින්දා
වතුරට වැඩිය දාඩිය බර වැඩි හින්දා
වැහි ලිහිණියේ නුඹගේ සුවඳට වැන්දා
කුමාර හෙට්ටිආරච්චි