2023 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙලේ ( Oscar Award / Academy Awards ) හොදම විදේශීය වෘතාන්ත චිත්‍රපටය හිමි සම්මානය සදහා ( Oscar for Best Foreign Feature Film ) තරග වදින විදේශීය චිත්‍රපට පහළොව ( Short List ) ඊයේ දින ප්‍රකාශයට පත් කරන ලදි. ඒ අනුව එම කෙටි ලැයිස්තුවට අයත් වන විදේශීය චිත්‍රපට පහළොව මෙසේ ය.
1.Argentina 1985 — Argentina
2.All Quiet on the Western Front — Germany
3.Decision to Leave – South Korea
4.Close — Belgium
5.Return to Seoul — Cambodia
6.EO — Poland
7.Corsage — Austria
8.Holy Spider — Denmark
9.Bardo: False Chronicle of a Handful of Truths — Mexico
10.Utama — Bolivia
11.Saint Omer — France
12 Joyland — Pakistan
13.The Quiet Girl — Ireland
14.War Sailor — Norway
15.Alcarras — Spain
මගේ විවරණය කෙබඳුද ?
මෙවර ඇකඩමි සම්මාන උළෙලේදී හොදම විදේශීය චිත්‍රපටය වෙනුවෙන් තරග වදින චිත්‍රපට පහළොව සහිත කෙටි ලැයිස්තුව ( Short List ) ඊයේ දින ප්‍රකාශයට පත් කිරීමෙන් ඉක්බිතිව එය මේ වනවිට ලෝක සිනමාව පිළිබඳව උනන්දුවක් හා ප්‍රියතාවයක් දක්වන කොයි කාගේත් නොමඳ අවධානය පාත්‍ර වී ඇත්තේ ය. ඒ කරුණු කාරණා කීපයක් අතින් සුවිශේෂී වන බැවිනි. එහිලා මුඛ්‍ය කාරණාව වනුයේ මෙවර කාම්බෝජියානු චිත්‍රපටයක් ( Return of Seoul ~ 2022 ) හා පාකිස්තානු චිත්‍රපටයක් ( Joyland ~ 2022 ) පළමුවරට මෙම කෙටි ලැයිස්තුවට ඇතුළත් වීමයි. මෙය පශ්චාත් කොවිඩ් ලෝක සිනමාව ( Post Modern Covid Universal Cinema ) තුළ සිදුවූ ඉතා සුවිශේෂී කාරණාවක් ද වන්නේ ය.
ශ්‍රී ලාංකේය සිනමාව තම හැත්තෑහය වැනි ( 1947 – 2023 ) උපන්දිනය සමරනු පිණිස එළිපත්ත මත සිටින මෙවන් කාලවකවානුවක් තුළ මෙවර ඇකඩමි සම්මාන උළෙලේ හොදම විදේශීය චිත්‍රපටය වෙනුවෙන් තරග කරන චිත්‍රපට ලැයිස්තුව අපට ඉතා වැදගත් වන්නේ කෙසේද? එතුළින් මෙරට සිනමාවේ ලැග සිටින ඇත්තන් ගතයුතු පාඩම් කවරේද යන්න මඳක් විමසා බලනු වටී.
මෙම චිත්‍රපට ලැයිස්තුව අන් කවර වර්ෂයකටවත් වඩා ශ්‍රී ලාංකේය සිනමාවට විවිධාකාරයෙන් වැදගත් වන බව මගේ පෞද්ගලික කියවීමයි. එහිලා මූලික වශයෙන් වර්තමාන ශ්‍රී ලාංකේය සිනමාව මෙතැනින් කොතැනටද යන්න පිළිබඳවත් එසේම එහි ලැගසිටින ඇත්තන්ගේ කෙරුවාවේ තරම කෙසේදැයි යන්න පිළිබඳවත් අපට මැනවින් පසක් කොට දෙන්නේ ය. මෙය තවත් ආකාරයකින් අපේ සිනමාවේ ලැගසිටින ඇත්තන්නේ ඇස් ඇරවන චිත්‍රපට ලැයිස්තුවක් ද වන්නේ ය. මා මෙසේ කියන්නේ ඇයි ? අපි ඒ පිළිබඳව මෙතැන් සිට විමර්ශනය කර බලමු.
