1960 අවුරුද්දේ එක දවසක ජෙෆ්රි බාවා මහතා හමුවීමට අපූරු කාන්තාවක් එනවා. ඇය එන්නේ ඇගේ සැමියා, එවකට ලංකාවේ ප්‍රධාන පොලිස් නිලයක් දරූ ඔසී ද සිල්වා සමග. ඔවුන්ට උවමනා වෙලා තිබුනේ ජෙෆ්රි බාවා ලවා කොළඹ ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යානය ආශ්‍රිතව පිහිටි ඉඩමක නිවසක් නිර්මාණය කරගැනීමටයි. ඇගේ නම ඊනා ද සිල්වා. මේ ජෙෆ්රි, ඊනා හමුව අපූරු දේවල් නිර්මාණය වෙන ඉතාම නිර්මාණශීලී මිත්‍රත්වයක් බවට පෙරලෙන්න ලොකු කාලයක් ගතවුනේ නැහැ. මේ සිදුවීම ජෙෆ්රි බාවා ගේ නිර්මාණ සගයා වුනු උල්රික් ප්ලේස්නර් තමන්ගේ ස්වයං චරිතාපදානය වුනු “ඉන්සිටු“ (in-situ) පොතේ සටහන් කරන්නේ මෙහෙම.
“එක දවසක් ඊනා ද සිල්වා අපේ කාර්යාලයට (ජෙෆ්රි බාවා කාර්යාලය) ආවේ ඇයට අප ලවා නිවසක් නිර්මාණය කරගැනීමේ අරමුණින්. ඇය බුද්ධිමත්, ආකර්ෂණය, ලස්සන, විනෝදකාමී කාන්තාවක්. ඇය විවාහ වෙලා හිටියේ එවකට සිලෝන් වල පොලිස් ප්‍රධානියා වූ ඔසී ද සිල්වා සමග. ඔසී ද සිල්වාත් උපදෙස් ගත්තේ ඇගෙන්. ඇයට ඕනෙ වුනේ ලක්ෂ දෙකක් වියදම් කරලා ගෙයක් හදන්න.”
උල්රික් ප්ලෙස්නර් (In-situ, 199 පිටුව)
ඊනා ද සිල්වා ගැන තබන මේ සටහන ජෙෆ්රි බාවා සමග පටන් ගන්නේ ඇය ගැන කතාකිරීමට නම් අනිවාර්යයෙන් ජෙෆ්රි බාවා සමග ඇයට තිබූ මිත්‍ර සමාගම ගැන කතාකලයුතු නිසා නොවෙයි. කවුරුත් දන්නා තැනකින් කතාවට පිවිසීම උචිත නිසයි. ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කල ඊනා ද සිල්වා නිවස ඔහුගේ නිර්මාණ දිවියේ හැඩය වෙනස් කිරීමට සෑහෙන බලපාන ලද්දක්. පැරණි ලාංකික වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ඔහුගේ නිර්මාණයක් තුල පළමුව පැහැදිලිව දක්නට ලැබෙන නිර්මාණය තමයි ඊනා ද සිල්වා නිවස. එයට හේතුව ඔහුට එම නිවස ඊනා වැනි ප්‍රබල දැක්මක් සහිත කාන්තාවක් වෙනුවෙන් නිර්මාණය කිරීමට ලැබීම විය හැකියි. ඒ වගේම ඊනා ද සිල්වා තමා තුල සඟවාගෙන සිටි ඒ අපූරු නිර්මාණ ශක්‍යතාවය මුදාහරින්නේ ද ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන විශිෂ්ට ගොඩනැගිලි හරහායි. කොළඹ ඔබරෝයි හෝටලයේ පිවිසුමේ විශාල සිවිලිම සඳහා ඊනා විසින් නිර්මිත අලංකාර රෙදි මෝස්‌තර යොදාගැනීමට සම්බන්ධතාවය ගොඩනගන්නේ ජෙෆ්රි බාවා විසිනුයි. ඉන් පසුව බෙන්තොට බීච් හෝටලයේ, නිතර චායාරූප වලට හසුවන විවිධ විචිත්‍ර වර්නාවලියකින් යුතු සිවිලිම නිර්මාණය කෙරෙන්නේත් ඊනා ද සිල්වා විසින්. එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර නිර්මාණකරණය සඳහා යොදාගෙන ඇති විවිධ ධඡ නිමවා ඇත්තේද ඊනා විසින්. ඊට අමතරව දඹුල්ලේ කන්දලම හෝටලය ඇතුලත අලංකාර කරන දැවමය ඇත් පිළිම ද ඊනා ද සිල්වාගේ නිර්මාණ.
