සිලිලාරෙක හෙල්මැලී
පෙති අතරින් සැලි සැලී
කනට නොයෙන සිතට දැනෙන
සිලි සිලියක පැටලිලා.
_ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
ලක්ශාන්තගේ නවතම කාව්‍ය සංග්‍රහයේ නම ‘හැඟුම් ගඟේ හැංගිලා’ යන්න ඇසෙන විට ම මගෙ මතකයට ආවෙ මානවසිංහයන්ගෙ සිනා කුමරි කවිය යි . ලක්ශාන්තගේ මේ කාව්‍ය සංග්‍රහය කියවන විට ගුණදස අමරසේකරයන් කාව්‍ය සම්ප්‍රදාය කෘතියෙ මතුකරන අදහසක් මතකයට ආවා. ඒ අදහස පහතින් දැක්වෙනවා.
“සැලලිහිණියෙහි ,ගුත්තිලයෙහි ඇති කවිබස ,උපමා _රූපක ,විරිත් කෙරෙහි අපට භාවාත්මක ප්‍රතික්‍රියාවක් නැගිය නොහැකි ද? ඒවා අපගේ රසාස්වාදන විඥානයෙන් ගිලිහී ගොස් තිබේ ද? ඒවා අපට අවිෂය ද?”
අමරසේකර මෙහි දී කවිය කෙරෙහි අප දක්වන භාවාත්මක ප්‍රතික්‍රියාවන් ගැන සැලකිලිමත් වෙයි. එය ඉතා වැදගත් දෙයකි .එහෙත් අපට භාවාත්මක ප්‍රතික්‍රියා නැගිය හැක්කේ අමරසේකර යෝජනා කරන ආකාරයේ හදබසකට පමණක් නොවේ .
තිලකසේන මාරියාව කාව්‍ය සංග්‍රහය තුළ යොදා ගන්නා බසට ද අපට භාවාත්මක ප්‍රතික්‍රියා දැක්විය හැකි ය . ලක්ශාන්තගේ නවතම කාව්‍ය සංග්‍රහය කියවන විට පෙනීයන කරුණක් වන්නේ අමරසේකර යෝජනා කරන සම්භාව්‍ය කාව්‍ය සාහිත්‍යය මතු නොව අමරසේකර, මොනිකා, රත්න ශ්‍රී, රණවීර, නන්දන, එරික්, තිලකසේන ආදී අපේ විශිෂ්ට කවියන්ගේ කවිබස මැනවින් ප්‍රගුණ කරමින් තමන්ට අනන්‍ය විශිෂ්ට කවි බසක් ඔහු නිපදවා ගන්නා බවකි . ලක්ශාන්තගේ කාව්‍ය ඥානය පෝෂණය වන්නේ හුදෙක් සිංහල කාව්‍ය සම්ප්‍රදායෙන් පමණක් නොවේ. නෙරුඩා,කමලා දාස්,බෂෝ ආදී විවිධ කවියන්ගෙන් ඔහුගේ කවිය පෝෂණය ලබයි .
ආචාර්‍ය ගුණදාස අමරසේකර ඔහුගේ කාව්‍ය සම්ප්‍රදාය කෘතියේ දී සරච්චන්ද්‍රගේ දෘෂ්‍ය කාව්‍ය අධ්‍යනය නොකිරීම ගැන නව පරපුරට දොස් කියයි . එහෙත් ලක්ශාන්තගේ කාව්‍ය භාවිතය දෙස පරීක්ෂාකාරී වන විට පැහැදිලිව පෙනෙන්නේ සර්ච්චන්ද්‍ර සිය දෘෂ්‍ය කාව්‍ය සඳහා භාවිත කළ සම්භාව්‍ය සාහිත්‍ය භාෂාව වෙත ඔහු ඉතා සංවේදී බවයි .
සිංහල කවිය වෙත එළඹ එය පර්‍යේෂණ භූමියක් කර ගනිමින් කටයුතු කිරීම ප්‍රශංසනීය කටයුත්තකි. ලක්ශාන්ත එළඹ සිටින්නේ ඒ මගට ය. නදුන් යසිත දසනායක ද එබඳු එළඹුමක සිටින කවියෙකි .අනුරාධා නිල්මිණීගේ නාරි සූත්‍රය ද එබඳු මගකට පිළිපන් කිවිඳියකගේ භාවිතය නිවේදනය කරයි. තමන්ගේ කවියට බැහැරින් ලැබෙන ප්‍රතිචාර කෙබඳු ද යන්න නොසලකා කටයුතු කිරීමට නිර්බය වීම වැදගත් දෙයකි. පහතින් දැක්වෙන්නෙ ලක්ශාන්ත සිය කාව්‍ය සංග්‍රහය ආරම්භ කිරීමට පෙර ලියන ලද සංකල්පනාවක කොටසකි .
“පහදන්නට මේ යැයි බැරි
ඇතැම් අපැහැදිලි බිඳුමක්
ලැසි ගැල්වේ අහඹු තැනක
ඉහිරී යයි දිලිසිලා
පහදන්නට බැරි විඳුම්, රිදුම් වෙත යා හැකි මාර්ගය කවිය බව ලක්ශාන්ත වටහාගෙන සිටියි .poet try to say the unsayable යනුවෙන් බටහිර විචාරකයකු කීවේ ද එයයි .ලක්ශාන්තගේ කාව්‍ය සංග්‍රහයේ එන එක් කවියක් පමණක් මෙහි දී ඔබේ අවධානයට ලක්කිරීමට කැමැත්තෙමි .
සියුම් කොඩි සලකුණු
කියූ ලියූ වදන්වලින් දෙයක් වේද ඔබට දැනුණු
නොදුටුවේ ද ඒවා තුළ තිබුණු සියුම් කොඩි සලකුණු
ඈත සිටන් පොළොව යටින් එළා තිබෙන
රැහැන් වැලක් සේ රහසින් විදුලිය දෙන
හැඟුම් නහර ගොමුවක් ඇත මා රිදවන
සෑරූ කිසිවකුට මෙතෙක් මුණ නොගැසුණ
අත හැර ආ භවාරාමයකින් විදෙන
ගුප්තාදර කිරණාවලියක් ද කුමන
නොදනිමි මට දිය නොහැකිය අතට රැගෙන
එය භූගත මල් යායකි ඔබම සරන
අදහන්නට බැරි ආදර නදියක් ඇත පසෙහි ගිලුණු
නොදුටුවෙහිද එය අඟවා සැලෙන සියුම් කොඩි සලකුණු
මේ කුඩා සටහන තබන්නේ
සිංහල කවිය ගැන සංවාදයක් කිරීම සඳහා අවශ්‍ය මෙවලම් සපයා ගැනීම පිණිස විවිධ පොතපත කියවන අතර ය . ඒ පොත් කීපයක සේයාරුවක් ද මේ සමග ඇත.
ප්‍රියංකර නිවුන්හැල්ල