මෙවර යුරෝපීය සිනමාව නියෝජනය කරන අතිදැවැන්ත චිත්‍රපට දොළහක් සමගින් දකුණු කොරියානු පාතික තරුණු සිනමාකරුවකු වන Park Chan – wook විසින් අධ්‍යකෂණය කරන ලද Decision to Leave චිත්‍රපට ද කාම්බෝජියානු – ප්‍රංශ සම්භවයක් සහිත තුරණු සිනමාකරුවකු වන Davy Chou විසින් අධ්‍යක්ෂණය කරන ලද Return of Seoul චිත්‍රපට ද එසේම පාකිස්තානු ජාතික සිනමාකරුවකු වන Lakas Dhont විසින් අධ්‍යක්ෂණය කරන ලද Joyland චිත්‍රපට ද කරට කර තරග වදින්නේ ය. එපමණක්ද නොව මෙහි බොහෝ චිත්‍රපට සංඛ්‍යාවක් මෙවර ( එනම් 2023 ) කාන් ( Cannes), වැනිස් ( Vanes ) ,බර්ලීන් ( Berlin) , නිව්යෝක් ( Newyork ) හා ටොරෙන්ටෝ ( Toronto / tiff ) වැනි ලොව විශිෂ්ට සිනමා සම්මාන උළෙලවල් ද නියෝජනය කරන්නේ ය. මෙම කෙටි ලැයිස්තුවට අයත් සෑම චිත්‍රපටයක්ම තරු පහේ ( Five Star ) ලොව ඉහළම චිත්‍රපට වර්ගීකරණයට අයත් චිත්‍රපටද වීමද විශේෂයකි. එහිලා වඩාත්ම වැදගත් හා මෙරට සිනමාකරුවන් හා විචාරකයන්ගේ ඇස් ඇරවන කාරණාවක් ඇත්තේ ය. එනම් ඒ පළමුවරට කාම්බෝජියානු චිත්‍රපටයක් හා පාකිස්තාන චිත්‍රපටයක් යුරෝපීය අති දැවැන්ත චිත්‍රපට සමගින් කරට කර තරග කිරීමයි. එපමණක්ද නොව මෙම චිත්‍රපට යුගල 2023 ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ ( Cannes Film Festival ) නිල තෝරා ගැනීම ( Official Selection ) වීමද අපට ඉතා වැදගත් වන්නේ ය. එතුළින් ශ්‍රී ලාංකේය සිනමාව ඉගෙන ගත යුතු පාඩම් කවරේද ?
මවිසින් ඉහත සදහන් කරන ලද යුරෝපීය චිත්‍රපට සියල්ලම මෙහි ඇතුළත් යුරෝපීය නොවන චිත්‍රපට වලට සාපේක්ෂව ඉතා ඉහළ පිරිවැයක් හා අති නවීන සිනමා තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇත්තේ ය. උදාහරණයක් වශයෙන් ගතහොත් ජර්මනිය නියෝජනය කරමින් හොදම විදේශීය චිත්‍රපටය සදහා තරග කරන ජර්මානු සිනමාකරුවකු වන Edward Berger විසින් අධ්‍යක්ෂණය කරන ලද All Quest on the Western Front චිත්‍රපටය සදහා අති දැවැන්ත පිරිවැයක් ( ඩොයිෂ් මාක් මිලියන 146 ක් පමණ ) දරා ඇති බව කියැවේ . එපමණක්ද නොව එහිලා භාවිතා කර ඇත්තේ ද ජර්මානු සුපිරි සිනමා තාක්ෂණය ( German Morden Film Technology ) යි.මෙම චිත්‍රපට ගොන්නට සාපේක්ෂව දකුණු කොරියානු චිත්‍රපට ද , කාම්බෝජියානු චිත්‍රපට ද එසේම පාකිස්තානු චිත්‍රපට ද ඉතා අඩු පිරිවැයක් දරා සාමාන්‍ය තාක්ෂණය සහිතව නිර්මාණය කරන ලද චිත්‍රපට වන්නේ ය.
තවත් වැදගත් කාරණාවක් මම මෙහිලා සදහන් කරනු කැමැත්තෙමි . එනම් මෙම ලැයිස්තුවට ඇතුළත් Reuters of the Soul
නැමති කාම්බෝජියානු චිත්‍රපටය ඩොලර් මිලියන 4.3 කී ද Joyland නැමති පාකිස්තානු චිත්‍රපටය ඩොලර් මිලියන 2.3 ක් ද ලොස් ඇන්ජලීස් ( Los Angeles ) , වොෂින්ටන් ඩී – සී ( Washington DC ) යනාදී නගරවල මෙන්ම යුරෝපීය තුළ තිරගත කිරීමෙන් උපයාගෙන ඇති බව කියැවේ.
