තරංගා රණසිංහගේ ‘නිදි නැති නිම්නය’

නවකතාවක් කියවීමකට ඉසිඹුවක් නැති මොහොතක රසවත් කෙටිකතාවක් කියවීමට ලැබීම ම භාග්‍යයකි. ඇතැම් කෙටිකතා නවකතාවකින් ලබා දෙන සමාජාවබෝධය; ජීවිතාවබෝධය ඉක්මවා යන තරමට ම හරවත් ය ; රසවත් ය. නිදි නැති නිම්නය ද එසේ වූ කෙටිකතා ඇතුළත් ඉතා කුඩා කෙටිකතා සංග්‍රහයකි.

තරංගා රණසිංහයන්ගේ තුන්වන කෙටිකතා සංග්‍රහය වන මෙය තුළ පිටු දහයත් දොළහත් අතර ඉතා කෙටි කෙටිකතා පහක් අන්තර්ගත වන අතර කතුවරිය යොදාගන්නා විවිධ වූ ශිල්පෝපක්‍රම පාඨක මනස ප්‍රබල ලෙස කම්පනයකට පත් කරයි.

රතු කොට්ටම්බා ගස්

ගණිතමය සංකල්ප තුළින් ග්‍රාමීය අධ්‍යාපනයේ කඩතොලු , අවපැහැ පැල්ලම් සොයා යන්නා වූ මෙම කෙටිකතාව තුළ අතීතය හා වර්තමානය අතර සියුම් ව දිවෙන කතා වින්‍යාසයත් රතු කොට්ටම්බා ගස් හා තීන්ත පෑනෙන් උපදනා උත්ප්‍රාසයත් පාඨකයාගේ රස නහර කූද්දයි.

නිදි නැති නිම්නය

යටි අරුත් වටහා ගන්නට පුහුණු පාඨකයෙක් ඉල්ලා සිටින්නා සේ සිතුණමුත් ටික්කය්යා තුළින් කතුවරිය ගොඩනගන සියුම් ධ්වනිය කෙටිකතාව මධ්‍යයට යන විට වැටහෙන්නට විය. කෙටිකතාව අවසානයේ පාඨකයා ප්‍රබල ලෙස කළඹන්නට සමත් වන්නේ නිදි නොලබන නිම්නයක පාඨකයා අත් හැර දැමීමෙනි.

නිකිණි පාලුව

බිනර මල් පූදින්නට නිකිණි පාලුවට ඉඩක් නොදෙන සුනන්දා නම් දිරිය ගැහැනිය තුළින් සැමියා නොමැති ව දිවි ගැට ගසා ගන්නට තැත්කරන සමාජයීය ස්ත්‍රී චරිතයන් සංකේතානුසාරයෙන් ගෙන එන මෙහි සුනන්දා ගැමි සමාජයේදී මුහුණ දෙන අනේක විධ හැල පැප්පීම් තුළට මුහුණ දෙන ආකාරය කතුවරිය ගෙන එයි. විටෙක රසවත් කෙටිකතාක් වන මෙය තවත් විටෙක හොඳම තැන් අල්ලා ලියන ලද වාර්තාවක් බඳු සේ ය.

ගෝල්ඩන් කී

කෙටිකතා සංග්‍රහයේ එන සාර්ථක ම නිර්මාණයක් වන මෙය අධ්‍යාපනය , විශ්‍රාමික දිවිය , ජීවන අරගල , ව්‍යාපාරික හා නවීන ලෝකය හා ඒකාබද්ධ වෙමින් පවතින මෙහි එන එකම කෙටිකතාවයි. නිශාරා දරු දැරියන් වෙනුවෙන් කරන්නා වූ කැපකිරීමේ අගය මතුවන්නේ ඔහුගේ සැමියාගේ සල්ලාල ජීවිතය හා සසඳන කල්හි ය. කතුවරිය නොකියා කියන්නා වූ වෘත්තාන්තයේ දිග පළල මැනීම පාඨකයාට භාර ය.

මහ බඹාට මුහුණු දෙකයි

ඉතා රසවත් කෙටිකතාක් වන මෙය කියවා අවසානයේ දී පාඨකයාගේ මුවින් නිතැතියෙන් ම ‘අපොයි’ කියා කියවෙනු ඇත. ගැමි සහෝදර දෙපළකගේ ආරවුලක ප්‍රතිඵල වත්මනෙහි භුක්ති විඳිමින් සිටියදී එය අනාගතයේ කෙසේ වේදැයි ඉඟිලමින් කෙටිකතාව අවසන් වන්නේ සුදාගේත් කුමාරීගේ අනාගතය පද්මයේ මීදුමක පටලවමිනි.

සමස්තයක් වශයෙන් කෙටිකතා පහ ම ඉතා රසවත් කතුවරිය ඉදිරිපත් කරන අතර සෑම කෙටිකතාවකට යොදාගන්නා සංකේත අනුභූතියට ඖචිත්ත ලෙස තෝරා ගැනීමට ඇය සූක්ෂම වෙයි. මෙහි එන බොහෝ කෙටිකතාවල වස්තු විෂයන් සම්ප්‍රදායික ලෙස වර්ග කළ හැකි නමුත් ඇය එම සාම්ප්‍රදායිකත්වය ඉක්මවා යමින් කෙටිකතාව ඉදිරිපත් කිරීමේදී ආඛ්‍යානය විවිධාකාරයේ සැත්කම්වලට භාජනය කරවයි. ගෝල්ඩන් කී , රතු කොට්ටම්බා ගස් කෙටිකතා ද්විත්වය තුළ ඇය ආඛ්‍යානය ගොඩ නැගීමේ බුහුටිතාවය ප්‍රබල ලෙස පෙන්වන අතර ම මහ බඹාට මුහුණු දෙකයි තුළින් ඇයගේ සියුම් අවස්ථා හා සිදුවීම් ගොඩනැගීම පෙන්නුම් කරයි. මෙහි කලාත්මක ම භාෂාව නිකිණි පාලුවේ දී ඔබට හමුවන ඇත.

අටෝරාසියක් දුක් කන්දක් ඉසිලූ සුනන්දාගේ විලාපයට බිය වී ඉකි ගසා හඬන කුමාරීගේ දරුවාත් තීන්ත පෑනෙන් ලොග් පොතෙහි අත්සන් තබන විදුහල්පතිවරියක ත් අන්දුන් කුන්දුන් වී සිටින කාන්තිලතා ඉදිරියේ නිශාරාගේ කෙටි තුවාය ගැලවෙන අයුරු බලන්නට ඔබත් නිදි නැති නිම්නයට පියනැගිය යුතු ය.

අකලංක මාතරගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...