වීරයන්ගේ ඇතුළට යන වීර චාරිකාව නොහොත් ‘රජා මං වහලා’

නාට්‍යකාරයෙක් කියන්නෙ මැජික්කාරයෙක්. ඔහුගෙ අතේ අදෘශ්‍යමාන මැජික් යෂ්ටියක් තියනව. මේ යෂ්ටියෙන් වේදිකාව මත මවන මැජික් එක තමයි නාට්‍යය කියන්නෙ. මම නම් වේදිකාවක් ඉස්සරහ වාඩිවෙන්නෙම ඉන්ද්‍රජාලයක් බලන්න හිතාගෙන. චාමික හත්ලහවත්තගෙ රජා මං වහලා බැලුවහම අපි ජීවත්වෙන මේ වාස්තවිකය කොතරම් ඉන්ද්‍රජාලිකයිද කියල අපිට පෙන්නන්න පුළුවන් මැජික්කාර නාට්‍යකාරයෙකුටද විතරමද කියල හිතෙන්නෙ නැත්නම් පුදුමයි. කොටින්ම කිව්වොත් රජා මං වහලා කියන්නෙම වේදිකාව මත විය නොහැකියාවක්.

වීරයො තුන් දෙනෙක් ගැන කියන මේ නාට්‍යයෙ නළුවන්ට නිශ්චිත භූමිකා නෑ. හරියටම කියනව නම් වීරයො ගැන කියන නාට්‍යයෙ නළු වීරයො වීරවරියො නෑ. හැමෝම වීරය වෙනව; හැමෝම වීරයගෙන් මිදෙනව. මේ වීරයින් තුන්දෙනා සන්දර්භ තුනක වීරයො තුන්දෙනෙක්. ප්‍රේමතිලකගෙ කතාවෙ ප්‍රේමතිලක කියන්නෙ මේ ව්‍යුහයට අවශ්‍ය වීරයා. එයා කාලානුක්‍රමිකව වීර කඩයිම් පසුකරගෙන ව්‍යුහයට අවශ්‍ය වීරයා ලෙස නිෂ්පාදනය වෙමින් ඉන්නව.ඊළඟට දුටුගැමුණු කියන්නෙ සෑම විටම අනෙකෙකු නිර්මාණය කරමින් ගොඩනැගෙන සංකේතික දෘෂ්ටිවාදී වීරයා. සුරංගනා කතාවෙ එන වහලා විතරයි ව්‍යුහන්ගෙන් සහ දෘෂ්ටිවාදී සිරගෙවල්වලින් පරිබාහිර වීරත්වයක් නියෝජනය කරන්නෙ. හැබැයි නාට්‍යය ඇතුළෙම ඒ කතාව
සුරංගනා කතාවක්!

මේ වීරයන් වීරයන් වීම නිසා ඔවුන් දරන ආතතියත් ඒ වීරයන් ගොඩනගන දෘෂ්ටිවාදී ව්‍යුහ සමාජය මත ඇති කරන ආතතියත් හත්ලහවත්ත වේදිකාව මතට ගෙනඑන්නෙ උත්ප්‍රාසාත්මක විදිහට. ඇත්තටම ඒ වීරයන් වීරයන් වෙලා තියෙන්නෙත් සමහර වීරයන් විනාශ වෙන්නේත් ඔවුන්ගේම නිසඟ උවමනාව නිසාද? මේ රජා මං වහල ඇතුළෙ දෝංකාර
දෙන ප්‍රශ්නය…

හත්ලහවත්ත අපි පැටලිලා ඉන්න දෘෂ්ටිවාදී පඹගාල රජා මං වහලා ඇතුළෙදි සීරුවට ලිහනව. එම දෘෂ්ටිවාදී ලෝකයේ ඉන්නවුන් පවා නොරිදෙන විදිහට ඒ වැඩේ කරන එක මැජික් එකක්ම තමයි.

ලහිරු කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...