අවුරුදු කීපයක් තැන තැන පළවුණු කවි ටිකක් පොතකට එකලස් කරන්න ඕනෙ කියල හිතුණෙ මේ අවුරුද්ද මුලදි. ඒ වෙද්දිත් මගෙ හිතේ ඇඳිලා තිබ්බා, කවරෙ විකුම් ජිතේන්ද්‍රට දෙන්න ඕනෙ කියලා. ඔහු කාලයක් තිස්සෙ පොත්වලට කළ කංචුක මාත් කාලයක් කියවමින් හිටියා. ෆීල්ඩ් එකේ කිහිපදෙනෙක් පටන් අරන් තිබුණු ‘පොත් කවර/කංචුක’ ගෲප් එකේ පළ වුණු සටහන් නිසා ඊට තව අඩුවැඩිය සැපයුණා. කවර නිර්මාණයෙදි ඔහු තියෙන මිනිමලිස්ටික් + ක්‍රියේටිව් + යුනීක් මුද්‍රාවට මං පෞද්ගලිකව කැමතියි.
පොතට යෝජනා වුණු නම් තුනක් තිබුණා. එකක් මගේ, නම් දෙකක් කාංචනා අමිලානි අක්කගෙ. පළවෙනි නම තියද්දි ම මං විකුම් අයියට කතා කළා. මගේ හිතේ ඇඳුණු රූපය කිව්ව. ඔහු ඒක අහන් හිටියා. නමුත් අවසානේ තවත් හොයාබලලා ස්ථිර කරගත්තෙ තුන්වෙනි නම, ‘පෙමාතුර චෙරි කුසුම’.
පොතට කවරෙ හදන්න දුන්නම, කවි ටිකත් කියවලා, විකුම් අයියා ඇහුව පළවෙනි දේ තමයි, ‘ඔයාගෙ හිතේ තියෙන දේවල් ටික කියන්න’ කියන එක. මගේ හිතේ තිබුණේ චීන, ජපන් ටයිප් කවරයක්. අත්තකින් චෙරි මල් බිමට වැටෙන වගේ දෙයක්. තේමාවට අරන් තියෙන කවියෙන් නිරූපණය වෙන්නෙ එහෙම දෙයක් නිසාත්, චීන-රුසියන් ආකාර කවි කිහිපයක් ම තියෙන නිසාත්. මට ඕනෙ වුණේ මං කියන දේ, ඉල්ලන දේ ඔහු කවරෙට ගැනීම නෙමෙයි. ප්‍රෙශර් කිරීමකින් තොරව, ඒ වැඩේට වුවමනා නිදහස ඔහුට දීලා එයාගෙ ම අවුට්පුට් එක එළියට ගන්නයි.
කවරෙ ගැන දුරකතන සංවාද වට කිහිපයක් අපි අතර හුවමාරු වුණා. පාට දෙකකින් කවරෙ ගන්න ප්ලෑන් හැදුණා. ‘ලොකු ලොකු දේවල් නොකර, අවමය සරලව හදන්නම්’ ඔහු එක තැනක දි කිව්වා. ඒ අනුව කවර තුනක් ඔහු හදලා එව්වා. ඒ තුනෙන් රචකයාගේත් ප්‍රකාශකයාගේත් තව කිහිපදෙනෙකුගේත් අදහස් අනුව දිනුම ගියේ මේ කවරෙට.
දැන් කවරයේ කතාවට එන්නම්. මේ තියෙන්නෙ, විකුම් ජිතේන්ද්‍රගෙ ම අවුට්පුට් එක. මේ තියෙන්නෙ ඒ ගැන මගේ කියැවීම.
