නවකතාවේ කැටිපෙ ලකුණ ; ‘නවයෙ කතාව’

නවකතාවක් ලෙස කෙරුණු සිනෙමා කතාවක් ‘නවයෙ කතාව’ නමින් ලියැවෙන්නෙ 2018 වර්ෂ දී, මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චිගේ වියමනක් ලෙසිනි. ජීවිත ගණනාවක් හා බැඳුණු සමාජ ස්තරයක් හෝ කිහිපයක් සමඟ සමුච්ච වෙන අකුරු චාරිකාවකට නවකතාව යැයි කියමු. නවකතා, ලියැවෙන සහ ලියැවුණු න්‍යායන් කොතෙකුත් ඇත. විධි රටා ද ඇත. එහෙත් ඒ කිසිවකට නොබහා ‘නවයේ කතාව’ දෙස බලන්නට රිසි කරවන්නේ, කතාව විසින්මය.

නවකතා රචකයකු වශයෙන් කැටිපෙ ස්ථාපිත වන්නේ ‘දූවිලි සේල’ය සිංහල සාහිත්‍යය මාවතේ ඇතිරීමෙන් අනතුරුවයි. ‘නවයෙ කතාව ‘ දෙවැන්න ලෙස සම්පාදනය වෙන්නේ පළමුවැන්න ලියා අවුරුදු ගණනාවකට පසුවයි. එය සැලකිය යුතු කාලයක්. ඒ කාලයේ අරුමය ‘නවයෙ කතාවට’ උපයුක්ත කොට ගෙන ඇති භාෂාවෙනුත් කතා අනුභූතියෙනුත් පාඨකයාට වැටහිය යුතුය. ‘දූවිලි සේල’ත් කියවූ අයෙක් වේ නම් ඒ සංසන්දනය ඔබට කළ හැකිය.

තමන්ගේ පරිකල්පනය භාෂාවෙන් තිතටම මතු කළ හැකි ආකාරයේ වචන ඔහු සතුයි. තමන් දන්නා වචන සමූහය ඉතා ළඟන්නාසුළු ලෙස වාක්‍යගත කිරීම , ඔහු සතු සුරුවිරුකමක්. ඒ ගැළපීම් අර්ථාන්විතයි වගේම පාඨකයාට වෙහෙසකාරී නැත. කියවීමෙන් අනතුරුව මොහොතකින්, ” දෙයියනේ මේ කියල තියෙන්නෙ මේ ගැන නේදැ’යි” පාඨකයාට දැනෙයි. පාඨකයා විස්මයට පත්වන්නේ එතැනදියි. ‘නවයෙ කතාවේ’ එහෙම තැන බොහෝ වෙයි.

“බියුටි මදූ තම අත රැඳි උස ප්ලාස්ටික් බෝතලය උඩු යටිකුරු කරමින් එහි තුන්කාලක් පිරෙන්න තිබූ වතුරේ නිශ්චලතාව බින්දේය”

‘බියුටි මදූ ‘ වතුර බිව්වේය, යන්න ඔහු අපට කියන්නේ එලෙසිනි. එපමණක් නෙවේ බලන්න මේ වාක්‍ය තුළින් ඔහු මවන රූපය. බියුටි මදූ, බෝතලය අතට ගන්න ආකාරය , එය මුව හොයන ආකාරය, බෝතලයේ වතුර ප්‍රමාණය යන සියල්ල ඔබේ මනසේ නිශ්චිතවම මැවිය යුතුමය. කතාව ඇරඹුමේදීම, ජෝතිපාල මාස්ටර් සහ සුනඛ පෝතකයා කඩපිලක් අස නිදා සිටිනායුරු වැලි කැටයක් ගානේ විස්තර කෙරෙන ආකාරය, ඒ මොහොත පාඨක දෑස් පෙනෙන මානයට කැන්දගෙන එන්නට තරම් ප්‍රබලය. ඒ මුඩුක්කු පරිසරය , ඒ උප සංස්කෘතිය නවකතාවකට පෙරළීම තුළ පිටින් එල්ලා වනන ගතියක් ඇත්තේම නැත. ලේඛකයා සතු වන නිරීක්ෂණාක්ෂියේත් පරිකපනයේත් තියුණුතාව ගම්‍යවන්නේ ඒ නිසාය.

ඔහු ගෙනෙන චරිත ද විශේෂය. සංකේතීය ය. ‘නවයෙ කතාවේ ප්‍රධාන චරිත ද නවයකි. ජෝතිපාල මාස්ටර්, නේරංජනා, කාන්ති, ධර්මලිංගම්, බියුටි මදූ, මංජු, උදයංගනී, සඳූ සහ සුනඛයා එහි උඩින්ම පෙනෙන පාත්‍ර වර්ගයායි. නවයෙ කතාව , පොත් ගෙඩියක් නොවේ. එය අතර බර නැත. එහෙත් එහි විවරිත කතාව හරබර ය. කෙටි පිටු කිහිපයක් වුවත් ඉහත එන සියලු චරිත පරිපූර්ණ වටකුරු චරිත ලෙස අපට හඳුනා ගන්නට හැකිය.