“ඇයට කදිම සිතීමේ හැකියාවක් තිබුණා, නව අදහස් ඉතා ඉක්මනින් ග්‍රහණය කරගැනීමේ දක්ෂතාවක් තිබුණා. ගොඩක් සිලෝන් කාන්තාවන් වගේම ඇයත් පවුලේ මධ්‍ය ලක්ෂය වගේම පවුලේ ප්‍රබලම ක්‍රියාකාරිනිය වුණෙත් ඇයයි. ඇයත් ජෙෆ්රි බාවාත් එකිනෙකාගේ ජීවිත ඉහලින්ම අගයකළා.”
උල්රික් ප්ලෙස්නර් (In-situ, 200 පිටුව)
මෙවැනි සුවිශේෂී කාන්තා පෞර්ෂයක් වූ ඊනා ද සිල්වා ගේ නිර්මාණ කුසලතාවය විශාල වපසරියක් කරා පැතිර යන්නක්. ලාංකීය පසුබිම තුල බතික් මෝස්‌තර කලාව ප්‍රචලිත කිරීමේ පුරෝගාමී චරිතයක් වන්නේ ඊනාය. එමෙන්ම පැරණි ලාංකීය මෝස්‌තර නිර්මාණ, වර්ණ සංයෝජන සහ හැඩතල නව ආරකින් නැවත කාලීන කලා සම්ප්‍රදාය වෙත රැගෙන ඒමට ඇය ගත් උත්සාහය අගයකලයුතු මනාය. ඇගේ නිර්මාණ ශක්‍යතාවය තුල ප්‍රභලව කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සුවිශේෂී වරණ සංයෝජනයයි. ඒ පිළිබඳව වරක් ඇය දැක්වූ අදහස මෙවැන්නක්.
“මේ වර්ණය අර වර්ණය සමග ගැලපෙන්නේ නෑ, එක් රෙද්දක ඇති වියමන තවත් එකක් සමග සසඳන්න බෑ. වගේ ගතානු ගතික අදහස් තමයි මට ගොඩක් ලැබුනේ. එත් මම ඒ අදහස් වලට පටහැනිව නොගැලපෙන යැයි කෙනෙක්ට හිතෙන වරණ එකට ගලපුවා, විවිධ රෙදි වියමන් එකිනෙක ගලපා නිර්මාණ කළා. අපි නිර්මාණශීලී වැඩකදී කාවවත් රිද්දන්නේ නැත්නම්, මොකටද එයාලගේ අනුමැතිය බලාපොරොත්තු වෙන්නේ”.
ඊනා අලුවිහාරේ (පසුකාලීනව “ද සිල්වා”) උපත ලැබුවේ 1922 මාතලේදී. ඇගේ දෙමාපියන් වුනේ, සිලෝන් ලංකාවේ පළමු පොලිස් ඉන්ස්පෙක්ටර් ජෙනරාල් (1947-1955) වුනු ශ්‍රීමත් රිචර්ඩ් අලුවිහාරේ මහතා සහ ලුසීල් අලුවිහාරේ. 1941 දී, වයස දහනවයක් වුනු ඊනා එවකට පොලිස් නිලධාරියෙකු වූ පසුකාලීනව (1955-1959) පොලිස් ඉන්ස්පෙක්ටර් ජෙනරාල් ලෙස උසස් වීම ලද ඔස්මන්ඩ් ද සිල්වා සමග විවාහ වුනා. ඔවුන් දෙදෙනාට දාව දරුවන් දෙදෙනෙකු උපත ලද අතර ඔවුන් අනිල් ගාමිණී ජයසූරිය සහ අනුලා කුසුම් ගිල්මෝ ය.
විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ තරුණ මවක් වන තෙක්ම ඊනා ඈ තුල සැඟව තිබුණු කලා ප්‍රතිභාව සොයා නොගත්තාය. පසු කාලීනව ඇය පැවසුවේ තම කුඩා දරුවන් දෙදෙනා විසින් අඳින කුරුටු බලි රූප දෙස බලා සිටිමින් තමන්ද එසේ කුරුටු ඇඳීමට උත්සාහ කල බවයි. ඒ හරහා ඇය තුල සැඟව තිබුණු අපූරු කළා හැකියාව ඇය විසින්ම සොයාගත්තා විය යුතුය. මේ අපූර්ව නව සොයා ගැනීමත් සමග ලියලමින් තිබුණු ඇගේ කළා හැකියාව විධිමත් ලෙස ස්ථානගත වූයේ 1960 වසරේදී ඊනා තම පුතු, අනිල් ගාමිණී ජයසූරිය, ඊනා ගේ ඉතාම හිතවත් මිතුරන් වූ, ලකී සේනානායක සහ මහාචාර්ය රෙජී සිරිවර්දන සමග එකතුව බතික් නිර්මාණ මධ්‍යස්ථානයක් ආරම්බ කිරීමයි. ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කල ඊනා ගේ ඇල්ෆරඩ් හවුස් උද්‍යානයෙහි පිහිටි නිවස ආශ්‍රිතව තමයි මෙම කලා හවුල ආරම්භ වුණේ. බතික් කලාව ගැන එවකට තිබුනේ ඉතාම සීමිත දැනුමක් වගේම වඩා ප්‍රචලිත ඇඳුම් නිර්මාණ කලාවේ ඉතා කුඩා අංගයක් විදිහට තමයි බතික් එවකට භාවිතා වුණේ.
