කාව්‍ය විචිත්‍රාතාවෙන් අනූන ‘පෙමාතුර චෙරි කුසුම’

ඩිල්ශානි චතුරිකා දාබරේ කාලයක් පුරා, වීවිධ සාහිත්‍ය සංවාද වලදී අසන්නට ලැබෙන ලැබෙන නමකි. සොඳුරු කාව්‍යාවලියක් රුවාගත් පොතක පිට කවරයේ ඇගේ නම දක්නට ලැබීම අපට විසල් සතුටක් දනවන කරුණකි.

ඇය සිය කවියට සම්භාව්‍ය සාහිත්‍යයේ යෙදෙන බස් වහර මෙන් ම ගැමි වහර ද නාගරීක සමාජයේ ව්‍යවහාරික බසද නො මඳව මුසු කරගන්නා බැවින් කවි සමුච්චය පුරා ම ඇත්තේ රසවත් බස් මුසුවකි. වසිලිස්සා, ෆ්ලොරින්තනෝ හා ෆර්මිනා, ඇනා කැරනිනා, පවෙල් වැනි නවකතා සාහිත්‍යයේ හමුවන චරිත ද ඇගේ කවි අතර එහා මෙහා ඇවිද යනු දක්නට ලැබේ. ඒ අතර කොළඹ කන්තෝරුවක, සෙනග පිරුණ බසයක සිනමා ශාලාවක හෝ අරගල භූමියේ පවා සිටින ඔබ මා වැනි චරිත ද අපට මුනගැසෙ යි. ඔවුන්ගේ වෙහෙස මහන්සිය දාඩිය කඳුළු පිරුණ ජීවිතය කියවා ගැනීමට ද ඉඩහසර ලැබේ. දැඩි ලෙස චීනකරණය කෙරෙමින් පවතින ශ්‍රී ලාංකීක සමාජයේ වෙනස්කම් ද ඇයගේ කවිය තුළ දෝංකාර දෙනු අපට දැනෙ යි. පේමාතුර චෙරි කුසුම හරහා කිවිඳිය, අප ජීවත්වන යුගය වෙත සිය කාව්‍යාක්ෂිය යොමු කරන බවක් හා තත්කාලීන සමාජයේ හෘද්‍ර සාක්ෂිය අමතන බවක් පෙනෙන්නට තිබේ. එකින් එක කවිය ගෙන ඒ නිදර්ශනාත්මකව සංවාදයක් ගොඩනගන්නට මේ සටහනේ ඉඩ නොමැති බැවින් අපි අහම්බෙන් තෝරා ගත් කවි කිහිපයක් පමණක් ඇසුරු කරමු.

ලස්සන වසිලිස්සා නම් රුසියානු සුරංගනා කතාවට නව රූප කතනයක් ගෙන එන අපූරු කවියකි, “බිරියෝසා හිම හඬයි” හිසැති 11 වන කවිය. වසිලිස්සා කතාවේ තීරණාත්මක කඩ ඉමේ දී, බාබායිගා යකින්නගේ සහයට සිටී බල්ලා, පූසා, මිනි කටු වලින් තැනූ ගෙවැට හා බිරියෝසා ගස බාබයිගා යකින්නගේ අණට පටහැනි වීමට තීරණය කරයි. ඔවුන් හැමදා අත් විඳී බාබායිගා යකින්නගේ නපුරුකම් වෙනුවට, වසිලිස්සාගේ කාරුණික හැසිරීම එයට හේතු වෙයි. ඒ හැරවුම් ලක්ෂය පිලිබඳව
වසිලිස්සා වැනි කවුරුත් දන්නා කතාවක, පාඨකයාගේ අවධානයට එතරම් ලක් නො වන බිරියෝසා ගසට සවන් දෙන කිවිඳිය, බිරියෝසා ගස මේ කවියේ කථකයා ලෙස සිය මෙහෙවරට කැඳවයි. කවියෙක් පරිසරයේ පවතින සුලු දේ කෙරෙහි සංවේදී වීමේ වැදගත් කම ද මෙහි දී ඉස්මතු වෙයි.

“බබයිගා උඹ ඔතන බිම ලෑටීගාන කොට වසිලිස්සා මෙහි ආවේ ගිනි හොයන්
ඇයට මං ඉඩ දුන්නා ඔබෙන් මිදිලා යන්න වොල්ගාවේ ගං මව්ගේ දොර කඩන් ”

ආරක්ෂක වළලු මැද දිවි ගෙවන බාබයිගා යකින්න වැනි අනෙකාව තලා පෙලා සූරා සූප්පු කරන පාලක පැලැන්තියට සැඟවූ යම් ඉඟියක් ද රසිකයාට එම කවියෙන් දැනෙනු වළකනු නො හැක.