මෑත කාලීන සිංහල සාහිත්‍ය නවකතා තුළ සංක්‍රාන්ති ලිංගිකයන් ගැන ලියූ තැන් විරලය . කැටිපෙ, ‘බියුටි මදූ’ හරහා ලියන සංක්‍රාන්ති ලිංගික වෘතාන්තය පරිපූර්ණම නොවූවත් ඒ එළැඹුම ඉතා වැදගත් ය. එවැන්නවුන් මේ සමාජයේ ස්ත්‍රීත්වයට , පුරුෂත්වයට සම තලයක පවතින තවත් සමාජ භාවයක් පමණක් බවත් ය ඉතා සාමාන්‍ය බවත් මෙනයින් පෙනෙන්නට ගනියි. ‘බියුටි මදූ’ වන්නට පෙර පුණ්ණ හිමියන් ලෙස මහණ අවධියක් ගෙවූ ‘මදූගේ කතාව අතිසංවේදී තැනක් ලෙස කැටිපෙ ලියයි. මෙහි එන සෑම ජීවියෙක් ම එක් ආත්ම භවයකදී උහුලාගත නොහැකි තරමේ ජීවන චාරිකාවක් පැමිණ ඇත.

මේ ලිවීම තුළ තරමක වේගවත් බවක් පෙනෙයි. එය රචකයා සවිඥානිකව කළ දෙයක් බව ද පෙනෙයි. මේ තුළින් සිනෙමා රූපාවලියක් පාඨකයාට පෙනෙන්නේ ද ඒ නිසාය. දර්ශන ද සිද්ධි ද චරිත ද එහා මෙහා වන්නේ වේගයෙනි. එවැන්නක් ජනනය වන ලෙස ලිවීම කිසි ලෙසකත් පහසු නැත.

කතාව රචිත දෘශ්ටිකෝණය සර්ව ය. තනිකරම මෙය සිනෙමා කෘතියක කතා සාරාංශයක් බව නැවත කිව යුතුය. මෙය ‘මම’ විසින් කියනු ලබන කතාව බව රචකයා විසින් මුලදීම පාඨකයාට කියයි. එනම් ‘කැමරාවක් මගින් මෙය ඔබට පෙනෙයි’ යන හැඟවුම්කාරකයක් ද එහි වෙයි. ඉන් අනතුරුව මදක් දුර කියවාගෙන යන විට පාඨකයාට ඒ කතාවක් බව අමතකව තමන් ද එහිම චරිතයක් ලෙස පතන වන්නට යද්දී, මෙය කතාවක් බව රචකයා නැවතත් මතක් කර දෙයි. එයට බ්‍රෙශ්‍ට් නම් කියන්නේ තදාත්ම විඝටනය යන්නයි. නවයෙ කතාවේ සජීවී බව රැඳෙන්නේ රචකයා ඒ භාවිත කරන ලද දෘශ්ටිකෝණය නිසාය. කතාවේ ආරම්භක වාක්‍යම හොඳම නිදසුනකි.

” 9 දැන් දුරට පෙනෙන්නේ , එක්තරා අන්දමක නිශ්චල ඡායාරූපයක් ලෙසිනි…..කිසියම් මානව – සත්ව මිත්‍රත්වයක් යැයි ඔබ එකවරම නොසිතිය යුතුය…”

නවයෙ කතාවට පදනම් වන පරිසරය ඉතා වේගවත් සිද්ධිවලින් දවස් ගෙවෙන පරිසරයකි. හැඬීම් , සිනාසීම්, රණ්ඩු වීම් , මරා ගැනීම් ආදී සියල්ල එක ළඟ එකම මොහොතක එක මිටට සිදු වෙයි. මුඩුක්කු පරිසරය එහෙමය. එහි වෙසෙන මිනිස් ජීවිත එහෙමය. එබැවින් , මේ කතාව ලියැවෙන වේගයට පෞද්ගලිකව මම ඉතා ආශා කරමි. මින් විවරණය වන සමාජ දේශපාලනය ද ඉතා සූක්ෂ්ම තැනකට ගෙන ඒමට ද රචකයා අමතක නොකරයි. මෙය එවැනි චරිතවල ශුද්ධ අවසානය නොවේ. එහෙත් අවසානයක් නොවන්නේ ද නොවේ.

නවයෙ කතාව ඔබ කියවිය යුතුය. එහි වන වේගය උද්වේගය නොවන බව ඔබ වටහා ගත යුතුය. ඒ භාෂා භාවිතයේ ආස්වාදය පාඨකයකු ලෙස ඔබ ලැබිය යුතුමය. විමල් කැටිපෙආරච්චි , එබැවින් ඔබට ස්තුතියි! මා සිතන්නේ, පාඨකයන් ලෙස අප ඒ ආස්වාදය තව තවත් ලැබිය යුතු බවයි .

සචින්තන විදානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

“වියළි” ටෙලි නාට්‍යය ගැන අසම්පූර්ණ සටහනක්

වියළි ටෙලි නාට්‍යය බොහොම දෙනකුගෙ හිත් අරගෙන… අපේ ජීවිතවල,...

‘ජීවිතය කුඩා ගල් කැටයක් තරමි බරද?’ – Good One(2024)

ජිවිතයේ තමන් ඇතුළේ තියෙන හැඟීමි තවත් කෙනෙක් එක්ක බෙදාගන්න...

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී එෂාන් මාලිංගට සුපිරි මිලක්

IPL ක්‍රීඩක වෙන්දේසියේ මට අනුව සුපිරි මිලට ගැනීම එෂාන්...

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....