“අපිට බතික් නිර්මාණ ගැන ලොකු දැනුමක් තිබුනේ නෑ. අපි බ්‍රිටනිකා විශ්වකෝෂයෙන් ඒ ගැන විස්තර කියවලා තමයි මුලින්ම බතික් අත්හදා බැලීම කළේ. ස්සම්ප්‍රදායික විදිහට බතික් වලට නියමිත ඒකීය මෝස්‌තර නිර්මාණය කිරීම වෙනුවට අපි අපිට අවශ්‍ය රූප, චිත්‍ර බතික් වලින් නිර්මාණය කරන්න ගත්ත නිර්මානශීලී උත්සාහය ඉතාම සාර්ථක වුනා.” ඊනා ඒ ක්‍රියාවලිය විස්තර කළේ ඒ විදිහට. මේ විශිෂ්ට කලා එකතුවත් සමග ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කල විවිධ ගොඩනැගිලි සඳහා ඔවුන්ගේ නිර්මාණ භාවිතා වුනා.
පසු කාලීනව 1980 දී පමණ ඊනා විසින් නැවත තමන්ගේ අක්මුල් විහිදුනු මාතලේ අලුවිහාරේ වෙත ගොස් “අලුවිහාරේ උරුම මධ්‍යස්තානය” නැත්නම් Aluwihare Heritage Centre ආරම්භ කරනු ලැබුවා. ඉතාම අභියෝගාත්මක තීරණයක් වුනත් ඊනා ද සිල්වා ඒ අභියෝගයට මුහුණ දුන්නේ ඉතාම ධනාත්මක මනසකින් යුතුව. ඇයට අවශ්‍ය වුනේ තමන්ගේ ගමේ ගැමි ජනතා සහයෝගය සමග නව නිර්මාණ සංස්කෘතියක්, වෙළඳ පොළක් බිහිකරන අතරේම එහි අතුරු ඵලයක් විදිහට ගැමි ජනතාවගේ ආර්ථිකයත් ශක්තිමත් කරන්න.
“මට අලුවිහාරේ තියෙන්නේ වැඩපොළක්. මම හරිම අකමැතියි එකට කර්මාන්තශාලාවක් කියන එක හරිම වානිජමය යෙදුමක්. මේක බහු කලා මධ්‍යස්ථානයක්. අවුරුදු දහ අටේ, දහ නවයේදී විතර මෙතෙන්ට ආපු ගම් වැසියෝ එයාලට වයස හැටක් වෙලත් තාම මෙතන වැඩ කරනවා. මම දන්නා හැම දෙයක්ම මම එයාලට කියල දුන්නා. අපි ඔක්කොම එකට වැඩ කරලා එකට වයසට ගිහින්. පටන් ගත්ත දවසේ ඉඳන් අපි ගොඩක් දේවල් දිනාගෙන තියෙනවා. මෙටහන වැඩකරන ගැහැණු පිරිමි මගේ දරුවෝ වගේ. විශ්වාසනීය බව වගේම ඔවුන් මටත් එකිනෙකාටත් දක්වන සහයෝගය මිල කරන්න බැහැ. අපි හැමෝම අන්තිමට මිනිස්සු නේද? මම හැමතිස්සෙම කරුණාකරලා සහ ස්තුත්යි කියන වචන පාවිච්චි කරනවා. එයාල දන්නවා මම එයාල කරන දේවල් කොච්චර අගයකරනවද කියලා. මේක අපේ ජීවිතය. අපි එක පවුලක් වගේ. කෙනෙක්ට ව්‍යාපාරයක් වහල දාන්න පුළුවන් එත් පවුලක් වහල දාන්න බැහැ. අපේ අතේ ගොඩක් වෙලාවට සල්ලි නැහැ, එත් අපි හරිම සතුටෙන් විනෝදයෙන් ඉන්නේ. මම හැම වෙලේම එයාලව හිනස්සනවා, සමහර වෙලාවට එයාල හිතනවා මට පිස්සු කියලා.”
(ඊනා ද සිල්වා සමග යශස්වී කන්නන්ගර විසින් 2011/ 7/11 සන්ඩේ ටයිම්ස් සඳහා කරන ලද සාකච්චාවකින්.)