[මෙමගින් ගම්‍ය වන්නේ කුමක්ද යුරෝපීය ප්‍රේක්ෂකාගාරය ජාතී කුල හා ආගම් හේදයකින් තොරව ලොව විශිෂ්ට චිත්‍රපට නරඹන බව නොවේද ? ]
මෙවන් අඩු පිරිවැයක් හා අඩු තාක්ෂණයෙන් යුතු චිත්‍රපට යුරෝපීය චිත්‍රපට සමගින් කරට කර තරග කරන්නේ කෙසේද ? ඒ අන් කිසිවක් නොව තම රටේ සිනමාව කුමක්ද? තමාගේ සිනමා ශෛලය කුමක්ද යන්න ඔවුන් ඉතා මැනවින් හදුනාගෙන තිබෙන නිසාත් ඒ අනුව යමින් තම සිනමා නිර්මාණය කරන නිසාත් ය.
මවිසින් සදහන් කරන ලද කරුණු කාරණාවලට අනුව වර්තමානයේ මෙරට සිනමාවේ අනාගත දිශාවනිය හා තම තමන්ගේ සිනමා ශෛල කුමක් විය යුතුද ? එසේම අප ජාත්‍යන්තර සිනමාව කරා යා-යුත්තේ කිනම් ශෛලයේ චිත්‍රපට නිර්මාණය කරමින් ද යන්න මෙරට සිනමාකරුවන් හා විචාරකයන් හදුනා නොගන්තා තාක් ඔය කාට කාටත් ලැග සිටින සිනමාවේ සැබෑ අර්බුදයේ ගැඹුරු හරිහැටි නොපෙනෙනු ඇත. එසේම නොතේරෙනු ද ඇත.
තවදුරටත් අති දැවැන්ත චිත්‍රපට යයි එලොවටත් නැති මෙලොවටත් නැති චිත්‍රපට නිර්මාණය කරමින් සිටින මෙරට බහුතර සිනමාකරුවන් ද සිනමා විචාර කියමින් අපේ හැටේ හා හැත්තෑව දශකයේ චිත්‍රපට එහාට මෙහාට කොට කොටමින් ඉන්න සිනමා විචාරකයන් ද ශ්‍රී ලාංකේය සිනමාවේ උදාවන හෙටදින උන්නතිය වෙනුවෙන් කිසිදු වැඩකට නොමැති උදවිය බව කීමට තවදුරටත් අටුවා, ටිකා හා ටිප්පනි අවශ්‍ය වන්නේ ද ? ඒ සියල්ලටම පිළිතුරු මෙම චිත්‍රපට ලැයිස්තුවේ අන්තර්ගත වන්නේ ය.
මෙය තවත් ආකාරයකින් කිවහොත් මෙරට වර්තමාන සිනමාකරුවන් තම යුගයේ යථාර්තය හා අවශ්‍යතා තම නිර්මාණය තුළින් සඵල කළ යුත්තේ හුදු දේශපාලනමය මැදිහත්වීමක ස්වරූපයෙන් නොව මානව හිතාවාදී ස්වරූපයකින් බව පෙනේ.
කරුණු කාරණා එසේ බැවින් තව නොබෝ දිනකින් තම හැත්තෑහයවැනි වසරක පා තබන ශ්‍රී ලාංකේය සිනමාවේ අනාගතය කොයිබටද යන පැනය ඔබ හමුවේ තබමින් මම මෙම සටහනට නැවතීමේ තිත තබමි.
“හොද නවකතාවක්,කෙටිකතාවක් හෝ කවියක් ලියනු පිණිස අනර්ඝතම ( වටිනා ) පෑනක් අවශ්‍ය නොවන්නා සේම ජාත්‍යන්තර සිනමාව ජයගනු පිණිස මහා ලොකු තාක්ෂණයක් හෝ මහා ලොකු සිනමා වීර කාව්‍යය හෝ වෙසක් තොරණ් අවශ්‍ය නොවන්නේ ය. අවශ්‍ය වන්නේ තම රටේ සිනමාව හා එහි සිනමා ශෛලිය ( ධාරාව ) කුමක්ද යන්න නිසි පරිදි අවබෝධ කරගෙන නිර්මාණකරණයේ නියැලීම පමණි.
පූජ්‍ය ඇතිපොළ මංගල හිමි