චෙරි කුසුම පොත් කවරේ තියෙන්නෙ, චෙරි මල් ඉත්තක් ඉහළ සිට පසුබිමට වැටුණු දර්ශනයක්. එතකොට අපි ඉන්නෙ චීනයෙ. ඈතින් පේන්නෙ ශැංග්‍රිලා ගොඩනැගිල්ල සහ එතනින් පාරෙ යන බස් එකක්. ඒ පැත්ත නියෝජනය කරන්නෙ ලංකාව. ඒ වගේ ම ලංකාවට මෑතකාලීනව සිදුවුණු චීන බලපෑම්. කවරයේ ශේඩ් වුණු පැල්ලමක් වගේ දෙයක් ශැංග්‍රිලාවත් චෙරි ඉත්තත් සම්බන්ධ කරනවා. ඒ අතීත මතකය. එහෙම නැත්නම්, හීන ලෝකය සහ පයතියන පොළොව කියල හිතන්න වුණත් පුලුවන්.
කවරය පසුපස මුදුනේ තියෙනවා ලංකාවේ විහාර සිතුවම්වල, සාම්ප්‍රදායික මල් මෝස්තරවල දකින්න ලැබෙන, විශේෂයෙන් මහනුවර යුගයේ චිත්‍රවල රතු පසුබිම පුරවන්න යොදාගත්ත සපු මලක්. චෙරි මල කවරයේ ඉදිරියෙනුත් සපු මල කවරය පිටුපසිනුත්. ‘චෙරි කුසුම’ කවිය කියෙව්වා ම මේ සංඛේතය ඔබට තේරේවි.
‘චෙරි කුසුම’ කියල තියෙන අකුරු ටික මගේ හිතේ ඇදුණු චීන ටයිප් කොමල – සරල බව මුසු වුණු ෆොන්ට් එකක්. සුදු පැහැ කවරය අතරින් නම නැගී සිටින්නෙ ඒ ෆොන්ට් එක නිසාත්, එය රතු පැහැ කිරීම නිසාත්, එහි හැඩරුව නිසාත්. මගේ නම සඳහන් කරන තැන දි විකුම් අයියා මගෙන් ඇහුවා, ‘චීන බිත්ති සැරසිලි, චිත්‍රවල එයාල අකුරු පළකරලා තියෙන්නෙ ඉහළ සිට පහළට පේළියක් විදියට නේද’ කියලා. ඔහු ඒ ස්වභාවය කවරෙට අරගත්තා සිරස් පේළියක් විදියට. මං හිතනවා ඒ නම තියපු ස්වභාවෙ ගැළපුණා කියල තේමාවට. කවරය බැලූ කෙනෙක් කිව්වා, ‘ඔයාගෙ නම තියෙන්නෙත් චීන අකුරුවලින් ද කියල මං මූණ ළංකරලා ම බැලුවා, චීන අකුරු වගෙ ම ෆොන්ට් එකක්’ කියලා. ඒ අකුරු පේළියට උඩින් තියෙන පුංචි චෙරි මල මං මේ කවරේ ආස ම සිඟිති ම තැනක්. ඒ මල මට සිහිකරනවා මං පුංචි බව.
ඒ වගෙ ම, අරුන්දතී රෝයිගෙ The ministry of utmost happiness පොත් කවරේ සොහොන් පලකය උඩ පෙනී නොපෙනෙන ගානට ඉන්න පුංචි මැස්සා මට මතක් වෙන්නේ, ඒ මල දැක්ක ම. අවමයෙන් උපරිමයක් අඟවන දෙයක් කියන්නෙ කවරෙකට ආභරණයක් කියල මං හිතනවා.
නිර්මාණකරුවගෙන් මදකට මිදිලා මේ පොත් කවරය ගැන කෙටි විමසුමක් තියන්න වුවමනා වුණේ කංචුක නිර්මාණකරුගේ එෆර්ට් එකට ගරු කිරීමක් විදියටයි. පොත් කවරෙට ලැබෙන අවංක ප්‍රතිචාර ගැන මට තියෙන්නෙ සුහද සතුටක්.
කවරයට ඉන්ද්‍රයක් වූ විකුම් ජිතේන්ද්‍රට ස්තූතියි !
දිල්ශානි චතුරිකා දාබරේ