මේ පින්තූරයේ දැක්වෙන්නේ පසුගිය 2021 වසරේ පෙබරවාරි මස 28 වෙනි දින එංගලන්තයේ ග්ලොසෙස්ටෂයර් වල වින්ච්කොම්බේ නම් කුඩා නගරය මතට වැටුණු උල්කාශ්මයයි.
එහි නිවසක් ඉදිරිපිට මාවත මතට පතිත වූ ග්‍රෑම් 602ක් බරැති මේ උල්කාශ්මය වසර බිලියන 4.6ක් පැරණි වන අතර එය අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතර ග්‍රහක පටියේ සම්භවය වූවක් වෙනවා.
සෞර ග්‍රහ මණ්ඩලයත් සමග පෘථිවිය බිහි වී එය සිසිල් වීමෙන් පසු බාහිර සෞර ග්‍රහ මණ්ඩලයෙන් පොළොව වෙත කඩා වැදුණු අයිස් සහිත ග්‍රහක මගින් මිහිතලය වෙත මිදුණු ජලය රැගෙන විත් ඇති බවට සාක්ෂියක් මේ වින්ච්කොම්බේ උල්කාශ්මය මගින් සැපයෙනවා.
පසුගිය නොවැම්බර් 16 වෙනි දින Science Advances ජර්නලයේ පළ කරන ලද පර්යේෂණ වාර්තාවකින් මේ පිළිබඳව විස්තර කෙරෙනවා.
කාබන් වලින් පොහොසත් දුර්ලභ කාබනීකෘත කොන්ඩ්‍රයිට් වර්ගයේ උල්කාශ්මයක් වන වින්ච්කොම්බේ උල්කාශ්මය පතිත වී පැය කීපයක් ඇතුළතම එය එකතු කරගත් නිසාම එහි කොටස් බෙහෙවින් පිරිසිදු තත්වයක තිබූ බව පිළි ගැනෙනවා.
ඉහත පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන කතුවර ලන්ඩන් ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ පර්යේෂක ඈෂ්ලි කිංග් පවසන්නේ මේ උල්කාශ්මය විශ්ලේෂණය සඳහා ලැබී ඇති වඩාත්ම නොකිළිටි එකක් බැවින් එමගින් සෞර ග්‍රහ මණ්ඩලයේ ආරම්භක සංයුතිය පිළිබඳ දසුනක් සැපයෙන බවයි.
පර්යේෂකයන් විසින් X – කිරණ සහ ලේසර් කිරණ මගින් උල්කාශ්මය ඇතුළත ඇති ඛනිජ හා මූල ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේදී එහි ස්කන්ධයෙන් 11%ක් ජලය අඩංගු බව සොයාගෙන තිබෙනවා.
තවදුරටත් එම ජලය පරීක්ෂා කිරීමේදී එහි අඩංගු හයිඩ්‍රජන් ආකාර දෙකක් ඇති බවත්, ඒවා සාමාන්‍ය හයිඩ්‍රජන් සහ එහි තවත් සමස්ථානිකයක් වන ඩියුටීරියම් බවත් හඳුනාගෙන තිබෙනවා.
උල්කාශ්මයේ අඩංගු සාමාන්‍ය හයිඩ්‍රජන් ( ප්‍රෝටියම් ) සහ ඩියුටීරියම් අතර අනුපාතය පෘථිවි ජලයේ ඇති එම අනුපාතයට ගැළපෙන බව සොයා ගැනීම නිසාම පෘථිවියේ සහ උල්කාශ්මයේ ජලයට පොදු සම්භවයක් ඇති බව පැහැදිලි වෙනවා.
තවද උල්කාශ්මය තුළ තිබී ප්‍රෝටීන වල තැනුම් ඒකකයන් වන ඇමයිනෝ අම්ල ද හඳුනාගෙන තිබෙනවා.
ඉහත පර්යේෂණ වාර්තාවේ සහාය කතුවරයෙකු වන ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ සරසවියේ ග්‍රහලෝක භූ විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකු වන ලූක් ඩාලි පවසන්නේ වින්ච්කොම්බේ උල්කාශ්මය විශ්ලේෂණයෙන් පෘථිවියට ජලය ලැබුණු අන්දම පිළිබඳ නව දැක්මක් ලැබෙන බවයි.
ප්‍රේමශාන්ත කුමාරසිරි