විවිධ අභියෝග හමුවේ නොකඩවා තමන්ගේ නිර්මාණ කටයුතු වල නියැලෙනු ඊනා තමා සහ තමන්ගේ කාර්ය මණ්ඩලය ඒ අභියෝග හමුවේ නොසැලී කටයුතුකළ ආකාරය ගැන මෙසේද පවසා තිබුනා. මේ අදහස් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින වර්තමාන ලාංකික වටපිටාවට කොතරම් උචිතද?
“අපි කොහොමහරි කරගෙන යනවා. අපි එක රෙදි කෑල්ලක්වත් විසිකරන්නේ නෑ. අපි දුප්පත් රටක් ඉතින් අපි දේවල් නැවත පාවිච්චි කරනවා. මම හිතනවා අපි මහන්සි වෙලා වැඩ කලොත් අපිට වරදින්නේ නැහැ. අපි හැම වෙලේම මතක තියා ගන්න ඕනේ, මහන්සි වෙලා වැඩ කරනවා කියන එකට ආදේශක නැහැ.”
ඊනා ද සිල්වා සමග යශස්වී කන්නන්ගර විසින් 2011/ 7/11 සන්ඩේ ටයිම්ස් සඳහා කරන ලද සාකච්චාවකින්.)
අලුවිහාරේ උරුම මධ්‍යස්ථානය නැත්නම් ඊනා ද සිල්වා ගේ නිවාස පිහිටා තියෙන්නේ සුන්දර අලුවිහාරේ කඳු මිටියාවත යාබදව. ඇගේ මුතුන් මිත්තන් පරම්පරා ගණනක්ම දිවි ගෙවුවේ ඒ ප්‍රදේශය ආශ්‍රිතව. විවිධාකාර කැළෑ මල් වර්ග, රෝස පැහැ බෝගන්විලා මල් පිරුණු වැල්, තැඹිලි පැහැයෙන් දිලෙන ඇන්තූරියම් මල් වලින් පිරුණු කදිම උද්ධ්‍යානයකින් වටවුණු ඇගේ නිවස සැබවින්ම සිහිනයක් තුලට ඔබ රැගෙන යනවා යැයි සිතෙන තරමේ අලංකාර පරිසරයක්. විවිධ මෝස්‌තර සහ වර්ණ වලින් හැඩ වුනු කුෂන් කවර, කාපට්, බතික් කොඩි, විචිත්‍ර රෙදිපිළි වලින් සැරසුණු පරණ පුටු මේස සහ බිත්ති ඔබව ඉතාම සෞන්දර්යාත්මක සිතුවමක වෙතට ආදරයෙන් පිළිගන්නවා ඇති.
1980 වේදී ආරම්භ වී විවිධාකාර ගොඩනැගිලි සහ වෙනත් නිර්මාණ සඳහා සැරසිලි නිර්මාණ කරමින් ජාතික සහ අන්තර්ජාතික තලයන්හි පවා ලාංකික මෝස්‌තර, බතික් සහ රෙදිපිළි නිර්මාණ ලකුණ සනිටුහන් කල ඊනා ද සිල්වා විසින් ආරම්භ කරන ලද අලුවිහාරේ උරුම මධ්‍යස්ථානය 2015 වේදී එනා ගේ නික්මයාමෙන් පසුව අද දක්වාම සක්‍රීයව ක්‍රියාත්මක වීමේ රහස ඒ පිටුපස සිටින අව්‍යාජ ගැමි කලා තාක්ෂණ ශිල්පී ශිල්පිනියන්. ඔවුන් තමන් නිරත කලා කර්මාන්තයටත් අලුව්හිහාරේ මධ්‍යස්තානයටත් ඇත්තේ දැඩි බැඳීමක්. එමෙන්ම ඔවුන්ගේ ජීවිත ඒ මට්ටමට ඔසවා තැබූ ඊනා ද සිල්වා මහත්මියව අදටත් ඔවුන් සිහිකරන්නේ ඉතාම ගෞරවාදරයෙන්.
මේ වසරේ යෙදෙන ඊනා ද සිල්වා මහත්මියගේ ශතවර්ෂ පූර්ණ ජන්ම දිනය අරබයා ප්‍රදර්ශන සහ විවධ වැඩසටහන් කිහිපයක්ම සංවිධානය වී තිබෙන්නේ ඇය විසින් ශ්‍රී ලාංකික කලා සංස්කෘතික ප්‍රගමනය සඳහා දැක්වූ වැඩි අගයකිරීමක් නොලද දායකත්වය අනුස්මරණය කිරීම සඳහායි.
-සුමුදු අතුකෝරල
Photographs:
Portrait of Ena – Stephen Champion
Artists at work – Ruwan Meegammana
Ena’s work – Sumudu Athukorala