ඉතින් ප්‍රිය හිතවත,
ගෙවෙන සහ ගෙවීගිය
බොහෝ අවුරුදු අතර සැරිසරා
මා මෙන්ම ඔබත් දැන්
වෙහෙසින්ද?
හිත රිදෙන, හිස බමන,
අතීතෙක බර දරන
විඩාබර මතක උරහිස් දෑල,
පිරිමදින ඉසිඹුවක් නොලැබීද?
ඍතුවෙන් ඍතුවට
වසන්තය මගහැරෙන,
සන්තාප කාරණා ගොඩ ගැහෙන,
මෙ’නුවරම එකම සැණකෙළියක් ය.
නින්නාද දෙන සිහින ගිනිවැදී,
නින්ද මැද ඇහැරේය…
ගෙවීගිය පැරණි අවුරුදු අතර,
ගිම්හාන සුසුමකින්
හදේ ඉසියුම් ඉසව් පෑරීම
ඉතින් දැන් නුඹට, මට මෙන් හුරුද?
සන්තානයම දවන සන්තාප වේදනා
සංසාරයක් දුරට නෑසේද?
ඉතින් ප්‍රිය හිතවත,
මා මෙන්ම නුඹත් දැන්
වෙහෙසින්ද?
මෙතෙක් ආගිය මගක
කොහේ හෝ නොදන්නා කෙළවරක
නුඹට මට හමුවීද,
අප සෙවූ සුබ අලුත් අවුරුද්ද?
සෞම්‍ය සඳරුවන් ලියනගේ