දේශපාලනික සත්ත්වයන් වන අප පසුගිය සමයේ බලගතු අරගලයක් කළේ, රටේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීව්තය නගා සිටුවීමේ වගකීම ඉටු කරනු පිණිස පාලකයන්ට බලකිරීමට ය. එහිදී විශ්ව විද්‍යාල සිසුන්ගේ එකමුතුව සංවිධානාත්මක බව හා ඔවුන් සිදු කළ බ්ලපෑම කිසි විටක මතක කළ නො හැක. අප කිවිඳියට “රතු සුළං රැළි” නම් 15 වන කවියට අත්දැකීම වන්නේ එකී විශ්ව විද්‍යාල සිසුන්ගේ එකමුතුකම, අභීත බව හා සංවිධානාත්මක බව රටක වාසය කරන සෙසු මිනිසුන්ට පුරවැසියන් ලෙස සිතන්නට සිදු කළ බලපෑම හා ඔවුන්ට බාධා පමුණුවමින් දේශපාලන බාබයිගාවන්ට ආරක්ෂාව සැලසූ කාකි නිළ ඇඳුම් ඇඳි පිරිස ය.

“උණ්ඩයේ තුඩ කෙලින් සිටවා කළු පටිය බැඳගෙන අතේ
තරුණ ගොස මැද තරුව දිදුලන උරුම සැර ජල බාධකේ
චටට චට පට වදිත් ඉගිලෙත යකුනි නොමදත් සාගතේ
අවි නොමැති දස බිම්බරක් සිසු මාරමණ්ඩල ධාවතේ”

පෙමාතුර චෙරි කුසුම කාව්‍යාවලියේ ඇති බොහෝ කවි හඬ නගා කෙරෙන කියවීමකට රසිකයාට ආරාධනා කරන අතර ඒ කවි පද අතර ජන කවියේ තාල රටා පිහිටුවා ඇත. “පෙට්ටියක් දිනා ඇත” යන 17 කවියේ ගැමි වහර හා කවිය අතර මැද තබන තාල නාද කවියේ ප්‍රදර්ශනාත්මක අඩවිය ස්පර්ෂ කරනු දක්නට ලැබේ. ඒ කවිය පැරණි වේදිකා නාට්‍ය ගීතයක හැඩයකින් රසිකයාට හමුවෙයි.

“ගෙදර වැඩට ඉන්න එකී
ගුණේ එක්ක යාළු එකී
ජනෙල් පඩිය හූර හූර
ඔතන ලෑටි ගාන්නැතුව
පල අහරේ පිළිකන්නට
ජිං දොමිකිට අඩිය දෙකට
ගියා ගියාමයි මේකිත්
සොපියෝ … බොල, සොපියෝ…
කොයි? මේකි මෙතැන නැතේයා…!”

තමන්ගේ රූපවාහිණි නාලිකාවේ ගුණාත්මක භාවිතය වර්ධනය කර ප්‍රේක්ෂකයන් ආකර්ශණය කරනවා වෙනුවට නාලිකාව නැරඹීම වෙනුවෙන් මුදල් හා තෑගී දීම අපට නිතර අසන්නට දකින්නට ලැබෙන කාරණය කි. ඉහත කවියට ආසන්න අත්දැකීම ලෙස අපට හමුවන්නේ, ගමට පැමිණි නාලිකාවක් පැවැත්වූ තරඟයකදී ගැමියෙකු රූපවාහිණි යන්ත්‍රයක් දිනා ගැනීමය. කවිය තුළ කිවිඳිය ප්‍රතිනිර්මාණය කරන්නේ, ඒ රූප පෙට්ටිය කොයි තරම් දුරට ගැමියාගේ එදිනෙදා ජීව්තයට හා එම පවුලේත් ගමෙත් සාමුහික ජීව්තයට කෙතරම් බලපෑම් කරන්නේ ද යන කාරණය යි.

“කිරිවැස්සිත් පහළ වෙලේ ඔය උගෙ හඬ ඇහෙන්නේ
බූරු ඇඳේ ඇලවෙනකොට බොක්ක ගැහිලා වැටෙන්නේ
වේලුණ රෙදි වැලෙන් බිමට වැටෙන කොටයි දකින්නේ
පැදුරු ආන උං එනකං හිස් සුළඟට වැනෙන්නේ …..”

