කැමති නම් බස්සෙකුට පෙම් කරන්නට එන්න
දවාලට නම් ඉතින් බෑ තමයි හමුවෙන්න
තිත්ත කළුවර මැදින් කළුවරේ ඔබ එන්න
දත් පේන ලෙස හොඳට හිනාවීගෙන එන්න
දිවාචර සතුන්ගේ දිවා කල විසුළු දැක
හිනා යනවා හොඳට නිශාචර බස්සෙකුට
හඳ වුණත් ලත නොවී ලිස්සලා බහිනකොට
ජීවිතය පැණි රසයි කවි ලියන බස්සෙකුට
හැබැයි අව් කණ්නාඩි එපා අරගෙන එන්න
බත් බුලත් මක්කටෙයි එපා කරදර වෙන්න
ඉස්ම ගලනා තුරා ජීවිතය මිරිකන්න
තිත්ත කළුවර විඳින බස්සෙකුට ළංවෙන්න
කළුවරේ පව් කරන උනගෙ හද විසකුරුය
කළුවරේ ලව් කරන බකුසු හද විසිතුරුය
සනුහරේට ම ලියන බකුසු කවි නොමසුරුය
සුමිතුරේ ඒ කවිය ජීවිතේ අඬහැරය
බස්සෙකුගෙ හාදුවක පුහුලමක කහට ඇති
ඒ කහට ඇතුළේ ම ජීවිතය ගලනවැති
රැස් වළලු නැතුවාට බස්සො කවි ලියනවැති
ඒ ලියන කවි පුරා ආදරය උනනවැති
ගස් කොළං වදුළු මැද කළුවරේ හිටියාට
ඇත්ත හොඳහැටි පෙනෙයි මූකලන් බස්සාට
ඇස් පියන් දවාලට බුකෝගෙන උන්නාට
බස්සෙකුගෙ හද මඬල පත්තුවෙයි කළුවරට
කුමාර හෙට්ටිආරච්චි