මේ කාලය වන විට චීනුන්ගේ “වන් රෝඩ් වන් බෙල්ට්” සංකල්පයේ සෙවණැලි ශ්‍රී ලංකාව නම් දූපත් රාජ්‍ය වසගෙන පැතිරී අවසන් ය. එම අත්දැකීම ඔස්සේ කිවිඳිය අප සමාජයේ සාමුහික චින්තනය කොනිත්තන කවියක් ලෙස “වන් රෝඩ් වන් බෙල්ට්” නම් 18 වන කවි සිත්තම දැක්වීමට හැකි ය.

ගෑස් නැති සිහිනෙකින්
බයවෙච්චි අක්කාට
පෝට්සිටියෙන් ගත්ත
ලුණු වතුර ටික පොවමු
එතකොටත් වද දිදී
මුතු ඇටේ වට කරපු
ගිනි පිඹින මකර මුළු
“වන් රෝඩ් වන් බෙල්ට්”
කිය කියා කැරකුණොත්
සෝතාප අඩි ලකුණු
මිටෙන් මුදා හැර
ජින්පිංව සිහි කරමු”

නවක කිවිඳියක් ලෙස චතුරිකා කාව්‍ය ලොවට ප්‍රවිෂ්ඨ වන්නේ කලබලයෙන් තොර නිහඬවතිනි. ඇගේ කවියේ විරෝධාකල්ප ඇතත් ඝෝෂාවක් නැත. විවේචන ඇතත් පහර දීමක් නැත. සමාජ සෝපාහසය ඇතත් අපහාස නැත. ඇය අමතන්නේ මුලු මහත් සමාජයට ම දෑස් විවර කර අවට පවතින ජීවත් වීමේ දුෂ්කරතාව දෙස බලා යමක් කරන්නට ය.

ඒ “අනෛතික ස්නේහය” නම් 06 වන කවිය අන්දර වැව ප්‍රදේශයේ කුකුළු කොටුවලින් කුකුළන් කෑ කිඹුලියක පිළිබඳවය. කුකුළු ගොවීන්ට මහත් හිසරදයක් වූ එම කිඹුලිය අල්ලා ගැනීමට වනජීවී නිළදාරීන් සමත් වීමත් සමඟම ඒ කිඹුලිය ගැබ්බර බවද හෙළි වෙයි.

ගැබ්බර ඇය සිය කුස ගින්දර නිවා ගැනිමට යන්නේ ඒ අවට ඇති කුකුළු කොටු වෙතය. මේ කුකුළු කොටු තුළ සිටිනුයේ යම් දවසක ලොරියක නැගී නගරයට යාමට නියමිත සතුන් ය. එසේ යන්නේ කොටු අයිතිකාරයාගේ හා ඔහුගේ සුතඹුවන්ගේ යහපත වෙනුවෙනි. කිඹුලිය බාධා කරන්නේ මේ චක්‍රයට ය. වනජීවි නිළදාරීන් පෙනී සිටින්නේද එම චක්‍රය රැක ගැනීම වෙනුවෙනි. ඒ පෙනී සිටීම සාධාරණද? කිඹුලිය අසාධාරණ ද? කුකුලන් වෙත ලබා දෙන සාධාරණය කුමක් ද? එවිට ගොවියන්ට කුමක් සිදුවෙයි ද. මේ කිසිත් කිවිඳිය අපෙන් අසන්නේ නැත. අපට සිතන්නට යමක් ඇය කවියෙන් කියනවා පමණි. ජන කවියක තාල මිහිරක ඇය උක්ත කවියට කැඳවයි.

දෙගම්බඩ දිමුතු සොයමින් ආ මලවී
පිය සුතඹුව දැක ඇත වැව තුළ පැළවී
බඩ දරුවන් දරා වැව් ඉවුරේ තනි වී
ලණු බැඳි සිතිනි සොල්මන් වී ඇති කිඹුලී

මුලු මහත් සමාජයම හොල්මන් වී ඇති කාලයක එලි දක්වන්නට යෙදුන ” පෙමාතුර චෙරි කුසුම” කාව්‍ය සංග්‍රහය තුළ හමුවන කාව්‍යාවලියෙන් රසිකයා වෙත පිරුණ කාව්‍ය අත් දැකීමක් ගෙන ආ කිවිඳී, ඩිල්ශානි චතුරිකා දාබරේගේ අනාගත කවි ගමන් මගේ සාර්ථකත්වය පතා අපි ඇයට සුබ පතමු.

නිරෝෂ ප්‍රනාන්දු

හැමිල්ටන්, බර්මියුඩා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...